කාන්තා ක්‍රිකට් පිලට තරගාවලි පරාජයක්

166

ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක වූ තරග 3කින් සමන්විත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත්වූවාය. ඒ පෙරේදා (28 වැනිදා) පැවැති දෙරට අතර තෙවැනි තරගයත් කඩුලු 4කින් ජය ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්වීමත් සමගිනි.

 කරච්චි හි ක්‍රියාත්මක වූ දෙරට අතර අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 107ක් රැස් කළේය.

 ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් නායිකා චමරි අතපත්තු සමගින් හසිනි පෙරේරා ලකුණු 69ක සම්බන්ධතාවයක් ගොඩනැඟූ අතර තරගයේ 11 වැනි පන්දු වාරයේදී පන්දු දෙකක් තුළ චමරි (37) සහ හසිනි (24) දැවී යෑමත් සමගින් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණි. ඒ අනුව ඉතිරි පන්දු වාර 9 තුළදී කඩුලු 6ක් බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා ඉනිමට එකතු වූයේ ලකුණු 38ක් පමණි.

 ජයග්‍රහණය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී තරගයේ අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට සමත්වූහ.

 ඕෂදී රණසිංහ පාකිස්තාන ඉනිමේ කඩුලු 3ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳ දැමීය.

 ලකුණු සාරාංශය

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 107යි (හසිනි පෙරේරා 24, චමරි අතපත්තු 37, අනුෂ්කා සංජීවනී (නොදැවී) 14, සුගන්දිකා කුමාරි 10, ටූබා හසන් 23/1, නයිඩා ඩාර් 1/1, කයිනාට් ඉමිතියාස් 19/1)

 පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 108යි (මුනීබා අලී 25, ආලීයා රියාස් 17, බීෂ්මා මාහරූෆ් (නොදැවී) 15, නයිඩා ඩාර් 14, ඕෂදී රණසිංහ 18/3, කවීෂා දිල්හාරි 28/2, සුගන්දිකා කුමාරි 13/1)

advertistmentadvertistment
advertistmentadvertistment