කාන්තා දුක අහන්න පොලිස් නෝනලාම යොදවයි

214

සෑම පොලිස් ස්ථානයකම කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන අයුරින් පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරිනියන් යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මේ සඳහා ඉඩකඩ වෙන් කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මන්ත්‍රීවරියන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම දැනට පොලිසියේ පවතින කාන්තා පොලිස් පුරප්පාඩු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තුවේ ඉකුත් දා පැවැති විශේෂ සාකච්ඡාවකදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මියද සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද කාන්තාවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සමග එක්ව කටයුතු කිරීමට කාන්තා පුරුෂ සමාජභාවය පිළිබඳ වෙනම ආයතනයක් පිහිටුවීමට මූලික සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මන්ත්‍රීවරියන්ට උපදෙස් දී තිබේ.

මීට අමතරව වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීම වැළක්වීමේ අවශ්‍යතාව බන්ධනාගාරගත කාන්තා රැඳවූවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම ඇතුළු කාන්තාවන් සහ ළමුන් සඳහා වන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරල, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්මීහු ද, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment