කාන්තා මන්ත‍්‍රීවරියන් හිංසනයට ලක්කිරීම හෙළා දකිනවා : රෝසි සේනානායක

162

ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත‍්‍රීවරයා කාන්තා මන්ත‍්‍රීවරියන්හට වාචිකව හා මානසිකව හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් තමා හෙළා දකින බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය කාන්තාවන් වෙනුවෙන් පෙරේදා (24 දා) සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකදී පැවැසීය.

එසේම එයට එරෙහිව නැඟී සිට පක්‍ෂ පාට භේදයකින් තොරව සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය ඒ ක‍්‍රියාව සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසට කථානායකවරයා වෙත කරන ලද ඉල්ලීම සම්බන්ධව තම කෘතවේදීත්වය ඇමැතිවරියට පිරිනමන බවද නගරාධිපතිනිය කියා සිටියාය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව කොළඹ මහ නගර සභා පරිශ‍්‍රයේ පෙරේදා (23 දා) පැවැති මෙම විශේෂ වැඩසටහනේදී තවදුරටත් කතා කළ කොළඹ නගරාධිපතිනිය මෙසේද කියා සිටියාය. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක්කෙනෙක් තම ජීවිත කාලය තුළ අවුරුදු 15 සිට කායික හෝ ලිංගික හිංසනයට මුහුණදී ඇති බව කාන්තාවන් එරෙහිව ප‍්‍රචණ්ඩත්වය ව්‍යාප්තිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජාතික සමීක්‍ෂණයෙන් හෙළිවී තිබෙනවා. ඒ වගේම ලංකාවේ කාන්තාවන් පස්දෙනෙක් ගෙන් එක් අයෙක් සහකරු අතින් කායික හා ලිංගික හිංසනයට ලක්වී ඇති බව සමීක්‍ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී තිබෙනවා. සහකරුවකුගෙන් ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවන්ගෙන් අඩක් සියයට 49.3 ක් කිසි තැනක විධිමත් උපකාර පතා නැහැ.

සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමියත් මමත් දීර්ඝ කාලයක් පුරාවට විශේෂයෙන්ම කාන්තා හිංසනය ගැන කොහොමද මේ රටේ කාන්තාව ඉදිරියට අරගෙන යන්නේ, කොහොමද කාන්තාවට සාමානාත්මතාවය ලබා දෙන්නේ, කාන්තාවට ගරුත්වයකින් යුක්තව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්කර දෙන්නේ, කොහොමද කියලා සාකච්ඡා කළා. මා එතකොට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්. එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අවස්ථාවේ කාන්තා සංසදය හරහා අපි වැඩ කටයුතු කළා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment