කාන්තා හිංසනයට එරෙහිව මෙක්සිකෝවෝ හා තුර්කියේ පැවැති විරෝධතාවලට පොලිස් ප‍්‍රහාර

245

කාන්තාවන්ට එරෙහි හිංසනය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින් තුර්කියේ හා මෙක්සිකෝවේ පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ උද්ඝෝෂකයන් වෙත කැරලි මර්දන පොලිසිය විසින් දුම් බෝම්බ හා කඳුළු ගෑස් ප‍්‍රහාරයන් එල්ල කර තිබේ. ස්ත‍්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පවත්වා ඇති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයන් සඳහා කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් සහභාගි වී තිබේ. මෙහිදී උද්ඝෝෂකයන් විසින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුනට පොලිස් ප‍්‍රහාර එල්ල වී තිබේ.

මෙක්සිකෝවේ පැවති කාන්තා හිංසනය අවසන් කරන ලෙස ඉල්ලා සිටි උද්ඝෝෂණයකට සහභාගි වූ යකඩ මිටි අතින් රැගත් උද්ඝෝෂකයන් පිරිසක් කැරලි මර්දන පොලිස් නිලධාරීන් අත තිබූ පලිහ උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් උද්ඝෝෂකයන් වෙත දුම් බෝම්බ දමා ගසා තිබිණි. මෙක්සිකෝවේ දිනකට කාන්තාවන් හා ගැහැනු ළමුන් 10 දෙනකු විවිධ හේතුන් මත මරා දැමෙන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය විසින් පවසා තිබේ. තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන් පොලිසිය සමග ගැටීම නිසා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. කාන්තා හිංසනය අවසන් කරන ලෙස ඉල්ලා බාර්සිලෝනා, පැරිස් හා ලන්ඩන් නගරවලද උද්ඝෝෂණ පවත්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment