කාන්තා 21 න් පහළ 20 සංචිතයට මූල්‍ය ප‍්‍රතිපාදන

97

රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත ක‍්‍රීඩිකාවන්් 20 දෙනෙකු තෝරා ගෙන ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. කාන්තා ජාතික කණ්ඩායමට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති දෙවැනි පෙළ කණ්ඩායමකට අත දිගුවක් ලෙසින් සැලකෙන මෙම කාන්තා සංවර්ධන සංචිතයට ඇතුළත් සියලූ ක‍්‍රීඩිකාවෝ අවුරුදු 21 න් පහළ අය වෙති.

 මෙම කාන්තා සංවර්ධන සංචිතය සඳහා වන ත්‍රෛමාසික කොන්ත‍්‍රාත් ගිවිසුම් එම දියණියන් වෙත ලබා දීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික‍්‍රමරත්න සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, දේශීය ක‍්‍රිකට් ප‍්‍රධානී චින්තක එදිරිමාන්න සහ කාන්තා ක‍්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න සහ තේරීම් කටයුතු භාර තිලකා නිල්මිණී යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 29 වැනිදා පෙරවරුවේ පැවැත්විණ.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථාන පරිශ‍්‍රයේදී පැවැති මෙම කොන්ත‍්‍රාත් ප‍්‍රදානයේදී අදහස් දක්වා සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා,

 ”සංවර්ධන කණ්ඩායම කියන්නේ ජාතික තලයේ කණ්ඩායමක්. අපේ නිලධාරී මඩුල්ල රට වටා ගිහිල්ලා පුහුණු කඳවුරු තියලා අවශ්‍ය හොඳම දරුවන් අපි ඉදිරියට ගෙනාවා. හොඳම ළමයි 120 කින් 20 දෙනෙක් අපි තෝරා ගත්තා. ඒ කියන්නේ ඔබ සුවිශේෂී පිරිසක් දක්ෂයින්ගෙත් දක්ෂයෝ’ යැයිද සඳහන් කර සිටියේය.

 අදාළ කොන්ත‍්‍රාත් පිරිනැමීම මෙම නොවැම්බර් මස 01 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා වූ කාල සීමාව සඳහා පමණක් වලංගු වන අතර ඊට පසු පැවැත්වෙන දක්ෂතා තක්සේරුවකින් අනතුරුව එම ක‍්‍රීඩිකාවන්ගේ කොන්ත‍්‍රාත් දීර්ඝ කිරීම පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

 අදාළ කොන්ත‍්‍රාත්

 පිළිගැන්වීමේදී අදහස් දක්වා සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න මහත්මිය, ”ප‍්‍රදේශ කීපයකට සීමා වෙමින් තිබූ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද ඉන් එහාට පැතිරිලා තියෙනවා. අප ආයතනය ක‍්‍රිකට් ගමට ගෙන ගියා. මේ තෝරාගත් කණ්ඩායමේ අද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල නියෝජනයක් සිටිනවා. ඒක අපි ලබාගත්ත විශාල ජයග‍්‍රහණයක් වගේම සතුටට කාරණාවක්’ යනුවෙනි.

 කොන්ත‍්‍රාත් හිමි ක‍්‍රීඩිකාවන් මෙසේය.

 රන්දි පේ‍්‍රමරත්න – ශාන්ත ජෝශප් – කෑගල්ල, සංසලා වනිගසේකර – නුගවෙල මැදි මහ – මහනුවර, තරුෂි රාජකරුණා – නුගවෙල මැදි මහ – මහනුවර, පී.ඞී.එස්.එච්. මහේෂිකා – ශාන්ත ජෝශප් – කෑගල්ල, ඩබ්. පී. නිමේෂා තරුමිණි – මාරපොල මහ විදුහල – කෑගල්ල, නවෝද්‍යා නෙත්මිනි – වාද්දුව මැදි මහ – කළුතර, ඉමෝක්ෂා බාෂිනී – වාද්දුව මැදි මහ – කළුතර, සාවින්දි නිමල්ෂා කුරේ – වාද්දුව මැදි මහ – කළුතර, මනෝහාරි නිසංසලා – වාද්දුව මැදි මහ – කළුතර, සුලේෂා සත්සරණි – දේවපතිරාජ – ගාල්ල, චේතනා විමුක්ති – පැල්වත්ත මහ වි.- මොනරාගල, අයේෂා දිලක්ෂිණී – මාස්පන්න මහ විදුහල – බදුල්ල, ලංකා තිලිණි – සිංහල මහ විදුහල – ත‍්‍රිකුණාමලය, ශානු බාස්කරන් – මහජන විදුහල – යාපනය, ජනනි වීරකෝන් – රාජකීය විදුහල – පොලොන්නරුව, තරුෂි සත්සරණි – පොරමඩුල්ල මැදි මහ – නුවරඑළිය, එරංගා දිසානායක – කටුපොත තිස්ස මැදි මහ – කුරුණෑගල, මතුරිකා මුරලිතාසන් – ස්කැන්ත්වරෝදයා විදුහල – යාපනය, දුලංගා දිසානායක – අනුලා විදුහල – කොළඹ, මෙත්මා හෙට්ටිආරච්චි – අනුලා විදුහල – කොළඹ.

advertistmentadvertistment
advertistmentadvertistment