“කාබන්” මරණ දෙකක්

506

පුපුරැස්සේ නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියකු සහ 17 හැවිරිදි පුතකු කාබන් මොනොක්සයිඩ් නමැති විෂ වායුව ආඝ්‍රාණය කිරීමෙන් මියගොස් ඇත. මෙහිදී කාබන් මොනොක්සයිඩ් ගැන වචන ස්වල්පයක් ලිවීම වැදගත් ය. මේ වන විට කාබන් මොනොක්සයිඩ් වායුව අප අවට පරිසරයේ හැම තැනකම තිබේ. ඉන්ධන දහනයේදී, විශේෂයෙන්ම පෙට්‍රෝලියම් දහනයේදී කාබන් මොනොක්සයිඩ් වායුව හටගනී. එසේම රබර් දර දැවීමේදී ද මේ වායුව යම් ප්‍රමාණයකට නිකුත් වේ. එහෙත් අප අවට පරිසරයේ තිබෙන වෙනත් වායූන් හා මිශ්‍රණය වී තනුක තත්ත්වයකට පත්ව ඇති බැවින් අප ආඝ්‍රාණය කරන කාබන් මොනොක්සයිඩ්වලින් අපට සැලකිය යුතු හානියක් සිදුවන්නේ නැත. එහෙත් ආවරණය වූ ස්ථානයක මේ වායුව හටගැනීමේදී එහි සාන්ද්‍ර තත්ත්වය වැඩි බැවින් එය ආඝ්‍රාණය කරන්නා ක්ෂණිකව මරණයට පත්වේ. ඉහත සඳහන් පිය පුතු දෙපළ මියගොස් ඇත්තේ නිදන කාමරයෙහි තිබූ ජෙනරේටරයක් එළිවන තුරු ක්‍රියාත්මක කිරීමෙන් නිකුත්වූ කාබන් මොනොක්සයිඩ් නිසාය. මේ දෙදෙනා බත් දන්සැලකට දායකත්වය සැපයීමට මහන්සි වුහ. එදින රෑ විදුලිය විසන්ධි වූ බැවින් මේ දෙදෙනා කාමරයේ දොර ජනෙල් වසා පෙරකී ජෙනරේටරය දමාගෙන නිදන්නට පටන් ගත්හ. අවසානයේදී කාබන් මොනොක්සයිඩ් කාමරය තුළ පිරී යෑමෙන් ඔවුහු මිය ගියහ. කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කළ සැණින් අදාළ තැනැත්තාට සිහි නැතිවේ. ඉන්පසු දිගටම කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කිරීමට සිදුවීමෙන් ඔහු මිය යයි.

මේ රටේ ජනයා තම ආසන්නයේ තිබෙන අනතුර ගැන නොදනිති. හැබැයි සැතපුම් මිලියන ගණනාවක් ඈතින් පිහිටි ඇන්ඩ්රෝමීඩා සක්වළින් එන අන්තරීක්ෂ කිරණවල ඇති අන්තරාය ගැන ඔවුහු දනිති. මේ නිසා ඔවුන් නිතරම මිය යන්නේ ඈතින් එන අනතුර නිසා නොව ළඟ තිබෙන අනතුර නිසාය. මේ රටේ ඇතැම් ගම්මානවල අදටත් විදුලි සැපයුම නැත. ඒ නිසා ළමයි කුප්පි ලාම්පුවෙන් පොත් පාඩම් කරති. කුප්පි ලාම්පුව යනු පෙරළුණු සැණින් විශාල ගින්නක් ඇති කරන, මොලටොව් කොක්ටේල් පෙට්‍රල් බෝම්බය හා සමාන දෙයකි. කුප්පි ලාම්පු පෙරළීම නිසා ගිනිබත් වූ ගෙවල්වලින් ඉවතට ගත් මළ සිරුරු ගැනද, එමගින් පිළිස්සුණු ළමා ළපටින් ගැන ද අපි නිරන්තරයෙන් කතා අසා ඇත්තෙමු. අප මේවා අසන්නේ කතන්දර ලෙස පමණි. එහි ඇති කතා රසය මිස අන්තරාය අපට නොවැටහේ.

විදුලි බලය සහ ගෑස් පරිහරණය සම්බන්ධයෙන්ද අපි පරෙස්සම් නොවෙමු. එහි ප්‍රතිපලයක් වශයෙන් වාර්ෂිකව විශාල පිරිසක් මිය යති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මියයන්නේ වත්තේ ඇද තිබූ විදුලි වයරයක් පෑගීමෙනි. මෙබඳු වයරයක් අහිංසක සතෙකුට පෑගුණු විට ඌ එකෙනෙහිම මිය යයි. ගෑස් පාවිච්චියේදී අප පරිස්සම් විය යුත්තේ ගෑස් ලීක් සම්බන්ධයෙන් දැනුමක් හෝ උනන්දුවක් අප තුළ නැති බැවිනි. මේ දැනුම හරියට උකහාගෙන, ඒ බව වටහාගෙන අප ජීවත්වීමට පටන්ගන්නා දිනය වනවිට ලංකාවෙන් භාගයක්ම එම අනතුරුවලින් මියගොස් අවසන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment