කාබනික කෘෂිකර්මය පොළොවේ යථාර්ථයක් කරන හැටි…

2463

කාබනික කෘෂිකර්මාන්තය ප‍්‍රචලිත කිරීම සඳහා රජය සහ ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව නිසා රටේ කෘෂිකර්ම ක්‌ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. ඊට හේතුව එක කන්නයක් තුළ රසායනික කෘෂිකර්මයෙන් කාබනික කෘෂිකර්මයට ගොවිතැන මාරුකිරීම සහ කාබනික කෘෂිකර්මය සඳහා රජය සතුව ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීමය. කාබනික කෘෂිකර්මය යථාර්ථයක් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙම ලිපිය මගින් අදාළ ලේඛකයා ජනාධිපතිවරයාට කරුණු කාරණා ඉදිරිපත් කරයි.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩ නැඟීමට ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්ව හා පරිසර හිතකාමී වැඩපිළිවෙළ තුළින් අප රටට ලැබෙන ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභයන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවල් ශීඝ‍්‍රයෙන් අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්ති වලින් ලැබෙන ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවට ලබාගැනීම අරමුණු සහිතව කිසිදු දේශපාලනඥයෙකු නොගන්නා නිර්භීත තීන්දුවක් ඔබතුමන් විසින් 2021 අපේ‍්‍රල් 27 වන දින සිය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් යෝජනා කර අනුමැතිය ගනිමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය හා ගෙන ඒම තහනම් කරමින් කාබනික පොහොර සඳහා එම නිෂ්පාදකයින්ට මෙන්ම ගොවීන් සඳහා මූල්‍ය ආධාරයක් ලබා දෙන්නට ගනු ලැබූ විශිෂ්ට ප‍්‍රතිපත්තිමය තීන්දුව පිළිබඳව අප ව්‍යාපාරයේ ගෞරවය ඔබතුමන් වෙත සන්නිවේදනය කරනුයේ ඉමහත් සතුටිනි.

මෙම කාර්ය සක‍්‍රීය කරලීම සඳහා ‘‘දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත ශ‍්‍රී ලංකාවක් ඇති කරලීමේ ජනාධිපති කාර්ය සාධන බළකායක්” පිහිටු වුවත් එය තුළින් මේ දක්වා කිසිදු කාර්යයක් සිදු වූ බවක් දැක ගැනීමට නොහැකි විය.ජනාධිපතිවරයා මේ ප‍්‍රතිපත්තිමය තීන්දුව ගෙන මාස (06) හයක් ගත වුවත් එකී බළකාය හෝ මෙම විෂය අදාළ රේඛීය අමාත්‍යාංශය වන කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ මෙයට වගකියනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා කිසිදු වැඩපිළිවෙළක් සකසා නොමැත. එවැනි මාර්ගගත වැඩපිළිවෙළක් සැකසීම වෙනුවට කාබනික පොහොර මුල්කරගත් අනර්ථ්‍ය කතිකාවතක් රට තුළ ඇති කරමින් කල්මැරීම පමණක් දිගින් දිගටම සිදු කරමින් සිටියි.

 එවන් පසුබිමක ඔබතුමන් විසින් නැවතත් පසුගිය දිනකදී ‘‘හරිත කෘෂිකර්මය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකාය” නමින් තවත් බළකායක් ස්ථාපිත කෙරිණි. අනාගත රට ඉල්ලා සිටින වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා ඔබතුමා දරන දැඩි ස්ථාවරය අතිශය ප‍්‍රශංසනීය වේ. එහෙත් මෙවැනි බළකායක් පත්කිරීමේ දී අපේක්ෂා කළ යුත්තේ මුඛ්‍ය අරමුණු සාක්ෂාත් කරගත හැකි ජාතික වැඩපිළිවෙළක් කරා යෑම නොවේද..?

කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරනු ලබන ආයතනවල නියෝජිතයන් බහුතරයකින් එවැනි බළකායක් පත්කරලීම තුළින් අවශ්‍ය අරමුණ ඉටුවේද යන්න අප තුළ පවතින බරපතළ අර්බුදයකි.

වස විසෙන් තොර ජලය, පාංශු හා ආහාර සහතික කළ හැකි ශ‍්‍රී ලාංකීය කෘෂි කර්මාන්තයක් තිරසාර පුනර්ජනනීය හා තරගකාරී තත්ත්වයකට පත්කර ගත හැකි ජාතික උපාය මාර්ගික සැලසුමක් සකස් කර ක‍්‍රියාත්මක කරලීම නොවේද…?

වර්තමානයේ පත් කර ඇති කාර්ය සාධන බළකායේ සාමාජිකයන් කාබනික පොහොර වර්ග නිෂ්පාදන ව්‍යාපාර කරනු ලබන අය වේ. නැතිනම් මෙම ව්‍යාපාරවල භාණ්ඩ අලෙවිය සඳහා සහාය ලබා දෙන්නන් වේ. තවදුරටත් සිදුවෙමින් පවතින්නේ රසායනික පොහොර සමාගම් මෙරට සිදු කළා වූ දේට සමාන දෙයක් මිස රටට හිතකර දේ නොවන බව ඉතාම කනගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

හරිත කෘෂිකර්ම බළකායෙන් අපේක්ෂා කරන්නේ පැවැති මාරාන්තික කෘෂිකර්මය වෙනුවට තිරසාර පරිසර හිතකාමී පුනර්ජනනීය ගොවිතැනක් වෙත රට පරිවර්තනය කළ හැකි ජාතික සැලැස්මක් සැකසීම හා එය ක‍්‍රියාවට නැංවීමයි. එවැනි ජාතික වැඩපිළිවෙළක් සැකසීමේදී පහත උපායමාර්ගයන් පිළිබඳව ඔබතුමන්ගේ විශේෂ අවධානය යොමුකර, එකී විෂයයන්ට සුදුසුකම් ලත් සාමාජිකයන් පත්කර ගනිමින් මෙම කාර්ය සාධන බළකාය පුළුල් කරන්නට යෝජනා කරමු. එසේ පුළුල් කරලීමෙන් ඔබතුමා රට හා අනාගත ශ‍්‍රී ලංකාව ඉල්ලා සිටින අපේක්ෂිත ප‍්‍රතිඵලය ළඟා කරගත හැකි බවට අපි විශ්වාස කරමු. එනම්,

 01. බීජ ස්වෛරී භාවය, ශාක ජාන සම්පත් සහ කෘෂි ජෛව විවිධත්ව සංරක්ෂණය, 02. පාංශු, ජලය සංරක්ෂණය හා ඉඩම් රැුකවරණය සමඟ වන ඉඩම් සංවර්ධන පද්ධති කළමනාකරණය හා සංවර්ධනය.

 03. කෘෂිකාර්මික උරුම ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සහ කෘෂි සංචාරක ව්‍යාපාර හා දේශීය වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රවර්ධනය. 04. පාසල්, වෘත්තීය ආයතන, කෘෂිකාර්මික පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා කාබනික කෘෂිකර්ම පර්යේෂණ අධ්‍යාපන සහ ව්‍යාප්තිය සඳහා අධ්‍යාපන පද්ධතියට කාබනික ගොවිතැන ඇතුළු කිරීම.

05. දේශගුණික හිතකාමී කෘෂිකාර්මික ක‍්‍රම සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු ගොවිතැන සහ අස්වනු නෙළීමට පෙර සහ පසු අස්වනු සැකසුම් ක‍්‍රමයන් ප‍්‍රවර්ධනය. 06. කාබනික ගොවීන් හා කුඩා, මධ්‍යම මට්ටමේ සහ විශාල මට්ටමෙන් ප‍්‍රවර්ධනය කරමින් නිෂ්පාදන සමුපකාරයක් පිහිටුවීම. 07. ගුණාත්මක කාබනික යෙදවුම් පොහොර පද්ධතීන් සංවර්ධනය කරලීම. 08. කාබනික වටිනාකම් දාම සංවර්ධනය හා අපනයන කෘෂි වැවිලි බෝග ප‍්‍රවර්ධනය. 09. කාබනික ගොවිතැන පිළිබඳ ප‍්‍රබෝධයක් වක් ඇති කළ හැකි ජනප‍්‍රිය ව්‍යාපාරයක් බවට ප‍්‍රචාරාත්මක පුළුල් සන්නිවේදනයක් කරලීම. 10. ගෙවතු වගාව, නාගරික ගොවිතැන සහ සුළු පරිමාණ කාබනික වගාවන්ට අදාළව අඩු ඉඩකඩෙන් බෝග රාශියක අස්වැන්න ලබාගත හැකි ගොවිකම් රටාවන් හඳුනා ගැනීම.

11. සියලූම කාබනික ගොවීන් සඳහා සරල වන පිළිගත් සහතික කරලීමේ ක‍්‍රියාවලියක් ඇති කරලීම. 12. නව කෘෂි ව්‍යවසායකයන්ට දේශීය හා විදේශීය වෙළෙඳපළ වෙත යෑමට උපකාර වන්නා වූ වැඩසටහන් හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වෙළඳපොල අවස්ථා සහ ලොව පුරා විවිධ වෙළෙඳ පොළ තුළ අපගේ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කරලීම. 13. ජාත්‍යන්තර මගපෙන්වීම සමඟ සම්බන්ධීකරණ උපදේශනය ව්‍යාපාර සහ ආයෝජන පුහුණුව සමඟ කාබනික කෘෂිකර්මය පිළිබඳ ජාතික වැඩසටහනට මූල්‍යාධාර ළඟා කරගත හැකි වූ වැඩසටහනක් සකස් කරලීම. 14. කාබනික කෘෂිකර්මාන්තය සහ ඒ ආශ‍්‍රිත පද්ධති ප‍්‍රතිපත්තිය රෙගුලාසි සහ ප‍්‍රමිතීන් සැකසීම. 15. ගොවි පුහුණු ප‍්‍රවර්ධනය ගමේ ආදර්ශන, කාබනික ගොවිපළවල් සංවර්ධනය කිරීම සහ පොකුරු ගම්මාන පදනම් කරගත් ප‍්‍රවේශයන් පිළිබඳ වැඩසටහන් සැකසීම. 16. මිශ‍්‍ර ගොවිතැන් ප‍්‍රවේශයන් පදනම් කරගත් කෘෂි විද්‍යාත්මක භාවිතාවන් සහ සම්පූර්ණ කාබනික පශු සම්පත් භාවිතය. 17. ගොවීන් සමග කටයුතු කරන නිලධාරීන්, නියෝජිතායතන, රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කළ හැකි වැඩසටහන් සැලසුම් කිරීම. 18. සාම්ප‍්‍රදායික හා නවීන ආකර්ෂණීය නව පෝෂණ වැඩසටහන්වල සෞඛ්‍ය හා යහපැවැත්ම සහතික කිරීම සහ වැඩිදියුණු කරලීම. 19. කාබනික කපු, බතික්, කාබනික රබර් නිෂ්පාදන කාබනික රූපලාවණ්‍ය සහ කාබනික සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදනයන් සංවර්ධනය හා ප‍්‍රවර්ධනය. 20. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය, රක්ෂණය ආධාර කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය සඳහා මූල්‍ය විසඳුම් සහ මූල්‍ය දිරිගැන්වීම් ලබා දීම. 21. පාරිභෝගික අධ්‍යාපනය, පාරිභෝගික ආධාර, මන්දගාමී ආහාර ප‍්‍රවර්ධනය සහ දූෂ්‍ය වූ ආහාර වලට එරෙහිව කටයුතු කිරීම.

22. කාබනික කෘෂිකර්මය සඳහා තොරතුරු තාක්ෂණ හා අනෙකුත් තාක්ෂණ භාවිතාව සහ සංවර්ධනය කරලීම යන කාරනා සඳහා කටයුතු කළ යුතු බව අපගේ අදහසයි.

මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි අප ව්‍යාපාරය දැඩි විසින් විශ්වාස කරමු. එවිට ඔබතුමන් ගත් නිවැරදි නිර්භීත සහ සුවිශේෂී තීන්දුව ශ‍්‍රී ලාංකීය මහ පොළොවේ යථාර්ථයක් කරලීමට නිරන්තරයෙන් ජනතාවට ඔබතුමා සමග එක්ව කටයුතු කරනු ඇති බවත්; නිවැරදි වූ මෙම ක‍්‍රියාමාර්ගය වැරදි පිළිවෙතකට අනුව අනුගමනය කරමින් බිමේ තත්ත්වයන් හඳුනා නොගෙන ඇතැම් දේශපාලඥයන් හා කණ්ඩායම් මේ ක‍්‍රමවේදය අවුල් කරලීමට ගොවියා හා මහජනතාවත්, නිලධාරිනුත් පෙළඹවීම සිදු කළත් මේ මහා පරිවර්තනය සිදු කරලීමට අවශ්‍ය මාර්ගගත සැලසුම සකස් කර ක‍්‍රියාත්මක කරවීම සඳහා ඉහත සඳහන් කණ්ඩායමට හැකි බවත් එය ලංකා ඉතිහාසයේ දැවැන්තම ප‍්‍රතිසංස්කරණය බවට ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නියතය. ‘‘සුඛිත දේශයක් වෙනුවෙන් මහපොළොව වසවිසෙන් නිදහස් කරමු ”

කාබනික කෘෂිකර්මය පොළොවේ යථාර්ථයක් කරන හැටි...



 චින්තක සී. ගුණදාස,
 ලේකම්, ගොවි උදාන ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment