කාබනික පොහොරවලින් අල වැවූ බණ්ඩාරවෙල ගොවීන් කම්මුතුයි

206

* අලගෙඩි ජිල් බෝල වගේ ඒවටත් පණුවො විදලා – සුසන්ත හෙට්ටිආරච්චි

 අර්තාපල් වගාවල අස්වනු නෙළීම මේ දිනවලදී සිදුවුවද එම අර්තාපල් වගාවන්වලින් නිසි අස්වනු ලබා ගැනීමට නොහැකිවී තිබේ. අස්වනු අඩුවීමෙන් වැය කළ මුදලවත් සොයා ගැනීමට නොහැකිවීම නිසා මේ වන විට බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ අර්තාපල් ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ගොවීහු විශාල පිරිසක් මේ වන විට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් කාබනික පොහොර යොදා අර්තාපල් වගා කර ඇතත් එම අර්තාපල් වගාවල අස්වනු ඉතාමත්ම අඩුවීමත් ලැබුන අස්වැන්නද පණුවන් විසින් කා දැමීමත් නිසා කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඔවුහු මෙලෙස දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

කාබනික පොහොරවලින් අල වැවූ බණ්ඩාරවෙල ගොවීන් කම්මුතුයි

මෙම ගොවීහු වෙනත් වසරවල දී රසායනික පොහොර යොදා අර්තාපල් වගා කර ඉතා ඉහළ අස්වනු ලබාගනිමින් හොඳ ආදායමක් ලබා ගත් බවත් රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් රජය විසින් කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කරන ලෙසට උපදෙස් ලබාදීම අර්තාපල් වතා කළ බවත් මෙම ගොවි ජනතාව පවසති.

රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කිරීමේදී අස්වනු අඩුවී පාඩු ලැබීමට සිදුවුවහොත් ඒ සදහා වන්දි ලබාදෙන බවට කෘෂිකර්ම ඇමතිවරයා පැවසුවද මේ වනතුරු කිසිදු නිලධාරියකු තම වගාවන් බැලීමට පවා නොපැමිණි බවත් මෙම ගොවීහු චෝදනා කරති.

මුදල් නොමැතිකම හේතුවෙන් තම කණකර උකස් කර මෙම අර්තාපල් වගාවන් සිදු කළ බව ගොවීන් වැඩිදුරටත් පැවසීය. අස්වනු අඩුවීම නිසා තම දරු පවුල් නඩත්තු කිරීම පවා නොහැකි වී ඇතැයි ඔවුහු පැවසූහ. තමන්ගේ අස්වනු අඩුවීම නිසා තම වගාවන් සඳහා වන්දියක් හෝ ලබාදීමට කටයුතු කරන්නැයි අදාළ බලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටිති.

මේ පිළිබදව සිදු කළ සොයා බැලීමේදී බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ අර්තාපල් වගාවේ නියුතු අර්තාපල් ගොවීහු මෙසේ පැවසූහ.

සුසන්ත හෙට්ටිආරචිචි මහතා :-

මෙම කන්නයේදී අර්තාපල් වගා කිරීම සඳහා අපිට රසායනික පොහොර බෙහෙත් කිසිවක් තිබුණේ නෑ. අපි අර්තාපල් වගා කිරීම සඳහා විශාල වියදමක් දැරුවා. එසේ විශාල වියදමක් දරා වගා කරන ලද අර්තාපල් වගාවල අස්වනු මේ දිනවලදී නෙළනවා. නමුත් කියන්නත් කණගාටුයි. මෙම වගාවල කිසිදු අස්වැන්නක් නෑ. එකට එකක අනුපාතයක් විතරයි තියෙන්නේ. ඒ හැදුන අලගෙඩියත් ජිල්බෝල වගේ. ඒවටත් පණුවො විදලා. මෙම අර්තාපල් කාටවත් විකුණන්නත් බෑ කවුරුවත් ගන්නෙත් නෑ.

කමල් කලූතරගේ මහතා :-

මෙවර අර්තාපල් වගාවෙන් අපි නැත්තටම නැති වුණා. අර්තාපල් වගා කිරීම සඳහා විශාල වියදමක් දැරුවා. බීජ අර්තාපල් හොන්ඩරයක් රුපියල් 22,000 ක් පමණ වෙනවා. කාබනික පොහොරත් අපි සල්ලිවලට ගත්තෙ. කම්කරු ශ‍්‍රමයට විශාල මුදලක් වැය වුණා. අන්තිමේදි මාස තුනක් බලාගෙන ඉඳල කිසිදු අස්වැන්නක් නෑ.

කණකර බඩු උකස් තියල තමයි අර්තාපල් වගා කිරීමට මුදල් වැය කළේ. ඒවා සින්න වෙන්න යනවා. මේවා කාට කියන්නද. දැන් අපි නන්නත්තාරවෙලා ඉත්නෙ. හරියට කඩෙන් කාලා හරක් බලා ගත්තා වගෙයි. ඒ නිසා අපේ අඩුවුන අස්වනුවලට වන්දිවත් ලබා දෙන්නයි අපි ඉල්ලා සිටිනවා.

වී. එන්. ගුණපාල මහතා :-

අපි අර්තාපල් වගා කරලා තමයි ගේදොර හැදුවෙ දරුපවුල් නඩත්තු කළේ. අපි හැමදාම අර්තාපල් වගා කරපු ගොවි ජනතාව. නමුත් අපිට ජීවිතයේ කිසිම දවසක මෙහෙම වෙලා නෑ. මේ වන විට අපේ අර්තාපල් වගාවල කිසිදු අස්වැන්නක් නෑ. අපි ජීවත්වෙන්නෙ කොහොමද කියල අපිට හිතා ගන්නවත් බෑ.

කිසිදු සොයා බැලීමත් නැතිව පොහොර තහනම් කිරීමට ගත්ත තීන්දුවත් එක්ක මේ වන විට අර්තාපල් ගොවීන් දැඩි සේ අසරණ වෙලා. මෙහෙම ගියොත් අර්තාපල් ගොවියාට ජීවත්වීමට මගක් නැතුව වහ බොන්න වෙනවා.

මෙවර සියලූම අර්තාපල් වගාවන් විනාශවෙලා. ඒ නිසා අපේ දරු පවුල් එක්ක ජීවත්වීමට වන්දි දෙන්න කියල තමයි ඉල්ලන්නේ.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment