කාබනික පොහොරෙන් පාරම්පරික වී වගා කරන වහමල්ගොල්ලෑවේ ගොවි වෙද මහතා

553

කාබනික පොහොර යොදාගෙන ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ සිට පැවති ඖෂධ ගුණාංගයන්ගෙන් යුතු දේශීය වී වර්ග ව්‍යාප්ත කිරීමේ මහඟු කර්තව්‍යයක යෙදී සිටින ගොවි මහතෙකු අපට හමුවිය.

මොහු ජීවත්ව සිටින්නේ මැදවච්චිය වහමල්ගොල්ලෑව ගම්මානයේය. මෙම ගොවි මහතා දේශීය වී වර්ග විශාල ප‍්‍රමාණයක් ගම්මානයෙහි බහුතරයක් ගොවීන් හට වගා කිරීම සඳහා ලබාදී ඇත.

දැන් පවතින දෙමුහුම් වී වර්ගවලින් බත් කන මිනිසුන් බොහොමයක් හට දියවැඩියාව, කොලෙස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය වැනි නොයෙකුත් ලෙඩ රෝග ඇතිවන නමුත් අපගේ

පාරම්පරික මෙම දේශීය වී වර්ග අනුභව කිරීමෙන් මෙවන් කිසිදු ලෙඩ රෝගයක් අත් නොවන බව මෙම ගොවි වෙද මහතා පවසා සිටී.

කාබනික පොහොරෙන් පාරම්පරික වී වගා කරන වහමල්ගොල්ලෑවේ ගොවි වෙද මහතා

තවද දේශීය වීවල ඇති විශේෂත්වයක් වන්නේ දෙමුහුම් වී වර්ග මෙන් කල් ඉකුත් වීමක් සිදු නොවීමයි. මේවා බීජ වී ලෙස ඕනෑම කලකදී භාවිතයට ගත හැක.

මෙම ගොවි වෙද මහතා ඖෂධීය ගුණයෙන් යුක්ත රත්කඳ, ගෝනබරු, කුරුලූතුඩ, දික් වී, කළු හීනටි, සුවඳැල්, කහමාල, රත් සුවඳැල්, බෙහෙත් හීනටි, සුදු හීනටි, සූදුරු, රන් තැඹිලි, පච්ච පෙරුමාල් වැනි දේශීය වී විශාල වර්ග ප‍්‍රමාණයක් එම ප‍්‍රදේශයේ ගොවීන් වෙත ලබාදී දේශීය වී ප‍්‍රවර්ධනය කිරීමේ මහඟු කර්තව්‍යයට දායක වී ඇති පැසසිය යුතු ගොවි වෙද මහතෙකි.

මොහු සඳහන් කරන ආකාරයට මෙම දේශීය වී වර්ග වගා කිරීමේදී කෘමිනාශක වෙනුවට කෘමි විකර්ශක, බෙහෙත් ගුණයෙන් යුක්ත අධික තිත්ත, අධික ගන්ධයෙන් යුක්ත පත‍්‍ර සහ ඇට වර්ග යොදාගෙන සකස් කරන ලද අත් බෙහෙත් මගින්

සාර්ථක ලෙස ගොවිතැනට වන හානි වළක්වා ගන්නා බවද සඳහන් කර සිටියේය.

මාස් කන්යේ වී වගාව ආරම්භ කර ඇති අයුරු පිළිබදව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීහ.

අද වනවිට මැදවච්චිය, වහමල්ගොල්ලෑව ප‍්‍රදේශයේ සහ මැදවච්චිය ප‍්‍රදේශයේ 70% කට වැඩිය වැඩ ආරම්භ කරලා වී වැපිරීමට සූදානම්. අපි කියන්න සතුටුයි මේ වන විට අපි වැවෙන් ජලය ලබා නොගෙන වැවේ ජලය ඉතිරි කරගෙන වර්ෂා ජලයෙන් මේ දක්වා වැඩ ටික කරගෙන තිබෙනවා. දේශීය වී වර්ග වැඩ කරපු අය 65% ක් පමණ සිටිනවා. ලබන කන්නයේදී අපි මෙම ප‍්‍ර දේශයේ 100% ක්ම දේශීය වී වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.

අපේ ගම්වල කාලගුණය කියන සතුන් ඉන්නවා. වඩු කුරුළු කූඩුවක් ගමක ගහක හැදුවාම ඒ ගොවි ගම්මානයේ ගොවිතැන් සාර්ථක වනවා. වඩු කුරුල්ලන් කූඩු පහතින් හැදුවා නම් වැහි අඩු වනවා. ඉහළින් හැදුවා නම් ගංවතුර. ගහ වටේම කූඩු හැදුවානම් වැහි අඩුයි. එක් පැත්තක කූඩු හැදුවානම් සුළග වැඩියි. අපේ ගමේ වඩු කුරුළු කූඩුවල ගෙවල් 3 – 4 හදලා. ඒ කියන්නේ රටේම අස්වැන්න වැඩියි කියන එක.

කපුටා කූඩුවක බිත්තර එකක් දැම්මා නම් වැහි අඩුයි. බිත්තර තුනක් දැම්මා නම් වැහි වැඩියි. මෙවර ඒ කාලගුණ අත්දැකීම් අනුව අපේ නියම ගොවියන් නියම වේලාවට වැඩ ආරම්භ කළා.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment