කාබනික පොහොර නිෂ්පාදනයට ක‍්‍රමවත් වැඩපීළිවෙළක් රටට අවශ්‍යයි

299

*පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වර්ෂි දන්දෙණිය

 රටේ පවතින කෘෂිකාර්මික විප්ලවය සැබැවින්ම විවාදාත්මක මගක යමින් තිබේ. කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම පිණිස වූ රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සමග පාංශු පෝෂක පරිසරයට එක්වීම පිළිබඳවද ගොවි ජනතාව අතර කතා බහක් ඇති වී තිබේ. තවද කොම්පෝස්ට් නිෂ්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඉදිරිපත්ව සිටී. නමුත් මෙම නව කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර වගාවට සරිලන ප‍්‍රමිතියෙන් ඇත්ද යන්න තත්ත්ව සහතිකයක් ලබා දීම සඳහා මේ වන විටද ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවේ. පාංශු පෝෂක හීන වීම ඔස්සේ ඉදිරියේදී අස්වනු හීන වීමක්ද සිදුවන බවට රාවයක් පවතී. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වර්ෂි දන්දෙණිය මෙනවිය සමග කළ සාකච්ඡාවකි මේ.

 ප‍්‍රශ්ණය——-* ගොවියාට අවශ්‍ය කාබනික හෝ කොම්පෝස්ට් පොහොර ලබා දීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කවුද?

 පිළිතුර-x ඒ සඳහා පූර්ණ බලය ලබාදී ඇත්තේ පොහොර ලේකම් කාර්යාලයට. කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙමින් පොහොර ලේකම් කාර්යාලය සමග රට පුරා කාබනික පොහොර අවශ්‍යතාවන් වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් පෙනෙන්නට තිබෙන එකම ගැටලූව මෙම පොහොරවල ප‍්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කොට බලා ඒවා නිසි ප‍්‍රමිතියකින් යුක්තද යන්න නියාමනයක් කරන බවට පැහැදිලිතාවයක් නැති වීමයි. මොකද කොම්පෝස්ට් සහ කාබනික පොහොරවලින් ඉතා හොඳ පෝෂක මට්ටමක් පසට එකතු විය යුතුයි. එසේ නොමැති වන විට පසට සහ අස්වැන්නට බලපෑමක් ඇති වෙනවා.

 ප‍්‍රශ්ණය——- * මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිශ්චිත ප‍්‍රමිතීන් තිබෙනවා ද

 පිළිතුර-* නැහැ තවමත් කාබනික පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් වන ඇතැම් පොහොර සඳහා නිශ්චිත ප‍්‍රමිතියක් නැහැ. ප‍්‍රමිතිය සකස් කරන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින්. නමුත් අද වන විට පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන් නිසි ප‍්‍රමිතියක් සහිතව කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට සහතික වන්න හැකියාවක් නැහැ. මොකද මේ වන විට වෙළෙඳ පොළේ විවිධාකාර කාබනික පොහොර තිබෙනවා. නමුත් ඒවා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිද යන්න ප‍්‍රශ්නයක්.

 කොම්පෝස්ට් පොහොර හෝ කාබනික පොහොර හෝ ගොවි බිම්වලට අත්‍යවශ්‍ය තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් මේ සඳහා මේ වන විට හොඳ ඉල්ලූමක් ඇතිවෙලා තියෙනවා. එම ඉල්ලූම මත කුමක් හෝ දෙයක් සපයන්න බොහෝ පිරිස් හුරු වෙලා ඉන්නවා ඒ හැරුණාම කාබනික පොහොර සඳහා වන නිශ්චිත සැලසුමක් හෝ නිශ්චිත ප‍්‍රමිතියක් පිළිබඳව කවුරුත් වගකීමෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ.

 ප‍්‍රශ්ණය——- * ප‍්‍රමිතිය පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක් නේද?

 පිළිතුර-x ඔව්. ගොවිජනතාවට ප‍්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලැබෙනවාද යන්න විමසා බැලීමත් එසේ නොවෙනවා නම් ඊට සුදුසු වැඩපිළිවෙළක් යොදමින් ගොවියා ධෛර්යයමත් කිරීමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක් තමයි. නමුත් ප‍්‍රමිති සකස් කිරීම මම පෙර කී පරිදි ප‍්‍රමිති ආයතනයේ වගකීමක්. කාබනික පොහොර නිෂ්පාදන සඳහා ඉතා හොඳ තාක්ෂණයක් සහ නිසි ප‍්‍රමිතියක් තිබිය යුතුයි. මොකද ඒ හරහා පොළොවට එකතු වන කාබනික ද්‍රව්‍ය අති විශාල බව කියන්න පුළුවන් මේ හරහා පොළොවට කාබනික දූෂක එකතු වුණොත් ඇතිවන තත්ත්වය ඉතාම බරපතළ සහ ඉතාම භයානකයි

 ප‍්‍රශ්ණය——- * කාබනික දූෂක යන්නෙන් අදහස් කරන්නේ මොනවාද?

 පිළිතුර-* බැරලෝහ අඩංගු කාබනික සංයෝග, මයික්‍රොප්ලාස්ටික් (microplastic), ෆීනෝල් පොලීක්ලෝරිනේටඞ්හයිඩ්‍රොකාබන්, වැනි කාබනික දූෂක රැුසක් ප‍්‍රමිතියක් නැති කොම්පෝස්ට් හෝ කාබනික පොහොර හරහා පොළොවට එකතු වෙන්න පුළුවන්. එය පොළොවේ ජෛව විවිධත්වයට සෘජුව බලපෑම් එල්ල කරනවා. පොළවට අත්‍යවශ්‍ය පාංශු අතර ගැවසෙන ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙස විනාශ කරන්න මේ කාබනික දූෂක වලට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. මොකද මෙම දූෂක පොළොවට යම් හෙයකින් එකතු වුවහොත් දිගුකාලීන පාංශු හානියක් සිදුවෙනවා. රටේ ගොවි බිම් වල ඵලදායිතාව ආරක්ෂා කර ගැනීමට නම් මෙම දූෂක එකතු නොවෙන්න වග බලා ගන්න අවශ්‍යයි. ඇත්තෙන්ම එය නිලධාරීන්ගේ වගකීමක්.

 ප‍්‍රශ්ණය——- * කොම්පෝස්ට් හෝ කාබනික පොහොරවලට කාබනික දූෂක එකතුවනේ කුමන අවස්ථාවකදීද?

 පිළිතුර-* විශේෂයෙන්ම නාගරික කසළ ගොඩවල් වලින් තමයි එකතු වන්නේ. උදාහරණයක් විදිහට බ්ලූමැන්ඩල් කුණු කන්ද උපයෝගි කොටගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සිදු කෙරෙනවා. මෙහිදී නිසි පරිදි කසළ කළමනාකරණයක් සිදුවන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රටපුරා මෙවැනි නාගරික කුණු ගොඩවල් වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අවස්ථා මේ වන විට ඇති තරම් දක්නට ලැබෙනවා. මේ කුණු ගොඩවල්වල තිබෙන ප්ලාස්ටික් ඇතුළු සෙසු විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී කුමන තත්ත්වයන් යටතේ වුවත් පොළොවට නැවත එකතු කිරීම සුදුසු නැහැ.

 නාගරික අපද්‍රව්‍යවල සැලකිය යුතු තරම් ම කාබනික දූෂක තිබෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මොකද කොම්පෝස්ට් හෝ කාබනික පොහොර නිෂ්පාදනයේදි ඊට එකතු විය යුතු නැති දේවල් ගැන සලකා බැලීමේදී ප‍්‍රධාන මාතෘකාව වන්නේ නාගරික කසළ. ප‍්‍රමිතියක් නැති කොම්පෝස්ට් පොළොවට යෙදීම සුදුසු නැහැ කියන්නේ මේ තත්ත්වය යටතේ මොකද මේවා පොළොවට එකතු වුණොත් ඇතිවන නරක ප‍්‍රතිඵලය ඉතාම දරුණුයි

 ප‍්‍රශ්ණය——- * ඒවා වෙන් කොට හඳුනා ගැනීමට ක‍්‍රමවේදයක් තිබෙනවා ද?

 පිළිතුර-* කාබනික පොහොරවල හෝ කොම්පෝස්ට් පොහොරවල සංයුතිය කුමක්ද යන්න පරීක්ෂා කර බැලීම තමයි කළ හැකි හොඳම දෙය. නමුත් මේ වන තුරුත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන බවක් රටපුරා පෙනෙන්නට නැහැ.

 මේ වන විට බොහෝ දෙනා වැව්වල පතුලේ ඇති රොන්මඩ හාරලා ඊට තවත් ඛනිජ ද්‍රව්‍ය එකතු කරලා පැකට් කරමින් කාබනික පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට පවා හුරු වී තිබෙනවා. ඔවුන් හිතන්නේ කළු පැහැ ගැන් වූ පමණින් එය කාබනික පොහොර ලෙස ගොවියාට ලබාදිය හැකියි කියා. මේ ඉතාම නුසුදුසු කාර්යයක්. මෙම වැරදි ක‍්‍රියාව නිසා පසේ තියෙන සරු බව නැති වෙලා නිසරු පසක් ඉතිරි වන්නට තියෙන ඉඩ බොහොම වැඩියි. පසට කාබනික දූෂකයන් එකතු වීමෙන් පස නිසරු වුවහොත් එය නැවත සකස් කර ගැනීම නැවත සරු පසක් ලෙස සකස් කර ගැනීම හිතන්නත් අපහසු කාර්යයක්. ඒ තරමටම පොලොවෙ සරු බව නැති වී යනවා

 ප‍්‍රශ්ණය——- * පොදුවේ සලකා බලන විට කොම්පෝස්ට්වලට එකතු වේ යැයි සිතිය හැකි කාබනික දූෂක මොනවාද?

 පිළිතුර-* ඕනෑම නාගරික කසළ ගොඩක දිරා යන රෙදි ඩයි වර්ග paint හෙවත් තීන්ත වර්ග රබර් සහිත ද්‍රව්‍ය, ප්ලාස්ටික් වැනි දෑ තිබෙනවා. මේවා කොම්පෝස්ට් හෝ කාබනික පොහොරවලට එකතු වීම නුසුදුසුයි. මේවා පොළොවට එකතු වීම නුසුදුසු බව සමස්ත ජනතාවම අවබෝධ කරගත යුතුයි. එවිට නාගරික කසළ ගොඩවල් වලට මේවා යොමු නොකිරීමට ජනතාව කටයුතු කරනු ඇති.

 ප‍්‍රශ්ණය——- * ඒ සඳහා රජය කසළ කළමනාකරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා නේද.?

 පිළිතුර-* ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් තමයි. නමුත් හොඳින් හොයල බලන්න මේ වන විට නිසි පරිදි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් රටේ කොතැනකවත් ක‍්‍රමවත්ව සිදුවන්නේ නැහැ. සරලව හිතන්න ගෙදරක කුණු එක්රැස් කරන්නේ වෙන් වෙන් වශයෙන් ද කියා අතලොස්සක පිරිසක් පමණක් ඉවතලන ඉඳුල් ආහාර වැනි දෑ සමග පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ එකතු කරන්නේ නැහැ. නමුත් බහුතරයක් ජනතාව මේ සියල්ල එකට එකතු කර නගරයේ කුණු ගොඩකට ගිහින් දමනවා. ඉන් සිදුවන හානිය මෙතෙකැයි කියන්න බැහැ. අනාගත පොළව විනාශ කරනවා කියන්නේ මෙන්න මේ කාරණා වලට. ජනතාව මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි කසළ කළමනාකරණ වැඩසටහන ඉකුත් කාලයේ ආරම්භ කළත් ඒ නිසි පරිදි පවත්වාගෙන යෑමට කටයුතු කරේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. නිසි පරිදි ක‍්‍රියාත්මක වූවානම් අද වන විට නාගරික කසළ කඳුවල උදාහරණයක් විදිහට බ්ලූමැන්ඩල්, ගොහාගොඩ, බලංගොඩ, මාතර වැනි දැවැන්ත කුණු කඳුවල දිරාපත් වන සහ දිරාපත් නොවන කසළ එකට රැුස්වී තිබෙන්න විදිහක් නෑ.

 ප‍්‍රශ්ණය——- * මෙම කුණු කඳු ඇසුරින් කොම්පෝස්ට් හෝ කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට සාක්ෂි තිබෙනවාද?

 පිළිතුර-x මේ වන විට රට පුරා නාගරික කසළ කළමනාකරණ වැඩසටහන් පවා ක‍්‍රියාත්මක වෙනවා. ඒ අතරින් බලංගොඩ කසළ කළමනාකරණය සහ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩපිළිවෙළ සැලකිය යුතු මට්ටමකින් පවත්වාගෙන යන බවට ප‍්‍රකාශයක් කළ හැකියි. එය සාර්ථකව කරගෙන යන බවක් පේන්න තිබෙනවා. සෙසු ස්ථානවල කොම්පෝස්ට් නිෂ්පාදනය හෝ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි ද යන්න ප‍්‍රශ්නයක්.

 ප‍්‍රශ්ණය——- * අද සිට හෝ මේ සඳහා ගතයුතු පියවර කුමක්ද.,?

 පිළිතුර-* හොඳම පියවර තමයි කසළ වර්ගීකරණය කිරීම. මිනිසුන් විදිහට අපි අපේ ගෙදරදි බැහැර කරන කසළ නිසි පරිදි ක‍්‍රමවත්ව වර්ගීකරණයක් කළහොත් නාගරික කම්කරුවන්ට නැවත කසළ කළමනාකරණය කර කර සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. අනිත් කාරණාව අපි ඉවතලන කසළ ගොඩවල් තවත් මනුස්සයෙක් විසින් වෙන්කොට තබනවා කියන එකම පවක්. මේ ගැන ජනතාව හොඳින් අවබෝධයෙන් කටයුතු කළොත් එහි ප‍්‍රතිඵලය අත්වන්නේ අනාගතයේදි. අපි කසළ බැහැර කරන්නෙම ක‍්‍රමවත් විදිහකට බව තරයේ ජනතාව පොදුවේ අවබෝධ කරගත යුතුයි. තවත් වැදගත්ම කාර්යයක් වන්නේ අපේ රටේ අපේ පසට අහිතකර ද්‍රව්‍ය එකතු කිරීමෙන් අපි අපේ අනාගතය විනාශ කරගන්නවා කියන කාරණය. පසේ සරු බව රඳවා ගන්න නම් අපිත් පසට එකතු කළ යුත්තේ පාංශු සත්කාරක කාබනික ද්‍රව්‍ය පමණයි. එය අත්‍යවශ්‍යයි. ප‍්‍රමිතියෙන් හෝ තත්ත්වයෙන් අඩු බාල පොහොර නිෂ්පාදනය කරන කවරකු හෝ තදින්ම සිතට ගත යුතු කාරණය වන්නේ මම මේ සිදු කරන්නේ රටේ පොළොවට මගේ භූමියට විෂ ද්‍රව්‍ය එකතු කරනවා, එසේත් නැතිනම් පසට අවශ්‍ය ප‍්‍රමාණවත් පෝෂක එකතු කිරීම අතපසු කරනවා යන්නයි.

 ප‍්‍රශ්ණය——- * එසේ නම් ඊට ගත යුතු විසඳුම කුමක්ද?

 පිළිතුර-x නිසි විසඳුම ලෙස යෝජනා කළ හැක්කේ කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමයි. පොහොරවල ප‍්‍රමිතිය පරීක්ෂා කර බැලීම පොහොරවල සංයුතිය කුමක්ද යන්න විමසා බැලීම ඇතුළු කාබනික හා කොම්පෝස්ට් පොහොරවල තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු විය යුතුයි. තත්ත්ව සහතික ලබා ගැනීමේදි රට පුරා අහඹු ලෙස පොහොර පරීක්ෂා කිරීම කාලීන වැදගත්කමකින් යුතු කාර්යයක්. ඒ වගේම කසළ කළමනාකරණය සඳහා රටවැසි සියලූ දෙනාව යොමු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක්. එවිට පුද්ගලික ලෙස ඒ ඒ නිවාස ආශ‍්‍රිතව හෝ පසට දූෂක එකතු වන්නේ නැහැ. මෙය දිගුකාලිනව රටේ පස රැක ගන්න ගන්න උත්සාහයක් කියන්නත් පුළුවන්. රට රැුක ගන්නවා කියන්නේ මෙවැනි කරුණු වලට කියා මම තරයේ විශ්වාස කරනවා. දැනට සිදු නොවන්නේත් මේ කියන කාරණා ටිකම තමයි.

 සාකච්ඡා කළේ –  සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment