කාබුල් ආණ්ඩුව : ඇමෙරිකාවේ කලිසම

2531

කාබුල් පාලනය බිඳ වැටීම බටහිර ලෝකය සසල කිරීමට හේතුවක් විය. ඇමෙරිකාව ලෝකය ඉදිරියේ නිරුවත් විය. ඇමෙරිකානු හමුදා නිල වශයෙන් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට නියමිත වූයේ අගෝස්තු 31 වැනිදා ය. නමුත් අගෝස්තු 15 වැනිදා පස්වරුවේ තලෙබාන් භට පිරිසක් අෂ්රොෆ් ඝානි ජනපතිවරයා ඊට පැය කිහිපයකට පෙර ජාතිය ඇමතූ මේසය මත සිය බරැුති තුවක්කු තබාගෙන උජාරුවෙන් මෙන් සිටිනු දක්නට ලැබිණි. මේ දර්ශන දකින පෙන්ටගන බලධාරීහු තුෂ්තිම්භූත වූහ. ඔවුහු සිතා සිටියේ තලේබාන් සාමාජිකයින්ට කාබුල් නුවරට පැමිණිමට තව මාස කිහිපයක් ගතවනු ඇති බවයි. ඇමෙරිකාව ඩොලර් බිලියන සියයකට ආසන්න මුදලක් වැයකර ස්ථාපිත කරනු ලැබූ ඇෆ්ගන් ජාතික හමුදාව ඉටු කළේ කවර කාර්යයක්ද? මේ පිරිස පාසල් ශිෂ්‍යභට කණ්ඩයකටත් වඩා දුර්වල විය. තලේබාන් සාමාජිකයෝ ජනපති මන්දිරයට ඇතුළු වනවිට එකදු වෙඩිල්ලක් තබන්නට ආරක්ෂකයෙක් ඉදිරිපත් වූයේ නැහැ. අෂ්රොෆ් ඝානි ජනාධිපතිවරයා කාබුල් පාලනය බිඳ වැටීම හොඳින් අවබෝධ කරගෙන තම හිතවතුන් පනස්දෙනකු සමග කුලියට ගත් රුසියානු යානයකින් පැන ගියේය. ඔහුගේ ඩොලර් මලූ කිහිපයක් කාබුල් ගුවන්තොටුපළේ අතහැර දමා තිබෙන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. පසුගිය මාස කිහිපය පුරාම කාබුල් ආණ්ඩුව දතක් මෙන් හෙල්ලමින් තිබිණි. අවසානයේ අෂ්රොෆ් ඝානි පැන ගියේ ඇමෙරිකාවේ කලිසම ද ඉරා දමමිනි. පුරා වසර විස්සක් තිස්සේ කළ සටනින් ඇමෙරිකාව ලැබූ වාසිය කුමක්ද? එය බලවත් නිග‍්‍රහයකි. වියට්නාමය ආක‍්‍රමණය කිරීම නිසා ඇමෙරිකානු සොල්දාදුවන් පනස්අට දහසක් මරණයට පත් විය. ඇෆ්ගන් යුද්ධයේදී මියගිය පිරිස දෙදහස් පන්සියයකට ආසන්නය. එහෙත් වියට්නාමයටත් වඩා මේ පරාජය ඉතා අමිහිරිය. බැග්රූබ් ගුවන් කඳවුර අතහැර ඇමෙරිකානු හමුදා ඉවත් වුණේ මධ්‍යම රාති‍්‍රයේය. ඒ ගැන නිසි දැනුම් දීමක් පවා සිදුකර තිබුණේ නැත. ඉක්මනින් ගුවන් යානාවලට ගොඩ වී ඇමෙරිකන් සෙබළු පිටත් වීම තලේබාන් සටන්කාමීන්ගේ ගමන ඉක්මන් කරවීය. ඔවුහු දැන් ඇමෙරිකානු යුද රථවල නෑඟී ඇමෙරිකානු තුවක්කුු අත දරාගෙන කාබුල් වීදි දිගේ වේගයෙන් ගමන් කරති. තලේබාන් පාලනයෙන් මිදී පලා යෑමට පැමිණි ඇෆ්ගන් තරුණියෝ ඇමෙරිකානු හමුදා භටයින් ඉදිරියේ හඬා වැටෙමින් ‘තලේබාන් එනවා’’ අපිව බේරා  ගන්නා යැයි අයදිති. නමුත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පවසන්නේ සියලූ දෙනාම මුදා ගැනීමේ හැකියාවක් නැති බවයි. තව ටික දිනකින් ඇමෙරිකානු හමුදාව කාබුල් ගුවන් තොටුපළ හැර ගිය පසු මේ අසරණයින්ට සිදුවන්නේ කවරක්ද? ඇමෙරිකාව කාබුල් නුවරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට යෑමෙන් සිදු වූයේ මහත් විනාශයකි. 2001 පලවා හැරුණු තලේබාන් කණ්ඩායමට වඩා බලවත් පිරිසක් දැන් බලය අල්ලාගෙන සිටිති. සමහර නායකයෝ ඉතා හොඳින් ඉංගී‍්‍රසි බස වහරති. පුරා වසර 20 ක් තිස්සේ ඇමෙරිකාව කාබුල් පාලනය වෙනුවෙන් වැය කළ මුදලින් වැඩිම වාසිය ලබාගෙන ඇත්තේ තාලෙබාන්වරුන් වීම අවාසනාවන්ත සිද්ධියකි. නමුත් එය නොවැළැක්විය හැකිය. ලිබියාවට මැදිහත් වී ඇමෙරිකාව සිදුකළේ කවරක්ද? විවිධ ජිහාඞ් කණ්ඩායම් බිහිවීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමය. එය අද අසාර්ථක රාජ්‍යයකි. තලේබාන්වරු බලයට පැමිණීම නිසා සතුටට පත්වන සිරියාවේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් තම නගර වැසියන්ට රසකැවිලි බෙදති. මේ හරහා සිදුවන්නේ නැවත වරක් අල්කයිඩාවට, අයිසිස් සංවිධානයට ශක්තිමත්ව ගොඩනැඟීමේ අවස්ථාව හිමිවීම නොවේද? නිහඬව සිටින අන්තවාදී කණ්ඩායම් පවා තලේබාන් ජය නිසා ප‍්‍රබෝධයට පත්ව යළිත් සිය කි‍්‍රයාකාරකම් ආරම්භ කිරීමට උත්සුක වෙති. ජිහාදය කිසිදිනක නතර වන්නක් නොවේ. මෙය දකුණු ආසියාවේ ආරක්ෂාවට තර්ජනයකි. කාබුල් පාලනය බිඳ වැටීම සමග දිල්ලිය වික්ෂිප්තව ඇත්තේ මේ නිසාය. ඉදිරිය අවිනිශ්චිතය.

advertistmentadvertistment
advertistmentadvertistment