කාබුල් ගුවන්තොටුපළට එල්ල වූ ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

186

කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පෙරේදා (26දා ) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ හා වෙඩි ප‍්‍රහාරවලින් ඇෆ්ගන් ජාතිකයන් 90 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 100කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ඊයේ (27දා) සවස වාර්තා විය. මෙසේ මිය ගොස් ඇති පිරිස අතර ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් 13 දෙනෙකු පමණ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

 කාබුල් ගුවන්තොටුපළ ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වූ අතර ඉන් එක් ප‍්‍රහාරයක් ගුවන්තොටුපළේ ගේට්ටුවක් අසල ද අනෙක් ප‍්‍රහාරය එයට යාබදව පිහිටි හෝටලයක් ඉදිරිපිට ද සිදුව ඇත. මෙම ප‍්‍රහාරවලට අමතරව අන්තවාදීන් විසින් වෙඩි ප‍්‍රහාර ද එල්ල කර ඇති අතර ඉන් ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම ප‍්‍රහාරයන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් හට 2011න් පසු එල්ල වූ දරුණුම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වන අතර එය ඇමරිකානු හමුදාවන්ට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට ලබා දී තිබූ අවසන් දිනයට දින පහකට පෙර එල්ල වීම ද සුවිශේෂී සිදුවීමක් බව විචාරකයෝ පවසති. මේ අතර මෙම දරුණු ප‍්‍රහාරවලින් අනතුරුවද කාබුල් ගුවන්තොටුපළෙන් පිරිස් ඉවත් කරගැනීමේ අවසන් අදියරයෙහි වැඩකටයුතු ඊයේ ආරම්භ කළ බව ඇමරිකාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment