කාබුල් නගරයේ මුස්ලිම් පල්ලියක බෝම්බ පිපිරීමෙන් 21 දෙනෙක් මරුට

231

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයක පෙරේදා (17දා) දිනයේ මුස්ලිම් ආගමික මෙහෙයක් පැවැත්වෙමින් තිබියදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එම දේවස්ථානයේ සිටි 21 දෙනකු මියගොස් තවත් 40 දෙනකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මියගිය පිරිස අතර ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයකු ද සිටින බව වාර්තා වී ඇත.

මෙම ප්‍රබල බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමුන් පිරිසක්ද සිටින බව අනාවරණය වී ඇති අතර පිපිරීමෙන් විපතට පත් අයගේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති. කාබුල් නගරයේ පිහිටි ඉතාලි හදිසි අවස්ථා රෝහලට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 27දෙනකු ඇතුළත් කර ඇති අතර කුඩා ළමුන් 05 දෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. තුවාලකරුවන්ගේ සිරුරු තුළට කැබලි ඇතුළු වීම හේතුවෙන් පෙරේදා රාත්‍රිය පුරා ඔවුන්ව සැත්කම්වලට භාජනය කිරීමට ශල්‍ය වෛද්‍යවරුන් විසින් පියවර ගෙන තිබිණි. තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලයට පත් වී වසරක් ගත වූ පසු එල්ල වී ඇති මෙම බෝම්බ ප්‍රහාරය සිදු කිරීමේ වගකීම ඊයේ (18දා) දහවල් වන විටද කිසිවකු විසින් භාරගෙන නොතිබූ අතර ඉස්ලාමික් ස්ටේට් සංවිධානය (අයිසිස්) විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පවසයි. පොලිසිය විසින් බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානය වැඩිදුර පරීක්ෂණ සඳහා මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment