කාම්බෝජයේ කැසිනෝ ශාලා ගින්නකින් 11ක් මරුට

136

කාම්බෝජයේ තායිලන්ත දේශසීමාවට යාබදව පිහිටි හෝටල් කැසිනෝ ශාලාවක පෙරේදා (28දා) හටගත් දරුණු ගින්නකින් 11 දෙනකු මියගොස් තවත් 700ක් පමණ දෙනා තුවාල ලැබ රෝහල්ගත කර තිබේ. කාම්බෝජයේ ‘පොයිපෙට්’ නගරයේ පිහිටි ‘ග්‍රෑන්ඩ් ඩයමන්ඩ් සිටි’ හෝටලයේ කැසිනෝ ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ හටගෙන ඇති මෙම ගින්නෙන් මිය ගිය බොහෝ දෙනා මියගොස් ඇත්තේ ගින්න හටගත් කැසිනෝ ශාලා ගොඩනැගිල්ලේ උඩු මහල්වල සිට ජීවිතය බේරා ගැනීම සඳහා බිමට පැනීම නිසා බව විදෙස් මාධ්‍ය පවසයි.

ගින්නෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවත් ගින්නෙන් කොටු වී සිටින පිරිස් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවත් තායිලන්ත සහන සේවකයෝ පවසා තිබේ. තායිලන්තයේ ඔට්ටු ඇල්ලීම හා සුදු ක්‍රීඩාවේ යෙදීම නීතියෙන් තහනම් කර තිබීම හේතුවෙන් බොහෝ තායිලන්ත ජාතිකයන් සුදු ක්‍රීඩාවේ යෙදීම සඳහා පැමිණෙනුයේ තායි දේශ සීමාවේ පිහිටි ගින්න හටගත් කාම්බෝජ හෝටල් කැසිනෝ ශාලාව වෙත වන අතර පෙරේදා රාත්‍රියේ ගින්න හටගන්නා අවස්ථාවේ කැසිනෝ ශාලාව තුළ තායිලන්ත ජාතිකයන් 700ක් පමණ දෙනා සිට ඇති බව වාර්තා වී තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවට අයත් ට්‍රක් රථ 11ක්, හෙලිකොප්ටර් යානා කිහිපයක් හා පොලිස් නිලධාරීන් 300ක් පමණ දෙනා යොදවා ඇති බව වාර්තා වේ. ඊයේ (29දා ) වන විට ගින්න පැතිරීම පාලනය කර තිබුනද ගින්නෙන් හටගත් දුමාරය තවදුරටත් කැසිනෝ ශාලාව අවට විහිදී පැවති බව වාර්තා වේ. බලධාරීන් විසින් ගින්නට මුල් වූ හේතුව ඊයේ වන විටද අනාවරණය කරගෙන නොතිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment