කාමාතුරයන්ට එරෙහිව නැගී සිටින – දරු පරපුරක් අවශ්‍යයි

309

ආචාර්ය අනූෂා එදිරිසිංහ

කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන හිංසන ඉහළයෑම සමාජිය වශයෙන් බරපතළ ගැටලුවක් බවට පත් වී තිබේ. මේ අපරාධ ඇතිවීමට හේතු, වළක්වා ගැනීම සඳහා ගතයුතු පියවර මොනවා ද යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි.

දිනෙන් දින ළමයිනට සිදුවන අපරාධ වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා ?

ලංකාවේ සෑම පැත්තකින්ම විවිධ ආකාරයේ ළමා හා කාන්තා හිංසන, අපරාධ සිදුවෙනවා. මේවායින් වාර්තා වන ප්‍රමාණයක් සහ නොවන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර මෑතක දී වාර්තා වුණු කළුතර පාසල් දැරියගේ අභිරහස් මරණය සමාජයේ කතාබහට ලක්වුණා. ඒක ඝාතනයක් වෙන්නත් පුළුවන්. දූෂණ කරලා මරලා දැම්මා වෙන්නත් පුළුවන්. සිය දිවි නසා ගැනීමක් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. මෙවැනි සිදුවීම් ගණනය කළොත් අවුරුද්දකට ළමයි 12ක් 13ක් ඝාතනයට ලක්වෙනවා. වැඩි වශයෙන් මේ තත්ත්වයන්ට ගොදුරු වෙන්නේ ගැහැනු දරුවන්. පිරිමි ළමයිනට වඩා ගැහැනු දරුවන්ගේ ඝාතන වැඩියි. මේ අතරිනුත් ප්‍රධාන වෙන්නේ ලිංගික අපරාධ (sexual crimes) ව්‍යවස්ථාපිත දූෂණ, ව්‍යභිචාරය වගේම වෙනත් මහ සමාජය තුළ සිදුවිය හැකි ලිංගික අපයෝජන හෝ ස්ත්‍රී දූෂණ දැකිය හැකියි. මේ සිදුවීම් විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ලංකාවේ 86% කාන්තා ඝාතන සිදු වෙලා තියෙන්නේ දන්නා කියන අයගෙන්.

ළඟම ඥාතීන් අතින්. ස්ත්‍රී දූෂණ ගැන කරපු මගේ අධ්‍යයනයකදීත් ඒක 74% ක් ලෙස වාර්තා වුණා.

මේවා සිද්ධ වෙන්නේ අප දන්න කියන අයගෙන් කියලා වැඩිහිටියොත් මවුපියොත්, මේ රටේ ඉන්න සියලු දෙනාමත් පිළිගන්න ඕන. ඒ ගැන මම දැඩි ලෙස ප්‍රකාශ කරනවා. මේ වෙනකොට ළමයින්ට ඉගැන්විය යුතුයි කියලා සාකච්ඡාවට ලක්වෙලා තියෙන ලිංගික අධ්‍යාපනය (sex education) සඳහා නිකුත් කර ඇති හතේ පොතේ ඇති පරිදි තමන් දන්න කියන අයගෙන් බේරිලා ඉන්න ඕන කියන කාරණයේදී ගොඩක් අය ඒ ප්‍රකාශනයට විරුද්ධ වෙලා තියෙනවා. එය පිළිගන්නේ නැහැ ළඟ ඉන්න අයගෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඒක පර්යේෂණාත්මකව ඔප්පු වෙලා තියෙනවා. අප දන්න කියන මිනිසුන්ගේ තමයි මේක වෙලා තියෙන්නෙ. පෙම්වතාගෙන්, ගුරුවරයාගෙන්, ළඟම ඥාතීන්ගෙන්, අපි දන්නා කියන අයගෙන් වෙන්න පුළුවන්. තමන්ගෙ පියාගෙන් පවා මේ අපරාධ සිදුවිය වන අවස්ථා දකින්නට පුළුවන්. බන්ධනාගාර, ස්ත්‍රී දූෂණ නිසා පොදුසමා කමිටුවට ආව බන්ධනාගාර දඬුවම් ලබලා තියෙන අයගෙන් සියයට සියයක්ම ඉන්නේ දන්න කියන අය. මේ නිසා වැඩිහිටියෝ විධිහට මවුපියෝ විධිහට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම දැනුවත් කිරීම වගේම දරුවන්ට ඒ අධ්‍යාපනය ලබාදීම ඉතාමත්ම වැදගත් වෙනවා.

● මේ අපරාධ සඳහා ගොදුරුවන දරුවන් රුවටීම්වලට හසුවනවා යැයි කිව්වොත් නිවැරදිද?

කළුතර සංසිද්ධියේ ළමයගෙ වයස අවුරුදු දාසයයි. අවුරුදු 16 කියන්නේ අඩුම තරමින් දරුවා මේ පිළිබඳව ඇති එක දේශනයකට හෝ සම්බන්ධ වෙලා තියෙන්න ඕන. පොලිසියෙන් වෙනත් සංවිධානවලින්, පාසල්වලින් මේ පිළිබඳ දේශන පවත්වනවා. පාසලේ ලිංගික අධ්‍යාපනයේ දී කියා දෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් නෑ කියන එක ඇත්තටම මම දකින්නේ නිදහසට කාරණයක් නෙවෙයි. මේ වෙනකොට. ළමයි ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නෑ කියලා කියන්න බෑ. මේ දරුවන් මාධ්‍ය සමඟ සම්බන්ධයි මෙවැනි ප්‍රවෘත්ති නිතරම බලනවා, යූටියුබ් එකට යනවා. නිවෙස්වල මේ සම්බන්ධව කතා වෙනවා. එතකොට මේක දන්නේ නෑ කියන්න බැහැ. කළුතර සිද්ධියේදී මව පවසනවා දෙවතාවක් අවවාද කළ බව. යාළුවා ආයෙත් එයා එන්නේ නෑ කියලා ගියේ. ඒත් මේ ගමන ගියේ කොහොමද. අම්මට හොරෙන් ද? මේ වයසෙ දරුවෙක් ගෙදරට හොරෙන් කොහොමද ගියේ. අනිවාර්යයෙන් ගෙදර අය දැනුවත් විය යුතුයි. මව්පියන්ට මේ සම්බන්ධව විශාල වගකීමක් තියෙනවා. අම්මා කෙනෙක් විධිහට තමන්ගේ දරුවන් කොහෙද යන්නෙ කාගෙත් එක්ක ද යන්නේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඇතැම් පාසල් ළමයින් තමන්ගේ යාළුවන් ගැන ගෙදර ඇවිල්ලා කියන්නේ නැහැ. ඒ නිසා අම්මා දන්නේ නෑ තමන්ගේ දරුවා කොයි යාළුවාගේ ගෙදර ද යන්නේ කියලා. යාළුවෝ කවුද කියන එක, ඔවුන්ගේ විස්තර අහන එක මව්පියො විදිහට වැදගත් නිතරම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ළමයිනුත් ඒවාට ප්‍රතිචාර දක්වන්න ඕනේ. මේ දිනවල බොහෝ දරුවන් වට්ස් ඇප් ගෲප් හරහා විවිධ අය සමඟ සම්බන්ධ වෙනවා. මේවගේ තැන්වලදී මව්පියන් දරුවන්ගේ යාළුවෝ ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුයි. වයස අවුරුදු 15, 16, 17, 18 කියන්නේ යෞවන කාලය. මේ කාලයේදි දරුවන්ගේ ලොකු වෙනසක් සිදු වෙනවා. අලුත් ඇසුරකට කැමතියි. අලුත් දේවල් සොයන්න කැමතියි. ජීව විද්‍යාත්මකවත් එයාගෙ ශරීරය වෙනසක් තියෙනවා. සමාජීය වශයෙන් ඔවුන් වෙනස් වෙන කාලයක්. මේ කාලේ දරුවො ඉන්නෙ සංක්‍රාන්තික කාලයක ඒ කාලය තුළ දරුවා හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. මව්පියෝ ගුරුවරු වගේම වැඩිහිටියෝ, සහෝදර සහෝදරියෝ අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත්.

මේ නිසා දරුවන්ට හොඳ පෞරුෂත්වයක් හදලා දෙන්න ඕන මෙවැනි අවස්ථාවකට තමන්ට යන්න බැරිනම් බෑ කියන්න. මම එන්නෙ නෑ. මට මේ වගේ දේවල් කරන්න එපා කියලා බය නැතුව ඕනෑම කාමාතුරයෙකු විරුද්ධව නැගී සිටින්න පුළුවන් දරුවකු තමයි පාසලෙන් හදන්න ඕනේ. සමහර ඉස්කෝලවල ඒ ඒ සංස්කෘතින් තුළ තිබෙන සම්ප්‍රදායන් රැක ගන්න උත්සාහ කරනවා මිසක් ළමයකුට කතා කරන්න ඉඩ දෙන පරිසරයක් හදන්නේ නෑ. ඒක බ්ලොක් කරන්න එපා කියලයි මම කියන්නේ. තමන්ගේ ශරීරයේ අයිතිය ගැන කතාබහ කරන්න පුළුවන් දරුවකු තමයි නිර්මාණය කළ යුත්තේ. ඔයාගෙ ශරීරය අයිතිය ඔයාටයි තියෙන්නේ අපි හැමදාම කියන්නේ (your body is your right) එහෙම නැති දරුවො හැදුවොත් මම හැමදාම කියන්නේ ඒ දරුවාට වෙන්නේ ස්ත්‍රී දූෂණයක වින්දිතයෙක් වෙන්න. ගොදුරක් බවට පත්වෙන්න. මව්පියන් විදිහට දරුවාට හොඳ නරක කියාදෙන්න ඕනේ. පාසල් ගුරුවරු විදිහට, විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපි ළමයින්ට මේ දැනුම ලබා දිය යුතුයි. මේ සන්සිද්ධිත් එක්ක සමහර අය කියන්නේ මේ කාන්තාවාදීන් ගේ අදහස් ලිබරල් අදහස් කියලා. අපි හැමෝම ජීවත් වෙන්නේ ලිබරල් සමාජයක. වෙනස් වන සමාජයට අපි හුරු විය යුතුයි. ඒක කාටවත් බෑ එපා කියන්නත් බෑ. ලෝකෙ වෙනස් වෙනවා අපිත් වෙනස් වෙනවා. අපි ඉස්සරහට යනවා. මේ වෙනස් වෙන සමාජයට සුදුසු ළමයා තමයි අපි පාසලින් හදන්න ඕන. නිවෙසෙන් ද අපි නිර්මාණය කළ යුත්තේ මේ නූතන සමාජයට ගැළපෙන දරුවන්. මෙහිදී ලිංගික අධ්‍යාපනය සම්බන්ධ හැම කාරණයක්ම අපට වැදගත්. ලංකාවේ මල්වර චාරිත්‍ර එක්ක ලිංගික අධ්‍යාපන දැනුම ලබා දුන්නා. දැන් ළමයින්ට මල්වර චාරිත්‍ර නෑ. ඒ ළමයාට තමන්ගේ ජීවිතය ගෙනියන්නේ කොහොමද කියලා කවුරුත් කියලා දෙන්නේ නෑ. පාසලේ දී මේ සම්බන්ධව දැනුවත් විය යුතු බවයි මම කියන්නේ.

පෞද්ගලික පන්ති පන්තිවලට සහභාගි වීම හරහා දරුවනට බොහෝ ගැටලු ඇතිවන බවක් පෙනෙනවා ?

ටියුෂන් සංස්කෘතිය කියන්නේ මහා අමුතුම මෝස්තරයක්. ටියුෂන් ගුරුවරයාට තමන්ගේ ඉස්කෝලේ ගුරුවරයාට වඩා වන්දනාමාන කරනවා. ලංකාවේ පෞද්ගලික පංතිවලට විරුද්ධව නෙවෙයි මම කතා කරන්නේ. උපකාරක පංතිවල වුණත් ඇතැම් ගුරුවරු හොඳ ශික්ෂණයෙන් යුතු දරුවන් බිහිකරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ළමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්නෙත් උපකාරක පන්තිවලින්. නමුත් උපකාරක පන්තිවලත්, විශ්වවිද්‍යාලය තුළත් ආයතනවලත් ඕනෑම තැනක මේ කාමාතුරයෝ ඉන්න පුළුවන්. මානසිකව ලිංගිකව ප්‍රශ්න තියෙන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ තියෙන ප්‍රශ්න විසඳගන්න මේ අහිංසක මල් කැකුළු යොදා ගන්නවා. ඔවුන් හිතන්නේ නෑ මේක ප්‍රසිද්ධ වෙනවා කියලා. හැබැයි ගොඩක් ගුරුවරු කරන දේවල් පාසලෙන් එළියට එනවා. පාසලේදි තමයි ගොඩක් අය මේක කියන්නේ. සමහර විට පෞද්ගලික පන්තියකදී වෙන දේත් ඉස්කෝලේ ගිහිල්ලා කියන්න පුළුවන්. විවිධ වට්ස් අප් ගෲප් හරහා ළමයි ගුරුවරයා සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීම පෙරට වඩා වැඩිවෙලා තියෙනවා ඒ නිසා මේවා පාවිච්චි කරන ආකාරය පිළිබඳ දරුවාට දැනුමක් ලබාදිය යුතුයි.

අපරාධකරුවන් නීතියේ රැහැනින් ගැලවීම සහ අපරාධකරුවන්ට දඬුවම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔබේ අදහස ?

මෙහිදී අපරාධ යුක්ති පද්ධතියට ලොකු වගකීමක් තියෙනවා. නඩු ඉක්මනට ඉවර වෙන්නෙ නැතිකම ප්‍රධාන ප්‍රශ්නයක්. නීතිපති දෙපාර්තමේන්තුව හරහා ලිංගික අපරාධ සිදුකරන වරදකරුවන්ට අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සිදු විය යුතුයි. ඒ වගේම මේ අපරාධ කරන පුද්ගලයන්ට ලැබෙන දණ්ඩනය ප්‍රසිද්ධ කිරීම කළ යුතුයි. නම් ගම් අවශ්‍ය නැති වුණත් දඬුවම් ලබාදීම ප්‍රසිද්ධ විය යුතුයි. ඉක්මනට දඬුවම් දුන්නොත් තමයි මේ අපරාධ අවම වෙන්න බලපාන්නේ. දඬුවම ප්‍රමාද වෙනවා නම් අපරාධ වැඩිවෙනවා. එවැනි අපරාධයක් කරල අවුරුද්දක් යෑමට පෙරවත් නඩු ඉවර කරලා රස පරීක්ෂක වාර්තා ගෙනල්ලා පොලිස් සාක්ෂි මත මේක ඉවර කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ලිංගික

අපරාධ අඩු කරගන්න පුළුවන් වෙනවා. පොදුසමා කමිටුවේ ස්ත්‍රී දූෂණ ළමා අපරාධ කරපු කිසිම කෙනකුට නිදහස ලබාදීමේ නොහැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට කුඩා දරුවෝ තමයි දූෂණයට ලක් වෙලා තියෙන්නේ. එවැනි අපරාධකරුවන් නිදහස් කරනවද කියන කාරණය පිළිබඳව හරිම විවාදාත්මකයි. ඔවුන්ට සමාව දීමක් ජනාධිපති පොදු සමා කමිටු නිර්ණායකවල නෑ.

ලැගුම්හල් සම්බන්ධ නීති රීති නිසිපරිදි ක්‍රියාත්මක වෙනවා ද?

හැඳුනුම්පත් පෙන්වලා වැඩි වයස් දාලා ළමයින්ව ගෙනියනවා. මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. වයස අවුරුදු දාසය කියන්නේ ලිංගික කැමැත්ත දෙන වයස. ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 16 නම්. පොලිසියට බෑ ලැගුම්හල් හිමියන් අත්අඩංගුවට ගන්න. ඊට පහළ වයසක කෙනෙක් ඉඳලා පොලිසියට පණිවුඩයක් ලැබුණොත් අත්අඩංගුවට ගැනීම් කරන්න පුළුවන්. ලැගුම්හල් සම්බන්ධව පරීක්ෂා කිරීමේදී විශේෂ උසාවි නියෝග අරන් තමයි පරික්ෂා කරන්නේ. ලිංගික කැමැත්ත වයස පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. දහසයේ ප්‍රශ්නය ඉදිරියේදී විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

කිසියම් සිද්ධියකින් පසු සමාජයේ මේ සම්බන්ධව වැඩි වශයෙන් කතා කරනවා පමණයි මේ ගැටලුව විසඳීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයිනේ ද?

මේ සම්බන්ධයෙන් රටක් වශයෙන් පොදු වැඩපිළිවෙළකට යා යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය උසස් අධ්‍යාපනය හැමෝගෙම එකතුවෙන් පාර්ලිමේන්තුව සාමාජිකයන් සමඟ ජාතික වශයෙන් මේ ප්‍රශ්නය විසඳන්න ක්ෂණිකව එකතු වෙන්න ඕන. මේ සම්බන්ධව ජාතික ළමා කමිටුවක් ක්‍රියාත්මක වුණා. කමිටු තිබුණට වැඩක් නෑ සියලුම පාර්ශ්වයන් එකට සම්බන්ධ වෙන්න ඕනේ. නීතිපතිගෙන් එන්න ඕනේ. පොලිසිය අධිකරණය ඉන්න ඕනේ. හැමෝම එකතු එකතුවෙලා මේකට හරි වැඩපිළිවෙළකින් අපරාධ කළ අයට දඬුවම් ලබාදෙන්න විමර්ශනය කරන්න ඕන. හැම ආණ්ඩුවක දීම මේ වැඩපිළිවෙළ හදනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මමත් හිටිය කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීමේ අගමැති කාර්ය සාධක බළකායේ. මාස හයක් හතක් මහන්සි වෙලා කමිටුව හැදුවා. මේ ටිකම අපි හැමදාම කතා කරනවා. කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්. මීට අමතරව වැඩිහිටියන්ට මවුපියන්ට වැඩි වගකීමක් පැරෙනවා දරුවන් ගැන අවධානයෙන් ඉන්න. ඔවුන්ව දැනුවත් කරන්න.

මෙවැනි අපරාධ වාර්තාකරණයේ ගැටලු නිසා වින්දිතයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවට මතයක් තිබෙනවා…

ඇතැම් මාධ්‍ය මේවා වාර්තා කරන්නේ ආචාරධර්මානුකූලව නෙවෙයි. වින්දිත දරුවන්ගේ පින්තූර පළ කිරීම සුදුසු නැහැ. ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනේ මාධ්‍යවලින්. වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා පනතක් තියෙනවා. මේ මියගිය දරුවාගේ ජායාරූප හුවමාරු වෙනවා කියන්නේ එක හොඳ දෙයක් නෙවෙයි. එයා වින්දිතයෙක්. තව වින්දිතයෝ ඉන්නවා. ගෙදර අම්මත් ඒකෙ වින්දිතයෙක්. වක්‍රාකාර වින්දිතයෝ ඉන්නවා. මේ වින්දිතයන්ගේ ජීවිතවලට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. විදෙස් රටවල මෙවැනි සිද්ධීන් පින්තුර දාල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. තවත් අය මේ ක්‍රම උපායන් දකිනවා. ඒවා අනුගමනය කරන්න ඔවුන්ට පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. අපරාධ වැඩි වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය සදාචාරය ඉතාමත් වැදගත්.

රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment