කාර්මික ආරවුල් පනත් කෙටුම්පත් සඳහා කථානායක අනුමැතිය

141

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පෙරේදා (23 දා) සටහන් කළේය.

කම්කරු ආරවුල් විසදීමේදී මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින තදබදය අවම කිරීම සඳහා කම්කරු විනිශ්චය අධිකාරිවල සභාපතිවරයන් අතිරේක මහෙස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම හා ඒ හා සබැඳි කරුණු සඳහා විධිවිධාන සැලසීම කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කෙරේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර නඩුවක එක් එක් පාර්ශවයකට නඩු තීන්දුවේ හෝ නඩු වාර්තාවේ අවසාන ආඥාවේ එක් සහතික පිටපතක් ගාස්තු අය කිරීමෙන් තොරව ලබා දීම සිදුවේ.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිවිල් නඩු විධාන සංග්‍රහය පනතට 154 (අ) නව වගන්තිය ඇතුළත් කරනු ලබන අතර යම් නීති කෘත්‍යයන්හීදී ඇතැම් ලේඛන විධිමත් ඔප්පු කිරීමෙන් නිදහස් කිරීම සිදුවේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 17 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), 2022 අංක 18 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 19 දරන කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් ලෙස පෙරේදා (23) සිට බලාත්මක වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment