කාර්මික දෝෂයකට ලක්වෙලා – ධීවර මළසිරුරු රැගෙන DEVON 5 ගොඩබිමට ගේන්න හෙට වෙයි

104

මුහුදේ ස්වභාවය නිසා නාවික හමුදා යාත්‍රාවක් යොදවන්න බැහැලු

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මියගිය ධීවරයන් සිව්දෙනකුගේ දේහයන් රැගත් DEVON 5 බහුදින යාත්‍රාව ගොඩබිමට පැමිණීමට හෙට (03දා) දක්වා කල් ගතවන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඊයේ (01දා) පැවසීය.

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය DEVON 5 යාත්‍රාවේ ධීවරයන් හයදෙනකු මුහුදේ පාවෙමින් ආ බෝතලයක ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීම නිසා ඔවුන් සියලු දෙනා බරපතළ ලෙස රෝගී වී සිව්දෙනකු බෝට්ටුව තුළම මියගොස් තිබිණි.

සිද්ධිය පිළිබඳව ගොඩබිම මධ්‍යස්ථානය දැනුවත් කිරීමෙන් පසු එම මධ්‍යස්ථානයෙන් ධීවර අමාත්‍යාංශය සහ නාවික හමුදාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි. සිද්ධියට මුහුණපෑ බහුදින යාත්‍රාව ඒ වනවිට මුහුදු සැතපුම් 400ක් (කිලෝමීටර් 675ක්) පමණ දුරකින් පැවතිණි. නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් යුක්තව ඉතිරි වී සිටි ධීවරයන් දෙදෙනා බේරා ගැනීමට ගමන් ආරම්භ කර තිබුණි.

ඒ වනවිට DEVON 5 යාත්‍රාව ආසන්නයෙන් සිංගප්පූරු ධජය යටතේ ගමන් කරමින් තිබුණු වෙළෙඳ නෞකාවකට ධීවරයන් දෙදෙනා බේරාගන්නා ලෙස නාවික හමුදාව කළ දැනුම්දීම අනුව, ඔවුන් දෙදෙනා එම නෞකාවට ගෙන ඇති අතර එහිදී එක් ධීවරයකු මියගොස් තිබේ. එම සිංගප්පූරු නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කර පෙරේදා (30දා) රාත්‍රියේදී ජීවතුන් අතර සිටින නාවිකයා සහ මියගිය ධීවරයාගේ සිරුර නාවික හමුදාවට භාර දී ඇත.

නාවික හමුදාව භාරගත් ජීවතුන් අතර සිටි ධීවරයා සහ මියගිය ධීවරයාගේ මෘතදේහය ඊයේ (01දා) පෙරවරුවේ හම්බන්තොට වරායට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා, ධීවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමටත් මෘතදේහය මරණ පරීක්ෂණ සඳහා භාරදීමටත් කටයුතු කර තිබුණි.

රෝහලට ඇතුළත් කළ ධීවරයා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් ඔහුට විජලනය පැවැතීම නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙන බවත් හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. ඔහුගේ තත්ත්වය බරපතළ නොමැති බව ද ඇය කීවාය.

මේ අතර මෘතදේහ හතරක් සහිත DEVON 5 යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට ලක්ව තිබෙන බවත්, එම යාත්‍රාව තවත් යාත්‍රාවකින් ගොඩබිම දෙසට ඇදගෙන එන බවත්, එය ගොඩබිමට ළඟාවීමට හෙට පමණ වන බවත් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෘතදේහ සහිත බහුදින යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒම සඳහා මුහුදේ ස්වභාවය අනුව නාවික හමුදා යාත්‍රාවක් යෙදවිය නොහැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. එම බහුදින යාත්‍රාව නාවික හමුදා යාත්‍රාවක් මගින් ඇදගෙන ඒමට කටයුතු කිරීමේදී යාත්‍රාව ගිලීයෑමේ අවදානමක් පවතින බවත් එසේ වුවහොත් ඉදිරි පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි නිසා දැනට අනුගමනය කර තිබෙන ආකාරයට මෘතදේහ ගොඩබිමට රැගෙන එනු ඇති බවත් වික්‍රමසූරිය මහතා කීය.

චමින්ද සිල්වා, මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment