‘කාලක්’ ක‍්‍රියා කිරීමෙන් පසු

1066

කාලක් ක‍්‍රියා කිරීමෙන් පසු ඇති විය හැකි තත්ත්වය මෙසේය; බස බස ගා කාලක් ක‍්‍රියා කළ පුද්ගලයා තුඃ ගා බිමට කෙළ ගසා ලැසි ගමනින් සිය ගමනාන්තය බලා යයි. ඒ යන අතර වඬේ කඬේකින් වඩයක් කෑම, වඬේ සමග බැදපු මිරිස් කරල් දෙකක් ඉල්ලා එයත් කෑම, බැදපු සාලයෙක් කෑම වැනි දෙයක් ඔහු කරයි. බොහෝවිට, කාලක් ක‍්‍රියා කරන මිනිහාට රෝස්ට් චිකන් පළුවක් හෝ බැදපු තෝර මාළු පෙත්තක් ගැනීමට තරම් වත්කමක් නැත. එබඳු වත්කමක් තිබුණේ නම් ඔහු ක‍්‍රියා කරන්නේ කාලක් නොව භාගයක් හෝ බෝතලයකි. කුමක් ද මේ කාල? මේ වූකලී මිලි ලීටර් 180 අරක්කු කාලේ බෝතලය ය. පාරිසරික ව්‍යසනයක් වෙමින් පවත්නා අරක්කු කාලේ බෝතලය වහා තහනම් කළ යුතු බව ජාතික දුම්වැටි සහ මද්‍යසාර අධිකාරිය රජයෙන් ඉල්ලා ඇත. අවසන් සංඛ්‍යා ලේඛනවලට අනුව 2018 දී අරක්කු බෝතල් මිලියන 210 ක් ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කර තිබේ. එයින් හරි අඩක්ම එනම් බෝතල් 105532169 ක් ම කාලේ අරක්කු බෝතල් ය. ඉතිරි බෝතල් මිලියන 1.5 සමන්විත වන්නේ අරක්කු භාගේ බෝතල් සහ සම්පූර්ණ අරක්කු බෝතල්වලිනි. මේ රටේ විකුණන කසිප්පු ගැන හරි ආකාර සංඛ්‍යා ලේඛන නැත. අනුමාන ගණන් හිලව්වලට අනුව කසිප්පු බෝතල් මිලියන 25 ක් පමණ වාර්ෂිකව රට පුරා අලෙවි කරනු ලැබේ. ඉන්කම් ටැක්ස් නැති, සුරා බදු නැති, ලයිසන් ගාස්තු නැති කසිප්පු බෝතලයක් රුපියල් 800 – 1000 ට විකිණෙද්දී අරක්කු බෝතලයක මිල රුපියල් 1650 සිට ඉහළට ඇත. ලංකාවේ අරක්කු නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී මිලිලීටර් 750 හිස් බෝතලයට පුරවන එතිල් ඇල්කොහොල්වලටත් ඊට එකතු කරන ආසූත ජලයටත්, එවිට හැදෙන අරක්කු පාට කිරීම සඳහා ගන්නා ෂුගර් කැරමල්වලටත් බෝතලයේ මූඩියටත්, ලේබලයට සහ ප‍්‍රවාහනයටත් රුපියල් 300 ට වඩා වැය නොවේ. මේ රුපියල් 300 ට විවිධ බදු මුදල් එකතු වී අරක්කු බෝතලය රුපියල් 1650 කට මිල නියම කරනු ලැබේ. වයින් ස්ටෝර්ස්වල විකුණන අරක්කුවලින් එතරම් විශාල ලාභයක් නැත. ලාභ ගැනීමට නම් අරක්කුවලට පාට කළ කසිප්පු එකතු කළ යුතුමය. අරක්කු බෝතලයේ මිල ලෙස රුපියල් 1650 නිර්මාණය වෙන්නේ පෙර කී ටැක්ස් නිසාය. අරක්කු බෝතලයකත් කසිප්පු බෝතලයකත් මිල පරතරයට හේතුව මෙයයි. නිෂ්පාදන ක‍්‍රියාවලියේදී කසිප්පු පෙරන්නේ ඉතා අපිරිසිදු ලෙසය. එහි ප‍්‍රමිතිය අරක්කුවලට හුඟක් පහළය. කෙසේ වුවද අරක්කු වේවා කසිප්පු වේවා දෙකම කිසිදු ගුණදායක පානයන් නොවේ. මේ දෙජාතිය මගින්ම සිදුකරන්නේ බොකු බඩවැල් කුණු කිරීමය. සෞඛ්‍යයට කොතරම් හානිදායක වුවද කිසිම රටක් මත්පැන් නිෂ්පාදනය තහනම් නොකරයි. එසේම ප‍්‍රවර්ධනය ද නොකරයි. එයට හේතුව මත්පැන්වලින් රජයට හිමිවන බදු මුදලය. සිගරට්වල තත්ත්වයත් මෙයමයි. ලෝකයේ රටවල් වැඩි හරියක් මේවන විට සිගරට් ප‍්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටී. එසේම සිගරට් තහනම් කිරීමෙන් ද වැළකී සිටී.

කාලේ අරක්කු බෝතලය යනු මාරක ප‍්‍රශ්නයකි. එය නිපදවා ඇත්තේ කලිසම් සාක්කුව තුළ දමාගෙන යෑමට හැකිවන පරිදි මදක් කවාකාර හැඩයකට ය. ඒ නිසා කලිසම් අඳින ඕනෑම මහත්තයෙකුට වයින් ස්ටෝර්ස් එකකට ගොස් කාලේ බෝතලයක් මිලට ගෙන සාක්කුවේ දමාගත හැකිය. ඇතැම් බේබද්දෝ අරක්කු තැබෑරුම ඉදිරිපිටදීම කාලේ බෝතලය කටේ හලාගෙන හිස් බෝතලය පාරට වීසිකොට ගෙදර යති. බාර් එක තිබෙන භූමියේ හිස් කාලේ බෝතලය දමා යෑමට බේබදු පාරිභෝගිකයාට අවසර නැත. යම් හෙයකින් හිස් කාලේ බෝතලය වයින් ස්ටෝර්ස් එක ළඟ දමා යෑමට තැත් කළොත් බාර් එකේ කට්ටිය ස්වකීය ගනුදෙනුකාර බේබද්දාට කුණුහරුප කියා බැණ වදිති. මේ නිසා මහ පාරවල්වලට, අතුරු පාරවල්වලට, කාණු සහ බෝක්කුවලට හිස් කාලේ බෝතල් වීසි කිරීම නිසා අප පෙර ද සඳහන් කළ පරිදි දරුණු පාරිසරික ප‍්‍රශ්නයක් හටගෙන තිබේ. ඇතැම් නරුම බේබද්දෝ අරක්කු කාල පානය කොට හිස් බෝතලය කුඹුරුවලට වීසි කරති. ට‍්‍රැක්ටරයෙන් කුඹුර සී සාන විට එම බෝතල් කුඩු වී මඩ යටට යයි. ඊළඟට වී ඉසින්නට ගොවියා කුඹුරට බසින විට අර වීදුරු කටුවලට කකුල් කැපේ. කකුල කැපුන තැනින් JAPANESE ENCEPHALITIS වැනි විෂ බීජයක් ඇතුළු වුණොත් එය ගොවියාගේ මොළය දක්වා ගමන් කර ඔහු මරා දමයි.

ගිය අවුරුද්දේ පරිසරයට වීසි කරන ලද හිස් කාලේ බෝතල් ගණන 105532169 කි. ජාතික දුම්වැටි සහ මද්‍යසාර අධිකාරිය කියන පරිදි මේ හිස් බෝතල් එකතු කිරීමට හෝ එකතු කර ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට හෝ මත්පැන් නිෂ්පාදකයෝ කටයුතු නොකරති. මෙයට කලකට පෙර කාලේ බෝතල් වෙනුවට අරක්කු කාලේ සැශේ පැකට් නිපදවීමට අරක්කු කොම්පැනිකාරයෝ කල්පනා කළහ. අරක්කු සැශේ එකකට යන නිෂ්පාදන මිල කාලේ බෝතලයක නිෂ්පාදන මිලෙන් අටෙන් එකක් පමණ වේ. එසේ වූහයි කියා මිලි ලීටර් 180 අරක්කු සැශේ එකක මිල අඩු කරන්නේ නැත. (මිල අඩු කළ යුතුත් නැත.) එහෙත් පොලිතීන්වලින් තොර පරිසරයක් බිහිකිරීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට අනුව අරක්කු සැශේ පැකට් නිපදවීම තහනම් කරන ලදී. මේ සැශේ පැකට් වසංගතය පැමිණියේ නම් ඒවා පාසල් දරුවන් අතට වුව යා හැකිව තිබිණ. ආණ්ඩුව කොතරම් එපා කීවත් මද්‍යසාර අඩංගු පුවක් පැකට් විකිණීම අදටත් මේ රටේ සිදුවෙයි. එසේම මත්ද්‍රව්‍ය අඩංගු බුලත් විට ද විකුණනු ලැබේ. තමන් බලයට ආ විට රසායනික පොහොර ලබාදෙන බව එම පොහොර තහනම නිසා හටගත් ගැටුම්කාරී තත්ත්වවලදී සමගි ජන බලවේගයේ ඇතැම් නායකයෝ කීහ. අනාගතයේදී මේ රටේ බලයට පැමිණීමට අපේක්ෂා කරන කිසියම් දේශපාලන පක්ෂයක් අරක්කු සැශේ පැකට් නිෂ්පාදනයට ඉඩදෙන බව කීවොත් මේ රටේ සිටින සියලූම එදා වේල බේබද්දෝ එම පක්ෂයට ඡන්දය දීමට එක හිතින් පොරොන්දු වෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment