කාලසර්පයාගේ මළ පුඩුවට අසුවී, පටාචාරාවක් වූ ගජමන් නෝනා

1226

2 කොටස (මෙහි පළමු කොටස පසුගිය සතියේ පලවිය)
 

විවාහයන් දෙකම අසාර්ථකව දරුවන් සිවුදෙනකු සමග කණවැන්දුමියක වී මෙලොව අසරණ වූ ගජමන් නෝනා, තම පියාගේ වියෝවෙන් අන්ත අසරණ තත්ත්වයට පත් වූවාය. මනුෂ්‍යයකුට තම ජීවිත කාලය තුළ දී මුහුණ දීමට සිදු වූ දරුණුතම ව්‍යසනයන් තුනකට ලක්වූ ඇය, ආර්ථික අතින් පවා අන්ත දුගී තත්ත්වයකට ළඟා වූයේ කිසිවකුගේත් හව්හරණයක් නො ලබමිනි.

ජීවිතයේ අන්ත අපමරණ වූ දුක් කන්දරාවක් ඉවසා ගනිමින්, තම දරු සිවුදෙනා සමග ඉතා දුක්ඛිත ඉරණමකට ගජමන් නෝනා ගොදුරු වෙමින් සිටියා ය. තමා පත්ව ඇති අවාසනාවන්ත, දුක්මුසු අසරණ තත්ත්වය පිළිබඳව තමා හොඳින් දන්නා හඳුනන, එකල හම්බන්තොට, දිසාපති ධුරය හෙබ වූ ජෝන් ඩොයිලි මැතිඳුන් වෙත ගජමන් නෝනා සංදේශයක් ලියා යැව්වාය. එම සංදේශය ලියා යවනවා විනා ඇයට කළ හැකි වෙනත් විකල්පයක් නො තිබුණ බව ඩොයිලි මහතාට යවන ලද මෙම කවියෙන් මනාව පැහැදිලි වේ.

කාලසර්පයාගේ මළ පුඩුවට අසුවී, පටාචාරාවක් වූ ගජමන් නෝනා

ගජමන් නෝනාගේ දුක් මුසු ආයාචනය වෙත තම කාරුණික අවධානය යොමු කළ ජෝන් ඩොයිලි මහතා ඇයට ගම්වරයක් තෑගි කරන ලදී. අදත් ‘‘නෝනාගම’’ යනුවෙන් දකුණු පළාතේ ඇත්තේ එම ගම්වරයයි.

ගජමන් නෝනාගේ කේන්දරයේ පස්වැන්න වූ වෘශ්චිකයේ පුත‍්‍ර කාරක ගුරු තැන්පත්ව සිටිමින්, විවාහ දෙකක දී ඇයට පුතුන් සතර දෙනකු ම ලබාදීමට තරම් කාරුණිය විය. එහෙත් පහේ ගුරු දරුවන්ට රෝග සාදන බවත්, අපල උදාකරන බවත් ජ්‍යොතිෂයේ සඳහන්ව ඇත. විශේෂයෙන් පිරිමි දරුවන්ට මෙම අපලය බලවත්ව යෙදෙන බවත් ද දක්වා තිබේ. ඒ බව සනාථ කරමින් ගජමන් නෝනාගේ පුතුන් හතරදෙනා ම වසංගත උණ රෝගයකින් මියෑදුණේ ඇය මෙලොව තනි කර දමමිනි.

ගජමන් නෝනාට සිදුවූයේ එදා බුදුන් දවස පටාචාරාවන්ට සිදු වූ දේමය. ගජමන් නෝනා ද රාජ යෝගවලින් අලංකෘත වූ උත්පත්තියක් ලබා මෙලොව අන්ත අසරණ තත්ත්වයකට පත් වූ අතර, පටාචාරාවන් ද, රජ මැඳුරක ඉපිද තුරුණු වියේදීම දෛවයේ කුරිරු සරදමකට ලක්වන්නට තරම් අවාසනාවන්ත තැනැත්තියක වූවාය.

කාලසර්පයාගේ මළ පුඩුවට අසුවී, පටාචාරාවක් වූ ගජමන් නෝනා

මහා පරිවර්තන යෝගයක් හෝ රාජ යෝග ගණයේලා සැලකිය හැකි යෝගයක් හෝ යෙදුණු පමණින්ම එය එලෙසම කි‍්‍රයාත්මක නොවන බව ගජමන් නෝනාගේ කේන්දරයෙන් මනාව වැටහෙනු ඇත. සෑම යෝගයකම ඵලෝත්පාදක බව මැනිිය හැක්කේ, ජන්ම පත‍්‍රයක පිහිටි අන් ග‍්‍රහ පිහිටීම් හා යෝග යෙදී ඇති ආකාරයත්, දෘෂ්ටි වැටී ඇති අන්දමත් තුලනාත්මකව විමසා බැලීමෙන් පමණි. එය මහා ඍෂීන්ගේ මතයයි.

ගජමන් නෝනාගේ තනි වූ ජීවිතයට හමා ආ චණ්ඩ මාරුතය දිනෙන් දින දරුණු වන්නට විය. සමාජයෙන් එල්ල වූ දැඩි නින්දා, අපහාසවලට මුහුණ දී ගතනොහැකි වූ වාර අපමණ විය.

එමෙන්ම රවි, කුජ හා රාහු යන ග‍්‍රහ ත‍්‍රිත්වය පේ‍්‍රම සබඳතා මෙන්ම විවාහ ජීවිත ද විනාශ කරනුයේ සිත් පිත් නැති අයුරෙන්ය. පුත‍්‍ර හානි ඇති කිරීමට ද මොවුන්ගෙන් ලැබුණු පිටිවහල අඩුවෙන් තක්සේරු කළ නොහැක.

වෘශ්චිකයේ දී නීච වූ චන්ද්‍රයා, ගජමන් නෝනාගේ මුළු ආත්මයම විනාශ කරන ලද්දේ අකාරුණික ලෙස සිත් පිත් නැති අයුරිනි. මීනයේ දී උච්ච වූ සිකුරු ග‍්‍රහයා ‘‘මහෝෂධ යෝගය’’ උදා කරමින් ඇයට පුන් සිසි වත පරයන රූප ශෝබාවක් දායාද කළ අතර එකල පැවැති සමාජ ස්ථරය තුළ ඇයට ජනපි‍්‍රයත්වය හා ප‍්‍රසිද්ධිය ළඟා කර දීමට තරම් එය ප‍්‍රබල විය.

‘‘චාමර යෝගය’’ හේතුවෙන් ඇයට ව්‍යක්ත කථිකත්වයක් හා කවීත්වයක් උපතින්ම උරුම විය. එමෙන්ම රාජාධි, රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලැබීමට තරම් ගජමන් නෝනා වාසනාවන්ත වූයේ එම චාමර යෝගයේ ආකර්ෂණීය බලමහිමයෙනි.

රාජකීයන්ගේ අවධානයත්, වරප‍්‍රසාදයත් හා ගරු සම්මානයන්ගෙන් පිදුම් ලැබීම් ගජමන් නෝනාහට උරුම වූයේ ඇගේ කේන්දරයේ පිහිටා තිබූ ‘‘සුගම යෝගය’’ කරණ කොටගෙනය.

ගජමන් නෝනාගේ ජන්ම පත‍්‍රයෙහි ‘‘හතර කේන්දරය’’ පාළුවට ගොසිනි. හතර කේන්දරය යනු 1, 4, 7 හා 10 වැනි ස්ථානයන්ය. එය අවාසනාවන්ත තත්ත්වයකි. ‘‘අලි මදිවාට කොටි’’ කීවා සේ ඇගේ කටක ලග්න කේන්දරයේ කාලසර්ප යෝගය ද උපතින්ම සටහන් වී තිබේ. එය ද ජ්‍යොතිෂයට අනුව අවාසනාවන්ත යෝගයක් ලෙස පෙන්වා දී ඇත.

කාලසර්ප යෝගය නිර්මාණය වනුයේ කේන්දරයක රාහු හා කේතු අතර අනෙකුත් ග‍්‍රහයන් සත්දෙනා මැදිව සිටීමයි. රාහු හා කේතු හඳුන්වන්නේ විෂම දුබල ග‍්‍රහයන් හැටියට ය. ඔවුන් දෙදෙනා ඡුායා ග‍්‍රහයන් බව ජ්‍යොතිෂයේ පෙන්වා දෙයි. නාගයකුට උපමා කර ඇති රාහු නාගයාගේ හිස නියෝජනය කරයි. කේතු නාගයාගේ වලිග කොටසට අයිති වාසිකම් පෙන්වයි.

මෙම කාලසර්පය යෙදුණ සමහර ජන්මීන්ගේ ජීවිත කාලයෙන් අඩක් අවාසනාවන්ත ලෙස ගෙවී යන බව පරීක්ෂණවල දී තහවුරු වී ඇත. මීට හොඳම උදාහරණය ගජමන් නෝනාගේ කේන්දරය හා සබැඳි ජීවිත කතාවයි. ආත්මයෙන් ආත්මයට ලූහුබැඳ ආ කාලසර්පයාගේ මළ පුඬුවට ගජමන් නෝනා ගොදුරු වූයේ ආත්මීය ශාප හේතුකොට ගෙනය.

අප කර්මය වෙනස් කිරීමට කොතෙක් උත්සාහ දැරුව ද එය ඵල රහිත ව්‍යායාමයක් පමණි. ගොනා පසුපස කරත්තය එන්නා සේ, අප පසුපස ද කර්මය ලූහුබඳිනුයේ එලෙසිනි. කාලසර්පයේ දුබල, විෂම තත්ත්වයට විවාහයෙන් පසු මුහුණ පෑමට අසරණ ගජමන් නෝනාට සිදු විය. ඒ පෙර කළ කරුමයක විපාක වශයෙනි.

කලින් සඳහන් කරන ලද ‘‘චාමර’’ යෝගයෙන් උපත ලද ජන්මීන්, හැත්තෑ එක් වසරක් පමණ ආයු වළඳන බව ඍෂීන් සඳහන් කර ඇත. එය තවදුරටත් සනාථ කරමින්, ගජමන් නෝනා අවුරුදු 68යි මාස 09යි, දින 05ක් ගත වූ දින අවසන් සුසුම් හෙළුවා ය. ඒ වනවිට ඇය කේතුගේ මහ දශාවේ සිකුරු අතුරු දශාව ගතකරමින් සිටියා ය.

කටක ලග්නයෙන් උපත ලැබුවන්ට සිකුරු නොහොත් ශුක‍්‍ර මාරක ග‍්‍රහයා වනබව ඍෂීන් පවසා ඇත. ගජමන් නෝනාගේ කේන්දරයට අනුරූපව සියල්ල මුල සිට අග දක්වා ම එලෙසින්ම සිදුවී තිබේ. කාලසර්පයාගේ ශාපයෙන් මිදීමට ඇයට නොහැකි විය. තවදුරටත් තම දුක දරාගත නොහැකි වූ ගජමන් නෝනා, 1814 දෙසැම්බර් 15 වැනි ගුරු දින සියතින් තම ගෙල කපාගෙන මරුමුව වැදුණා ය.

කාලසර්පයාගේ මළ පුඩුවට අසුවී, පටාචාරාවක් වූ ගජමන් නෝනා

සමාප්තයි

කාලසර්පයාගේ මළ පුඩුවට අසුවී, පටාචාරාවක් වූ ගජමන් නෝනා

පාරම්පරික ජ්‍යොතිෂවේදී,
 දිවුලපිටියේ,
 ඩග්ලස් ගුණවර්ධන
 දු.අංකය – 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment