කාල් මාක්ස්, අරික්කාල් මාක්ස්, භාග මාක්ස් සහ ෆුල් මාක්ස්

675

පසුගිය අවුරුදු දහස හෙවත් වසර දෙදහසින් අවසන් වූ සහශ්‍රය තුළ යුරෝපයේ උපන් විශිෂ්ටතම මතවාදියා ලෙස සැලකෙන කාල් මාක්ස් මිය ගොස් අවුරුදු 117 ක් සම්පූර්ණ වී තිබේ. සමානාත්මතාව පිළිබඳ මහඟු දර්ශනයක් වූ මාක්ස්වාදය කාල් මාක්ස් විසින් සකස් කරගන්නා ලද්දේ රෑ නිදාගෙන උදේ අවදි වී නිකන්ම නොව තවත් ගුරුවරුන් රැසකගේ මතවාදයන් සලකා බැලීමෙන් පසුවය. සැබෑ දර්ශනවාදියා හැමවිටම කටයුතු කරන්නේ පෙර අපර ගළපා සත්‍යය සාක්ෂාත් කරගැනීමෙනි. මෙයට අවුරුදු 2500 ට පෙර ඉන්දියාවේදී උපන් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේද නිවන් මග සාක්ෂාත් කරගෙන ධර්ම ප්‍රචාරය කිරීමට පළමුව එවකට ඉන්දියාවේ පැවති වෙනත් ආගම් සහ දර්ශනවාදයන් ගැන මනා පරිචයක් ලදහ. බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වීමට පෙරද පන්සිල් සහ අටසිල් ඒ රටේ තිබිණ. මහා මායා දේවී තමෝ සිදුහත් කුමාරෝත්පත්තිය සිදුකරන අවස්ථාවේදී පෙහෙවස් සමාදන්ව සිටියාය. ශ්‍රමණයකු බවට පත්වූ සිද්ධාර්ථ කුමාරයා ශාස්තෘවරුන් විමසමින් බුද්ධිය මෙහෙයවා චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගෙන නිවන් මගට අවතීර්ණ වූහ. නිවන් මග වූකලී සදාකාලික විසඳුමකි.

එහෙත් කාල් මාක්ස්ගේ කරුමයට හෝ යුරෝපයේ කරුමයට මාක්ස්වාදය කවදාවත් සදාකල් විසඳුමක් වූයේ නැත. කාල් මාක්ස්ගේ දර්ශනයේ සරලම දර්ශනය වූකලී භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන සියලු නිෂ්පාදන සාධක ජනතාව සතු විය යුතු බවය. එසේ කිරීමට නම් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගොඩනැගිය යුතුය. කාල් මාක්ස් ජීවතුන් අතර සිටියදී කවදාවත් සමාජවාදී නිර්දන පන්ති ආඥාදායකත්වයක් සහිත සමාජවාදී රාජ්‍යයක පහළවීම දුටුවේ නැත. මාක්ස්ගේ ඇවෑමෙන් පසු ලෙනින් විසින් රුසියාවේදී මුල් වරට සමාජවාදී රාජ්‍යයක් පහළ කරන ලදී. කෙසේ වුවද ධනවාදය වේවා එහි දේශපාලන මුහුණුවර වන ප්‍රජාතන්ත්‍රවාදය වේවා, සමාජවාදය වේවා ඒ හැම එකක් තුළම සිටින්නෝ පෘතග්ජනයෝය. පෘතග්ජනයා මුදලට ප්‍රිය ය. රාගයට ලොල් ය. ආහාරය ඔහුට අත්‍යවශ්‍ය ය. මේ නිසා සමාජවාදය තුළදී හොරකම් ඇති වේ. සමාජවාදය තුළ කළ හැකි උපරිම දෙය වන්නේ සූරාකෑම සහ සොරකම් අවම කිරීම පමණි.. උග්‍ර ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ හොඳම හමුදාපතිවරයා වූයේ ෆීල්ඩ් මාෂල් අර්විං රොමෙල්ය. Desert Fox ලෙස හඳුන්වනු ලැබූ මේ අතිශූර සෙනෙවියා හිට්ලර්ගේ සැකයට ලක්විය. තමා මරා ජර්මන් ආණ්ඩුවේ බලය ඇල්ලීමට අර්විං රොමෙල් සූදානම් වන බව හිට්ලර් සැක කළේය. අන්තිමේදී රොමෙල් කැඳවූ හිට්ලර් විකල්ප යෝජනා ඉදිරිපත් කළේය. පළමුවැන්න නම් රොමෙල් සෙනෙවියා වස පානය කර සිය දිවි නසාගත යුතුය. එවිට ඔහුගේ මරණය හෘදයාබාධයක් සේ සලකා රාජ්‍යය ගෞරව සහිත අවමංගල්‍යය උත්සවයක් පවත්වා ඔහුගේ දේහය මිහිදන් කරනු ලැබේ. නොඑසේ නම් රාජද්‍රෝහීන් සේ සලකා රොමෙල් ඇතුළු මුළු පවුලම අත්අඩංගුවට ගෙන නඩු අසා මරා දමනු ලැබේ. මෙහිදී වස බී මිය යෑමට රොමෙල් කැමති විය.

ලොක්කන්ට ඕනෑවට වඩා ළං වීමේ කෙළිය ඔන්න ඕකය. අපේ කතාව වෙනතක යන බව පෙනේ. නැවතත් කාල් මාක්ස් වෙත යොමුවෙමු. කාල් මාක්ස්ගේ සමාජවාදී සංකල්පය සහ නිර්දන පන්ති ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමට කිසිම රටකට බැරිවිය. සෝවියට් දේශය හෙවත් සමාජවාදී සෝවියට් ජනරජය පසුකාලයේදී කැබලි වලට කැඩුණු අතර රුසියාව පමණක් ඉතිරි වී උග්‍ර ධනවාදී රාජ්‍යයක් බවට පත්විය. අද පවතින්නේ රුසියාව නමැති ධනවාදී රට සහ ඇමරිකාව නමැති ධනවාදී රට අතර ගැටුමක් මිස සමාජවාදය සහ ධනවාදය අතර ගැටුමක් නොවේ. එසේම සමාජවාදය ව්‍යවහාර කිරීමට ගිය කාම්බෝජය සම්පූර්ණයෙන්ම වැඩේ අනාගත්තේය. ඒ රටේ සමාජවාදය ක්‍රියාත්මක කළ කොමියුනිස්ට් නායකයාගේ නම පොල් පොට්ය. නිර්ධන පන්ති ආඥාදායකත්වයක් සෑදීමේදී පවුල නමැති සංකල්පය නැති කළ යුතු බව මාක්ස්ගේ අදහස විය. එයට හේතුවූයේ පවුලක් යනු ආත්මාර්ථකාමී දේහයක් වීමය. පවුල ගොඩනැගෙන්නට උත්සාහ කරන්නේ තනිව මිස අල්ලපු ගෙදර පවුලත් සමග නොවේ. මෙය මතවාදී වශයෙන් කළයුතු දෙයකි. එනම් සියලු පවුල්වල සාමාජිකයන් සහෝදර සහෝදරියන් බවට හිතන තැනට මිනිසුන් පත්විය යුතුය. කොතරම් උගතකු වුවද මතවාදී ගොනකු වූ පොල් පොට් පවුල නමැති සංකල්පය නැති කළේ කෙසේද? ඔහු කළේ පවුල කැබලි වලට කඩා තාත්තා තිරිකුණාමලයේත් අම්මා ඇඹිලිපිටියේත් දුව මහනුවරත් පුතා පේදුරුතුඩුවේත් සමූහ ගොවිපළවල් වලට යැවීමය. මෙයට අකැමැති වන අය මරා දමන ලදී. මිනිසුන් මැරීමට වෙඩි උණ්ඩ පාවිච්චි කළොත් විශාල වියදමක් යන බැවින් ඔහු අලුත් ක්‍රමයකට මිනිසුන් මැරීය. ඒ වූකලී දෑත් පිටුපසට බැඳ හිසට ෂොපින් බෑග් එකක් දමා බෙල්ල ළඟින් තද ගැටයක් යෙදීමෙනි. එවිට අදාළ පුද්ගලයා හුස්ම හිරවී මළේය. ඒ සඳහා චීනයෙන් ෂොපින් බෑග් විසි ලක්ෂයක් ගෙන්වන ලදී. පොල් පොට්ගේ විප්ලවය අවසන් වන විට ප්‍රති විප්ලවකාරීන් ලෙස සලකා මරණ ලද ජනගහනය විසි ලක්ෂයකි.

චීනයද මාවෝ සේතුං යටතේ සමාජවාදී රාජ්‍යයක් ලෙස ජීවිතය අලුතින් පටන්ගත් නමුත් අද වනවිට ඇමරිකාව තරමටම දරුණු දක්ෂිණාංශික ව්‍යාප්තවාදී රාජ්‍යයක් වෙමින් පවතී. උතුරු කොරියාව යනු කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස තිබී මේ වනවිට පියාගෙන් පුතාට රට අයිතිවන පිස්සු ලෝකයක් බවට පත්ව තිබේ. උතුරු කොරියාව හැමවිටම කියන්නේ තමන් සමාජවාදී බවය. එහෙත් ඒ රට දූෂණයෙන් පිරුණු නොදියුණු රටකි. ශ්‍රී ලංකාවද සමාජවාද අත්හදා බැලීමට ගොස් විවිධ තැන්වලදී ඇනගෙන පස්සා පැත්තේ අමතර හිල් හදා ගත්තේය. මෙයට හේතුව කුමක්ද? මේ වන විට ලෝකයේ කොතැනකවත් කාල් මාක්ස්ලා නැත. හැම තැනම ඉන්නේ අරික්කාල් මාක්ස්ලා සහ බාග මාක්ස් ලා පමණි. ඒ නිසා ෆුල් මාක්ස්ලා බිහි නොවෙති. මේ රටේ ජනයාගෙන් සෑහෙන පිරිසක් අද වනවිට කාල් මාක්ස් ගැන නොදනිති. ඔවුන් ඊට වඩා දන්නේ කොරෝනා කාලයේදී පැමිණි ‘මාස්ක්’ එක ගැනය. ඒ නිසා මාක්ස් වාදයට වඩා “මාස්ක් වාදයට” රට තුළ වැඩි ප්‍රසිද්ධියක් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment