කාල් මාක්ස් දුටු ශ‍්‍රී ලංකාව

1492

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති අජිත් පවාර් බැලූ බැල්මට ඉතා හොඳ ජාතිකවාදී දේශපාලනඥයෙකි. ඔහුගේ වැඩිමහලූ සහෝදරයා වූකලී ඉන්දියාවේ ජාතිකවාදී කොංග‍්‍රස් පක්ෂයේ නායකයා වූද එම ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූද ශාරාද් පවාර් ය. ඉන්දියාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව පසුගියදා වැදගත් සොයාගැනීමක් කළේය. එනම් ඉන්දියානු රුපියල් බිලියන 10 ක අප‍්‍රකාශිත දේපළ අජිත් පවාර් ට තිබෙන බවය. මෙය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 30 කට සමාන වටිනාකමකි. අජිත් පවාර් ට මේ තරම් විශාල ධනයක් කොහෙන් ලැබුණේ ද යන්න කව්රුත් නොදනී. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැතිට ඒ තරම් ලොකු පඩියක් නැත. එම පඩියේ හැටියට ඉන්දියානු රුපියල් බිලියන 10 ක් උපයා ගැනීම සඳහා නියෝජ්‍ය මහ ඇමැතිතුමා අඩුම ගණනේ අවුරුදු දාහක්වත් එක දිගට තම තනතුරේ රාජකාරි කළ යුතුය. පෙරකී බිලියන දහයේ වත්කම් වෙනුවෙන් අජිත් පවාර් කිසිදු ආකාරයක බදු මුදලක්, එනම් ආදායම් බද්දක් හෝ ධන බද්දක් ආණ්ඩුවට ගෙවා නැත. මේ ආකාරයෙන් හම්බ කළ විදිය සොයා ගැනීමට බැරි නැතහොත් ඉපැයීම් මූලාශ‍්‍ර රහිත මුදල් හා දේපළ ගණනය කරනු ලබන්නේ ගසාකෑ දේපළ ලෙසය. අජිත් පවාර් යනු ඉන්දියාවේ හා ලංකාවේ තිබෙන ජනප‍්‍රිය දේශපාලනයේ සාම්පලයකි. අජිත් පවාර් වැනිම දේශපාලනඥයෝ ශ‍්‍රී ලංකාවේ ද සිටිති. 1948 ට පෙර මේ රටේ දේශපාලනය අතට ගත් වැඩිදෙනා වැඩවසම්වාදී පල් හොරුය. දුප්පතුන්ගේ ඉඩම් අක්කරය සත පහ බැගින් කුණු කොල්ලයට මිලට ගනිමින් ද දුප්පතුන්ගෙන් උගස් ගත් දේපළ කිසි කලෙකත් බේරා ගැනීමට ඉඩ නොදී අත්පත් කරගනිමින් ද පරිහානිගත ජීවිත ගත කළ මේ පල් හොර දේශපාලනඥයෝ විවිධ ස්වරූපවලින් අදටත් මේ රටේ සිටිති. මේ රටේ අද සිටින කඳ බඩ මහත රේන්ජ් රෝවර් වාහනවල යන ඇතැම් දේශපාලනඥයන් දේශපාලනයට එන විට බයිසිකලයක් ගැනීමට තරම්වත් වත්කමක් අත තිබූ අය නොවේ. එහෙත් දේශපාලන රැුකියාව ආරම්භ කර ඉතා සුළු කලකින් ගොඩින් හා මඩින් ඉඩම් ද කොළඹ හා ගමේ ගෙවල් ද බිරිඳට හා දරුවන්ට වෙන වෙනම වාහන ද ඔවුනට ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින සෑම රටකම මේ තත්ත්වය තිබුණත් ඉන්දියාව සහ ලංකාව තරම් එම රටවල් මේ අංශයෙන් ජරාජීර්ණ වී නැත. අවංක හිතින් දේශපාලනයට එන මිනිහා පවා මේ සමාජයේ පවතින දූෂිත කළු කුහරය මගින් ගිල දමනු ලැබේ. එම කළු කුහරයේ බඩවල් දිගේ ගොස් ගුද
මාර්ගයෙන් එළියට එන්නේ කාලකන්නි දීනයෙකි.

එක රටක් එක නීතියක් යන මාතෘකාව මේ දිනවල විශාල වශයෙන් ජනප‍්‍රිය වී තිබේ. එක රටක් තුළ නීති ගොඩක් නැතිව එක නීතියක් පමණක් තිබීම ඉතාම යෝග්‍යය ය. ඒ අතර ජනතාවගේ අපේක්ෂාව වන්නේ නීතිය හැමටම එක සමාන වීමය. පොල් ගෙඩි දෙකක් හොරෙන් කඩන සයිමන් අප්පුහාමිට ජීප් එකට විසි වෙන්නට පයින් ගහන පොලිසිය රුපියල් කෝටි හතක් අටක් වටිනා දේපළ සොරකම් කළ දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීමට නොහැකිව ළතවේ. බි‍්‍රතාන්‍ය ජාතික ලේඛකයකු වූ සුප‍්‍රකට ජෝර්ජ් ඕවල් එක්දහස් නවසිය හතලිස් ගණන්වලදී The Animal Farm නමැති කෙටි නවකතාවක් ලිවීය. සත්ත්ව ගොවිපොළක අයිතිකරු මියයෑමෙන් පසු එහි බලය අල්ලා ගන්නා සූකරයන් පිරිසක් එම ගොවිපළ පාලනය කරන ආකාරය එම පොතෙන් කියවේ. සත්ත්ව ගොවිපළ සතුන් විසින්ම පාලනය කළ යුතුය යන තේමාව යටතේ බලයට එන පෙරකී සූකර රැුළ ගොවිපළේ ආරක්ෂාවට සිටි දඩයම් බල්ලන් පිරිවරාගෙන උන් සමග පාටි දමමින් මිනිසුන්ටත් වඩා දූෂිත ලෙස ගොවිපළ පාලනය කරති.

ගොවිපළේ පාලක සූකරයා කියන පරිදි සියලූ සතුන් එක හා සමානය. එහෙත් ඇතැම් සතුන් අනෙක් සතුන්ට වඩා තවදුරටත් එක සමානය. මෙකී වඩාත් එක සමාන සත්ත්ව පංතිය වන්නේ ගොවිපළේ පාලක සූකර පිරිසයි. මෙය ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නිරූපණය කරන්නකි. හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ විට කලින් ආණ්ඩුවේ සිටි හොරුන්ට විරුද්ධව නඩු කියන්නට පටන් ගනී. එහෙත් එම නඩු අවසාන වීමට පෙර හොරුන්ගේ ආණ්ඩුව යළි බලයට එයි. එතැනින් එක්කෝ නීතිය නවතී. නැතහොත් නීතිය නැවෙයි. අලූතෙන් පත්වන ආණ්ඩුව එතැන් සිට පටන්ගන්නේ පැරදුණු ආණ්ඩුවේ හොරු ඇල්ලීමය. එම නඩු ඉවරවීමට කලින් නැවත වරක් මැතිවරණ පැවැත්වී එම හොරුන්ගේ ආණ්ඩුව බලයට එයි. මෙය ලංකා ඉතිහාසයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය පටන්ගත් දවසේ සිටම සිදුවන්නකි. මේ අතර හැම ආණ්ඩුවක්ම කළින් ආණ්ඩුවේ හොරුන් එකෙක් හෝ දෙන්නෙක් සංකේතාත්මකව හිරේ යවයි. මාක්ස්වාදයේ පීතෘවරයා වූ කාල් මාක්ස් මෙසේ ලියා ඇත. ඉතිහාසය පුනරුච්චාරණය වේ. එය මුලින් පුනරුච්චාරණය වන්නේ ඛේදාන්තයක් ලෙසය. ඊළඟට පුනරුච්චාරණය වන්නේ හාස්‍යයක් ලෙසය.

මාක්ස්වාදය හඳුන්වාදුන් නමුත් කාල් මාක්ස් මිය යන්නේ කිසිදු ආකාරයක කොමියුනිස්ට් සමාජයක් මිහිමත පහළවනු නොදැකය. මේ රටේ ජනතාවට මිය යෑමට සිදුව ඇත්තේ කිසිකලෙකත් සාධාරණ සමාජයක් නොදැකය.

advertistmentadvertistment
advertistmentadvertistment