කාලීදාස දුටු මරිය මව්තුමිය

1001

නත්තල් සමය නිමාවෙමින් පැවතියද උඳුවප් මාසයේ සීතල තවම පවතියි. නත්තලේ අසිරිය සැමදා වර්ණවත් කල අංගයක් වූයේ කැරොල් ගීත හෝ ජේසුස් වහන්සේ ශුද්ධ වූ මරිය මව් තුමිය හෝ ශාන්ත නිකොලස් තුමා මුල්කර ගත් ගීතයන්ය. මෙම ගීතයන් ක‍්‍රිස්තියානි භක්තිකයන් තුළ පමණක් නොව බෞද්ධ හා වෙනත් ආගමිකයන් අතර ද වසර ගණනාවක සිට ජනප‍්‍රියත්වයට පත්ව ඇත. විවිධ උත්සවයන් විනෝද චාරිකා මිතුරන් එකතුවීම්වලදීත් මෙම ගීත ගයනුයේ එහි ඇති මිහිරත්වයත් ජනප‍්‍රිය බවත් නිසාය.

කැරොල් ගීතයන් ලංකාවට මුල් වරට හඳුන්වා දෙන්නේ පෘතුගීසීන් විසිනි. ඒවා ගයනා වූයේ පෘතුගීසි බසින් හෝ ලතින් බසිනි. නමුත් සිංහල කතෝලික ගීතයන් අරම්භ කරණුයේ ජාකෝමේ ගොන්සල්වෙස් පියතුමා.

(1676 – 1742) විසිනි. සිංහල භාෂාවෙන් රචිත නිසාම මෙම ගීතයන් ප‍්‍රචලිත විය. පසුකාලීනව විශේෂයෙන් බි‍්‍රතාන්‍ය යුගය තුළ නව ගීත රාශියක් බිහිවන අතර ඒවායේ ජනප‍්‍රියත්ව අද දක්වාම පවතී. එයට හේතු වූයේ බටහිර සංගීත රටාවන්ගෙන් වෙනස්ව දේශීය සංගීත රටාවකට ඒවා නිමා වීමත් ජනප‍්‍රිය ගායක ගයිකාවන් එවා ගයනා කිරිමත්ය. මෙහි ප‍්‍රබල දායකත්වයක් දැරුවේ සුනිල් සාන්ත, හියුබත් දිසානායක, ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා ආදීන්ය. මෙහි විප්ලවිය වෙනස කළේ ගරු මර්සිලීනු ජයකොඩි පියතුමාගේ නිර්මාණයන්ය. දේශීය අනන්‍යතාවය, ලාංකික ගැමි ව්‍යවහාරය, සරල භාෂා රටාව හා සරල තනු එයට හේතු විය. රොනට වදින බිඟු ඔබයි, නෙඳුම් පිපීලා පෙති විසිරිලා, ? තරු බබලනවා ආදී ගීතයන් මෙයට නිදසුන්ය. මෙම ගීතයන් ජනප‍්‍රිය වීමට තවත් හේතුවක් වූයේ එකල ජනප‍්‍රිය ගායක ගායිකාවන් එම ගීත ගැයීමය. සුනිල් සාන්ත, රුක්මණි දේවි, චිත‍්‍රා සෝමපාල, ලතා වල්පොල, සී.ටී.ප‍්‍රනාන්දුගේ ගැයුම් මෙම ගීත තවත් අලෝකමත් කළේය.

නත්තල් හා ක‍්‍රිස්තියානි ගීතිකා තුළ ප‍්‍රධාන ලෙසම වූයේ යේසුස් වහන්සේ හෝ මරිය මව්තුමිය සම්බන්ධ ගීතිකාය. මරිය මව්තුමිය සම්බන්ධ මුල්ම ගීතයක් ලෙස හමුවන්නේ ගොන්සාල්වෙස් පියතුමාගේ යාඥා ගීතයක් මුඛ පරම්රාවෙන් පැවත 1800 ගණන්වල මුද්‍රණය වී ඇති ගීතයකි. එම ගීතය මෙසේය.

නමෝ නමෝ මරිය ප‍්‍රසාදෙන් පුරණිය
ත‍්‍රි එක සුරවර ඔබ කෙරෙ කන්නිය
ස්තී‍්‍රන් අතරෙන් ආශිර්වාද ලද්දිය

එයට පසුව මරියතුමිය සම්බන්ධ ගීත හමුවන්නේ 20 වන සිය වසේදීය. ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා ලියූ මරිය මව්තුමියගේ ගුණ වැයූ ගීතයන් ඒ අතර වේ. ජයකොඩි පියතුමා විසින් 1934 දී පමණ ලියා උන් වහන්සේම ස්වර මලාවන් ලියා කළ පළමු නිර්මාණය සපිරි සෑම අසිරි සෝම මරිය මව්තුමියට ලියූ ගීතයකි.

සපිරි සෑම අසිරි සෝම මවු මරියේම පණ වැනි
සකල දෝස ඉන් නිදෝස ෂරොන්හි රෝස කුසුමෙනි තුතින
මොස්තු තුතින මොස්තු ෂරොන්හි රෝස කුසුමෙනි
තුතින මොස්තු තුතින මොස්තු මවු මරියේම පණ වැනි

ජයකොඩි පියතුමාගේ බොහෝ ගණනක් ගීත රචනා කොට ඇතත් එහි වැඩි ප‍්‍රමාණයක් මරිය මව්තුමිය සම්බන්ධ ගීතිකාය. සරල වචන මලාවත් දේශීයත්වය පෙන්වන නෙඳුම්, වන මල්, ගොඩපර, බක් මී ආදී වචන මෙම ගීතිකා මිනිසුන් අතරට යෑමට මූලිකවම හේතු විය. උන් වහන්සේ රචිත මරියතුමියගේ ගුණ වැයූ ගීත අතර පැණි බර වන මල්, නෙළුම් පිපීලා පෙති විසිරීලා, ලස්සනයි කුමාරි ලස්සනින් පිරි ජේසු මවු මරි, දෙපා ළඟ තබාලා පස් පියුම් නෙළා මෑණියන් පුදාලා, අරලිය අතු අග ඔබේ පා නංවා එන්කෝ මල් කුමරි, අත්ත අගට ඔබ කෙලෙසද නැග්ගේ, ඔබේ සෝභන අත් විහිදා අප තුළ ඔබේ ගුණ පහදා ආදී ගීත වේ.

මෙම ගීතයන් සියල්ලම රචනා කොට ඇත්තේ කතෝලික බැතිමතුන්ය.

පසුගිය දිනක ප‍්‍රචාරය වූ ගීතයන් තෝරන වැඩසටහනකදී එයට සහභාගි වූ කතෝලික පියතුමෙක් ලතා වල්පොල ගැයූ නමෝ මරියනි නම් ගීතය තෝරන අතර උන්වහන්සේ එහිදී ගීතය හා මරියමව්තුමිය පිළිබඳව අගනා සටහනක් තැබුවේය. මෙම ගීතයේ නමෝ මරියනී යන වචන ශුද්ධ වූ බයිබලයේ සඳහන් වචන බවත් දේව දූතයෙක් පැමිණ මරියතුමියට කියපු පණිවිඩයේ පළමු වචන පෙළ නමෝ මරියනි බවත් උන් වහන්සේ දැක්විය. නමෝ යන්න ගෞරවය අචාරය ලෙස දැකවිය හැකි බවත් එය ගේබ්රියල් නම් දේව දූතයා පැවසුවද එය දෙවියන් වහන්සේගේ ගෞරවය ලෙස දැක්විය. තව දුරටත් කරුණු දැක් වූ පියනම ශුද්ධ වූ බයිබලයේ සේම ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ ග‍්‍රන්ථය වූ කුරාණයේද මරිය මව්තුමිය ගැන ගෞරවයෙන් සඳහන්ව ඇති බව ගෙන හැර දැක්විය. එහිදී එතුමා විග‍්‍රාහ කළ ලංකාව තුළ ජනප‍්‍රියම නමෝ මරියනී ගීතය බෞද්ධයකු අතින් රචනා වූ බව සඳහන් වූයේ නම් එයට ලැබෙන අලංකාරය කෙතරම්දැයි කිව නොහැක. විචාරකයන්ගෙත් බොහෝ ලේඛකයන්ගේත් අවධානය මෙම ගීතයේ රචකයා ගැන වසර 70 ක් තුළ නොලැබීම මෙයට හේතු වන්නට ඇත.

ලතා වල්පොල ගැයූ මෙම ගීතයට වසර 70 ක් 2019 දි සම්පූර්ණ විය. එයට සමාන්තරව මෙම ගීතයේ සියලූ විස්තර ඇතුළත්ව 2019 දෙසැම්බර් මස මෙම ලේඛකයා භ්පද ඵ්රසහ්බස ීදබට රු්ජයැි 70එය ්බබසඩැරි්රහ නමින් ලිපියක් ඉංග‍්‍රීසි පුවත් පත්වල පල කළේය. මෙම ලිපිය මෙම ගීතයේ පසුබිමේ කෙටි කතාව පමණක් නොව රචකයා පිළිබඳවද සටහනක් තැබීමට ගත් උත්සහයකි.

බෞද්ධයෙක් රචනා කළ පළමු මරිය මව්තුමිය ගැන වූ ගීතය රුක්මණි දේවි ගැයූ නමෝ මරියනි නම් ගීතය යැයි අනුමාන කළ හැක. කිසිම ලේඛකයකුගේ හෝ විචාරකයකුගේ අවධානයට ලක් නොවූ රුක්මණීගේ මෙම ගීතය පිළිබඳ පර්යේෂණාත්මක ලිපියක් ‘සුප‍්‍රකට ආවේ මරියා ඔපෙරා ශෛලියේ ගීතයෙන් ආලෝකමත් වූ රුක්මණී දේවියගේ නමෝ මරියනි ගීතය’’ නමින් ලියූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ඉසුරු උදයංග කාරියවසම් එහි විස්තර පළමු වරට සටහන් කොට තැබීම ඇගයීමට ලක් විය යුතුය. දිගු ඉතිහාසයක් ඇති ආවේ මරියා ගීතය තරම් ලොව ජනප‍්‍රිය වූ මරිය මව්තුමිය සම්බන්ධ ගීතයක් නැති තරම්ය. 1825 දී ඔස්ටි‍්‍රයානු ජාතික ෆ‍්‍රෑන්ස් ෂූබර්ට් නම් සංගීතඥයා විසින් පළමු වරට ආවේ මරියේ ගයා වසර 200 සපිරෙන කල එය නොගැයූ රටක් ලෝකයේ සොයාගත නොහැක. ආචාර්ය ඉසුරු උදයංග කාරියවසම් තම ලිපිය තුළින් පෙන්වා දෙන්නේ මෙම ආවේ මරියා ගීතයේ තනුවට 1940 ගණන්වල මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් වූ වැරදුණු කුරුමානම නාට්‍යයේ රුක්මණී දේවි නමෝ මරියනී නම් ගීයක් ගැයූ බවත් 1948 දී තිරගත වූ වැරදුණු කුරුමානම චිත‍්‍රපටයටද එය ඇතුළත්ව තිබූ බවත් පසුව එච්.ම්.වී. තැටියකට රුක්මණී එම ගීය ගැයූ බවත්ය. ඉතාම උච්ඡු ස්වරයෙන් ගැයූ මෙම ගීතය කැප වී ඇත්තේ මඩු මතාවටය. මෙම ගීතය රචනා කළේ පී.එල්.ජී. නන්දන කීර්ති නම් රචකයා විසිනි. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ නාට්‍ය හා චිත‍්‍රපටයන්ට ගීත ලියූ නන්දන කීර්ති තරුණ වියේදීම මියගියේය. මරදානේ පාසල් රාශියකට ගිය නන්දන කීර්තිි තම භාෂා දැනුම ලබා ගත්තේ පංචිකාවත්ත අබේසිංහාරාමයේදීය. පන්සල ඇසුර ලැබූ නන්දන කීර්ති නම් බෞද්ධයකු අතින් අවේ මරියේ ගීත තනුවට මරිය මතා වන්දනා ගීතයක් රචනා වීම ඉතිහාසය තුළ වූ වැදගත් සිදුවීමකි.

නමෝ මරියනි – ශාන්ත වූ මවුනි
දයා කරුණා දම් වර්ෂා දෙවාවී –
මඩු මෑණියනි
ඔබේ උතුම් වූ දර්ශනේනි මවුනී – ස්වර්ගීය මොක්ෂ මාර්ගේ
රාජේශ්වරිනී මාගේ මේ යාඥා –
අසා වෙනු ද මා සමා
සමා සමා සමා සමා වේවා –
නමෝ මරියනී

ලතා වල්පොල ගැයූ නමෝ මරියනි ගීතය අසා නැති අයෙක් නැති තරම්ය. එය එතරම් ජනප‍්‍රිය ගීතයකි. මෙය ලතාට පසුව මෑත කාලයේ තරුණ නවකයන්ද එම ගීතය

ගායනය කිරීම දක්නට ලැබේ. මෙම ගීතය රචනා කරණු ලැබූයේ බෞද්ධයකු විසින් යැයි බොහෝ දෙනා නොදන්නවා විය හැක. එසේම මෙම ගීතය වටා කෙටි කතාවක්ද ඇත.

ගල්කිස්ස හන්දිය පසු කර කොළඹ දෙසට යන විට ගල්කිස්ස උසාවිය පසු කළ විට ගොඩ බිම දෙසින් හමුවන්නේ ශ‍්‍රී සුමණාරාම පාරය. එය එකල කලාකරුවන්ගෙන් පිරී තිබුණු පාරකි. මෙහි කෙළවර වන්නේ සුමණාරාම නම් ගල්කිස්ස ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයකිනි. විහාරය වටා පමනක් නොව ඒ අවට සියල්ලන්ම මෙම පන්සලේ දායකයන් විය. පන්සලේ ප‍්‍රධාන දායකයා පන්සල ඉදිරිපිටම පදිංචිව සිටි කාලිදාස කුරුකුලසූරිය නම් සැදැහැවත් බෞද්ධයෙකි. ඔහු සෑම පුර පසළොස්වක පෝයකටම සිල් ගත්තේය. කාලිදාස සුමණාරාම විහාරයට කිට්ටුවම පවත්වා ගෙන ගිය සුමණාරාම විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කොට පසුව එහි විදුහල්පතිවරයා බවට පත්විය. කලක් සුමණාරාම විදුහලේ සේවය කළ කාලිදාස විශ‍්‍රම යන තෙක් සේවය කළේ කොළඹ ආනන්ද විදුහලේය. මේ විද්වත් නිහ`ඩ බෞද්ධයා ලියූ නමෝ මරියනී ගීතය ලොව නත්තල පවතින තුරුම රැව් දෙනු ඇත.

නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනී ප‍්‍රසාද පුර්ණවන්තිනී
දේව පුත‍්‍රයා ස්පී‍්‍රතු සාන්තු වරමිනා//
පිළිසිඳීය දේව් බෙලෙන් ශී‍්‍ර ඔබේ කුසේ //

නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනි ප‍්‍රසාද පූර්ණවන්තිනී

පී‍්‍රති පෑ ශි‍්‍රයා ආ සමාදානයේ පියා //
සාර සේ දිනේ සිරින් ශී‍්‍ර ඔබේ කුසේ //

නමෝ මරියනී නමෝ මරියනී //
නමෝ මරියනී ප‍්‍රසාද පූර්ණවන්තිනී //

මෙම ගීතය දෙස බලන විට මෙහි ඇත්තේ පේළි හයකි. එහෙත් එයින් මරියතුමිය ගැන පූර්ණ වන්දනාවක් කරයි. කාලීදාසට ජාකෝමේ ගොන්සල්වෙස් පියතුමාගේ නමෝ නමෝ මරිය යන ගීතය හා එහි භාෂා ශෛලිය බලපාන්නට ඇත. ගොන්සල්වෙස් පියතමා නමෝ නමෝ මරිය ප‍්‍රසාදෙන් පුරණිය යන්නම කාලීදාස නමෝ මරියනී ප‍්‍රසාද පූර්ණවන්තිනී ලෙස සඳහන් කරයි. දේව පුත‍්‍රයා ස්පී‍්‍රතු සාන්තු වරමිනා යන වචන එතරම් හුරු නොවුවද එහි අර්ථය තුළ ඇත්තේ ශුද්ධෝත්තමයා ගේ වරමින් ඔබේ කුසේ දේව පුත‍්‍රයා පිළිසිඳ ගැනීමය. (ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහා සිංහල ශබ්දකෝෂය තුළ ස්පී‍්‍රතු සාන්තු වචනය දක්වා ඇත්තේ කි‍්‍රස්තියානි ආගමේ ශුද්ධෝත්තමයා ලෙස – පිටුව 1957)

නමෝ මරියනී ගීතය ජනප‍්‍රිය වීමේ ප‍්‍රධානම සාධකය ලතාගේ ගායනනය. ඉතා උච්ඡු ස්වරයෙන් ගායනා කරන මෙම ගීතය ගැන ලේඛකයාට අදහස් දැක් වූ සංගීතය හදාරණ තරුණයකු පැවසුයේ එක් අවස්ථා දෙකක හැර සමස්ත ගීතයම සමාන්තර උච්ඡු ස්වරයෙන් ගයන බවත් එය එසේ ගායනය කළ හැක්කේ දක්ෂයකුට පමණක්ම බවය. 1940 ගණන් වල එකළ රීටා ජෙනවි ප‍්‍රනාන්දු වූ ලතා පදිංවිව සිටියේ ගල්කිස්සේය. ඇය ගල්කිස්සේ ශාන්ත ආනා පල්ලියෙත් ශාන්ත රීටා පල්ලියෙත් ගීතිකා කණ්ඩායමේ සමාජිකාවකි. එයින් ලැබූ පන්නරය මෙතෙක් වැඩිම කතෝලික ගීතිකා ගැයූ ගායිකාව බවට පත් වීමට එය බලපාන්නට ඇත. 1947 දී සරත් විමලවීර ලියා වින්ස්ටන් ද අල්විස් සංගීතවත් කළ දෙනෙතේ කඳුළු වෑහෙනා ඇය ගැයූ මුල්ම ගීතය වුවත් එයට පෙර ඇය සී. ඒ. ෆොන්සේකාගේ සරල ගීත සඳහා සහය

ගායිකාවක ලෙස සහභාගි වී ඇත. ලතා පළමුව නමෝ මරියනි ගීතය ගයනුයේ ඇයට වයස අවුරුදු 15 දී වන අතර අද අසන නමෝ මරිය ගීතය තැටි ගත කළේ වයස අවුරුදු 16 දීය. මෙහිදී වැදගත් කරුණ වනුයේ අදට වයස අවුරුදු 87 වන ඇය තවමත් නමෝ මරියනී ගීතය අයාසකින් තොරව ගැයීමය.

සමහර මාධ්‍ය ආයතනයන් මෙම ගීතයේ සංගීතය ගුවන් විදුලි සේවය ලෙස දක්වයි. මෙහි තනුව සංගීතය අර්වින් ෆොන්සේකාගෙනි. සී. ඒ. ෆොන්සේකාගේ පුතුන් දෙදනාම සංගීතවේදීන්ය. ප‍්‍රසිද්ධ ගායකයන් වූ සී. ඞී. ෆොන්සේකා හා අනෙක් පුතු අර්වින් ෆොන්සේකා විය. අර්වින් ෆොන්සේකා නමෝ මරියනි ගීතයට දැමූ තනුව බටහිර සංගීතයේ ජනප‍්‍රියව දක්නට ලැබෙන ඉහළ සප්තකයේ මූලික සංකේත තුන (based major scale three primary codes) මත පිහිටා නිර්මාණය වූවක් බව ප‍්‍රකට සංගීතඥයකු වූ ආර්. ඒ. චන්ද්‍රසේනගේ දියණිය විශාරද දර්ශනී චන්ද්‍රසේන ප‍්‍රකාශ කරයි.

නමෝ මරියනී ගීතය කාලීදාසයන් විසින් ලියා දෙනුයේ අර්වින් ෆොන්සේකාට ගුවන් විදුලි වැඩසටහනකට ගායනා කිරීමටය. අර්වින් ෆොන්සේකා 1949දී පමණ මෙම ගීතය ගුවන් විදුලියට ගායනා කරන අතර එහි සහය ගායිකාව ලෙස ලතාව යොදා ගනී. මෙකල ලතා සී.ඞී.ෆොන්සේකා අර්වින් ෆොන්සේකා සුසිල් පේ‍්‍රමරත්න සී. ඒ. ෆොන්සේකාගේ සරල ගීවල සමූහ ගායනයෙන් සහභාගි වූහ. මෙම මිත‍්‍රත්වය ලතාට අර්වින් සමඟ නමෝ මරියනී ගීතය ගැයීමට අවස්ථාව ලැබුනි. 1950දී ලතා තනිවම මෙම ගීතය එච්. එම්. වී. තැටියකට ගයනා කරයි. අද දක්වාම අසන්නේ එම ගීතයය.

නමෝ මරියනී ගල්කිස්සෙන් බිහි වූ තවත් නිර්මාණයකි. 1940 හා 1950 ගණන්වල කලාකරුවන්ගේ තෝතැන්න වූයේ මරදාන හෝ ගල්කිස්සය. මරදානට බොහෝ කලාකරුවන් පදිංචියට ආවේත් හෝ එකිනෙකා හමුවීමක් සිදු වූයෙත් ටවර් හෝල් හෝ වෙනත් කලාවට සම්බන්ධ ආයතන මරදානේ පිහිටි නිසාය. එහෙත් ගල්කිස්ස එයට වෙනස් වන්නේ එය කලාකරුවන් පදිංචියට පැමිණීමක් නිසාය. සාර්ලිස් මාස්ටර් ගල්කිස්සට පැමිණීම ගල්කිස්ස වටා දිය සායම් පරපුරක් බිහි විය. එසේම ගල්කිස්සේ පදිංචිව සිටි සී. ඒ. ෆොන්සේකා නිසා ගායික ගායිකාවන් රාශියක් ගල්කිස්සෙන් බිහිවිය. සී. ඒ. ෆොන්සේකා ගැන කිසිම සටහනක් දක්නට නොලැබේ. රුක්මණි දේවියට රඟපෑම පුහුණු කළේ සී. ඒ. ය. සංගීත සාජ්ජයන් සංවිධානය කිරීමද ඔහු කළ අතර ජෝන් කොතලාවලයන්ට කළ සාජ්ජයන්ද ඒ අතර විය. ෆ්‍රෙඞී සිල්වා කොතලවලයන්ට හමුවන්නේ මෙම සාජ්ජයන් හරහාය. එකල ගුවන් විදුලියේ ගීත ගායනා කළේ සජීවය. එම නිසා ගීතයන් තැටිගත නොවීය. සී. ඒ. ෆොන්සේකා තම අසල්වාසී ගායන හැකියාවන් ඇති දරුවන් සහය ගායනයට රැගෙන ගියේය. ලතා සුසිල් පේ‍්‍රමරත්න අර්වින් හා සී. ඞී. ෆොන්සේකා පළමු වරට ගුවන් විදුලියට යන්නේ මේ හරහාය. ගල්කිස්ස ඔඩියන් සිනමා හලට ආසන්නයේ වූ සිරිපාල පාරේ පදිංචිව සිටි ෆොන්සේකාගේ නිවස නිතරම කලාකරුවන්ගෙන් පිරී තිබුණි. ලතා, සුසිල්, වින්ස්ටන් අල්විස් නිතර මෙහිදී හමුවන අසල් වැසියෝය. කාලීදාස ද එවැන්නෙකි. නමෝ මරියනි ගීතය බිහි වනුයේද මෙම නිවස තුළිනි. ගීතය ගැයූ ලතා පදිංචිව සිටියේ ගීතයේ ලතා සමග මුල් ගීය ගයා එය සංගීතවත් කළ අර්වින් පදිංචිව සිටි සිරිපාල පාරට විරුද්ධ පැත්තේ වූ පීරිස් පාරේය. කාලීදාස පදිංචිව සිටියේ පීරිස් පාරට වම් පස වූ සුමණාරාම පාරේය. කාලීදාසගේ වචනයෙන් හැඩ වූ අමරණීය නමෝ මරියනී නම් ගීතය ගල්කිස්සේ නිර්මාණය වූයේ එසේය.

ආශ‍්‍රිත ලේඛන

සුප‍්‍රකට ආවේ මරියා ඔපෙරා ශෛලියේ ගීතයෙන් ආලෝකමත් වු රුක්මණි දේවියගේ නමෝ මරියනි ගීතය – ඉසුරු උදයංග කාරියවසම් – සරසවිය පුවත් පත 2020 දෙසැම්බර් 24

කැරොල් පසම් කන්තාරු – සුනිල් ආරියරත්න

Namo Mariyani Song turns 70th Anniversary – T.K.Premadasa – The Island 21st December 2019

Namo Mariyani Song reaches 70th Anniversary- T.K.Premdasa Sunday Observer 22nd December and Daily FT 25th December 2019

Octogenarian Nightingale – Latha Walpola – T.K.Premadasa Daily News 12th November 2014

Latha Walpola – Nightingale of Sri Lanka – T.K.Premadasa
The Island 24th November 2007

ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected]

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment