කාලෙකට පස්සේ ගෙදර අවුරුදු සමරනවා

420

අපේ සමහර මාධ්‍ය තවමත් පැරණි යුගයේ
අවුරුදු දහයකින් ගීතයක් කළේ නෑ…

අවුරුදු කාලය ළංවෙත්ම ජන සංගීතය වටින් පිටින් අපිට අහන්න ලැබෙනව. මේ ජනසංගීතය හා බැඳුන සුවිශේෂීම නාමය වෙන්නෙ ලයනල් රංවලයන් විසින් ආරම්භ කළ රංවල බළකාය. අද එතුමංගේ පුත් සහන් රංවල අපිත් එක්ක එකතු වෙන්නෙ රංවල බළකායේ අලුත් අවුරුදු සූදානම කොහොමද කියල කතාබහ කරන්න.

අවුරුදු සමරන්න රංවල බළකායේ සූදානම මොන වගේද?

කොවිඩි වලින් පස්සෙ රටේ ජනතාව මෙවර අවුරුදු සමරන්න වැඩි උනන්දුවක් දක්වන බව අපිට ලැබෙන අරාධනාවලින් දකින්න ලැබෙනවා. කොළඹ වගේම දුරබැහැර ප්‍රදේශවලත් වැඩකටයුතු ගණනාවකට අපි සහභාගි වෙනව. අදත් අපේ ගම අවුලක්‍ඳ්ක්‍ඳං සංදර්ශනයක් දෙණියාය ජාතික පාසලේ දී පැවැත් වෙනවා. ඊට අමතරව අවුරුද්දෙන් පස්සෙ විදෙස් සංචාරයකටත් ආරාධනයක් ලැබිල තියෙනව. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් ගණනාවකටත් සහභාගී වෙන්න සූදානමින් ඉන්නව.

ගිය වසර සහ මේ වසර සංසන්දනය කළොත්?

ගිය වසරෙ අලුත් අවුරුද්ද දවසෙ අපි හිටියෙ බංග්ලාදේශයේ. මෙවර මම පෞද්ගලිකව කල්පනා කළා අවුරුදු කිහිපයක්ම ගෙදර අයත් එක්ක චාරිත්‍ර වාරිත්‍ර කරන්න බැරි වුණ නිසා මෙවර අපි සජීවී වැඩසටහන්වලට සහභාගි වෙන්නෙ නැතිව පවුලේ අයත් එක්ක ඒ කටයුතු කරනව කියල. කොහොමත් අවුරුදු දෙකතුනකට වතාවක් මම ඒ දේ කරනව.

රංවල බළකායේ වැඩකටයුතු මොන වගේද?

අපේ කණ්ඩායට කොළඹ” ගම්පහ මූලික කරගෙන පවත්වාගෙන ආපු කටයුතු මේ වනවිට මාතර” මාතලේ සහ මහනුවර යන නගරවල අපේ ශාඛා ආරම්භ කරල තියෙනව. ඇත්තටම ලොකු උනන්දුවකින් ඒවාට සහභාගි වන දරුවෝ තරුණියෝ අපිට දකින්න ලැබෙනව. ඒ වගේම අපේ නිර්මාණශීලි වැඩකටයුතු වලටත් අපි ඒ අයව සහභාගි කරගන්නවා. මගේ තාත්තගෙ ගෝලයෝ මේ වැඩසටහන් මෙහෙයවමින් කටයුතු කරනව.

කාලෙකට පස්සේ ගෙදර අවුරුදු සමරනවා

අලුත් නිර්මාණ?

පසුගිය දවස්වල අලුත් නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න අපි කටයුතු කළා. එකක් අමන්ද්‍යා උත්පලීගෙ ‘රැජිනට ඇන්දා. ගීතය. ඇමරිකාවේ පදිංචි නවක ගායන ශිල්පිනියක් වන සුමුදු ජයනි වෙනුවෙන් අපි නිර්මාණය කළා ‘බෑදිය. කියන ගීතය. ඒ වගේම ඇය කමල් අද්දරආරච්චි සමග ‘හන්තාන සිනමාපටය. කියන ගීතය ගායනා කරනව. අලුත් අවුරුද්ද ගැන කතා කළාට අපි අවුරුද්ද වෙනුවෙන් අවුරුදු දහයකින් ගීතයක් නිර්මාණය කරල නැහැ. මෙවර ආරාධනයක් ලැබෙනව කෝකිලා අධිකාරි ගායන ශිල්පිනිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න කියල. ඇය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයට රූප රචනාවකුත් කළා.

වසර දහයකට පස්සෙ නිර්මාණය වෙන්නෙත් ඔබේ කණ්ඩායමේ ගීතයක් නෙමෙයි?

ඇත්තට ම අලුත් අවුරුදු මාතෘකාවෙන් වසර දහයකින් අපේ කණ්ඩායමෙන් ගීතයක් නිර්මාණය වුණේ නැහැ.

අවුරුද්ද අලුත් වුණත් සහන්ගෙ වැඩ අලුත් වෙන්නෙ නැද්ද?

අපි සින්දු කරන්නෙ විවිධ මාතෘකා යටතේ. එක මාතෘකාවක් ජනප්‍රිය වුණා කියල අපි ඒක වගේ තව එකක් කරන්නෙ නැහැ. නමුත් අවුරුද්ද කියන මාතෘකාව යටතේ ගීත ගණනාවක් කරල තියෙනව. එකම මාතෘකාව යටතේ නිර්මාණ කරනකොට එක තැනකදි අපි හිරවෙනව කියල මට හිතෙනව. නමුත් අවුරුද්දට පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්ද මාතෘකාව නොවන දේශීය මාතෘකා තියෙන ගීත රාශියක් අපි ළඟ තියෙනව. ඒවා මෙවර අවුරුදු වැඩසටහන්වලින් දැකගන්න පුළුවන්.

කාලෙකට පස්සේ ගෙදර අවුරුදු සමරනවා

අපේකම අපේ දේට තරුණ පරපුරේ නැඹුරුව මොන වගේද?

ඇත්තටම මට දකින්න ලැබෙන්නෙ බොහොම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම කියන්න ඕන” විදෙස් රටවල තරුණ තරුණියන්ට ලංකාවේ දේවල් පිළිබඳව ලොකු උනන්දුවක් තියෙනව. ඒ වගේම නවක ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ටත් ලොකු උනන්දුවක් තියෙනව ජන ගී ඇසුරෙන් තමන්ගේ ගීත නිර්මාණය කරගන්න.

දේශීය දේට මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ ගැන සෑහීමකට පත්වෙනවද?

මාධ්‍ය තවමත් ඉන්නෙ පැරණි යුගයක. සමහර මාධ්‍ය හිතාගෙන ඉන්නව අසූගණන්වල වගේ බටහිර දේම තමයි අපි කරන්න ඕන කියල. නමුත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අනන්‍යතාවක් එක්ක ඉදිරියට යන්න පටන්ගෙන තියෙනව. ලෝකය මෙහෙම වෙනකොට අපි විතරක් වෙන රටවල් වගේ වෙන්න හදන එක ඒ තරම් ප්‍රායෝගික නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් කෝකෙ කාට හරි බටහිර සංගීතය රසවිඳින්න ඕන වුණොත් ඒකට ලංකාවෙන් ගායකයො ගෙනියන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ඒ ඒ රටවල ඕන තරම් ශිල්පීන් ඉන්නව. ඒ නිසා අපි අපේ දේ දියුණුකර ගන්න එකයි කරන්න ඕන. ඒ වෙනුවෙන් මාධ්‍යයටත් යම් කිසි වගකීමක් තියෙනව කියල මම හිතනවා.

මේ වෙනුවෙන් රංවල පදනමේ සැලසුම් මොන වගේද?

අපි 2019 අගභාගයේ ලංකා රිද්ම කියල දසවැදෑරුම් වැඩපිළිවෙළක් හැදුව. ඒකෙන් කියවුණේ 2030 වනවිට ලංකාවේ රිද්මය කොතැනට ද ගේන්න ඕන කියන දේ. ඒක අපි අදාළ පාර්ශ්වයන්ට ලබා දුන්නා. එයාලත් බොහොම කැමැත්තෙන් ඒකට දායක වුණත් 2020 මුල වෙනකොට කොවිඩ් එක්ක ලෝකයම අතරමං වුණා. ඒකත් එක්ක අපි වෙනත් පැත්තකින් ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. මවු කුසේ පටන් දරුවකුට අපේ රිද්මය දෙන්නෙ කොහොමද කියන දේ මෙතැනදි කතා වෙනව. ඒ වගේම විදෙස් රටවල ඉන්න අපේ රටේ ළමයි වෙනුවෙන් ‘හෙළ සුවඳයි අපේ ළමයි. කියන වැඩසටහන ආරම්භ කළා. ඔක්තෝබර් පළමුවැනිදා ළමා දිනය වෙනුවෙන් විදෙස්ගතවෙලා ඉන්න අපේ රටේ දරුවන් නැවතත් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනව. දැනට අවුරුදු දෙකකට පෙර අපි ආරම්භ කළා ඔන්ලයින් මගින් අපේ දේවල් ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක්. මේකට ලෝකයේ විවිධ රටවල ජීවත් වන අපේ දරුවන් එකතුවෙලා ඉන්නව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment