කාල හෝරාව සහ එහි බෙදීම් සැකසෙන්නේ කෙසේද?

1534

ශුභ මුහුර්තයක් සෑදීමේ දී අදාළ මුහුර්ත වේලාව ගණනය සඳහා කාල හෝරාව භාවිතයේ යෙදේ. එසේම ඊට අතිරේකව ජ්‍යොතිෂය පිළිගන්න අය එදිනෙදා දෛනික වැදගත් යැයි සිතන කටයුතුවලදී ශුභ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඒ ඒ වැඩට සුදුසු යැයි සම්මත හෝරාව තෝරා ගැනීම සිදු වේ. හෝරාවක් යනු ආසන්න වශයෙන් පැයකි. කිසියම් දිනක ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා කාල පරාසය පැය 24 කට ඉතාම ආසන්නය. රවිගේ ගමන ගණන් ගන්නේ අංශකවලිනි. රවි දිනකට දළ වශයෙන් 10 ගමන් කරන නිසා මෙය රවිගේ එක් දිනක භාගය ලෙස ද හඳුන්වයි. ඒ අනුව 10 ක් හෙවත් භාගයක් එක් සූර්ය දිනයකි. එසේම තරුවලට සාපේක්ව පාථිවිය වරක් භ්‍රමණය වීමට ගතවන කාලය නක්‍ෂත්‍ර දවස ලෙස පිළිගැනේ. නක්‍ෂත්‍ර ක්‍රමයට දිනයක් සලකනු ලබන්නේ කිසියම් දිනක සූර්ය උදාවේ සිට ඊට පසුදින සූර්ය උදාව දක්වා කාලය ලෙසය. ඒ අනුව නක්‍ෂත්‍ර දිනය ඉංග්‍රීසි පැය 23 මිනිත්තු 58 තත්ත්පර 3.44 කි.

ඉහත සඳහන් ලෙසට පැය 24 ක් ගත වීම සඳහා අවශ්‍ය ඉතිරි කාලය මිනිත්තු 01 යි තත්ත්පර 56.56 කි. එම ප්‍රමාණය පැය 24න් බෙදූ විට ලැබෙන අගය තත්ත්පර 04.86 කි. මෙම ප්‍රමාණය ඉතාම කුඩා බැවින් එම අගය නොසලකා හෝරාවක් යනු පැයක් ලෙස සලකයි. දිනයකට ඉංග්‍රීසි පැය 24 කි. එය සිංහල ක්‍රමයට නම් සිංහල පැය 60 කි. එනම් සිංහල පැය 2 1/2 ක ප්‍රමාණයක් ඉංග්‍රීසි පැයකට සමානය.

එක් දිනක සූර්ය උදාවේ සිට අනෙක් දින සූර්ය උදාව දක්වා වන දිනයකට මානයන් 2 ක් ඇත. ඒ සූර්ය උදාවේ සිට සූර්ය අස්ථය දක්වා වන දිවාමානයත් සූර්ය අස්ථයේ සිට පසුදින සූර්ය උදාව දක්වා වන නිර්මාණයක් ලෙසිනි. මෙකී දිවාමානය හෝ නිශාමාන 12 න් බෙදා ගත් විට ලැබෙන එක් කොටසක් හෝරාවක් වේ. කෙසේ නමුත් තත්කාල හෝරාවෙන් වැඩ ගැනීමට නම් හෝරාව ගැන ගැනීමට නිවැරදිව දැනගත යුතුය. පෙර කී ලෙසම සෑම දිනකම සූර්ය උදාවේ සිට සූර්ය අස්ථය දක්වා වූ කාලය 12න් බෙදූ කල ඉන් මුල්ම කොටසට හිමිවන කාලය එනම් මුල් හෝරාව එදින දින අධිපතියාගේ නමින් වේ. නිදසුනක් ලෙස සඳුදා දින මුල්ම හෝරාව වන චන්ද්‍ර හෝරාව දැක්විය හැක. ඒ ආකාරයට ඕනෑම දවසක මුල් හෝරාව එම දවස අධිපතිට හිමිය. එලෙස ඕනෑම දවසක ඉතිරි හෝරා යම් රටාවකට යෙදේ. ඒ තිබෙන හෝරාවට කලින් දිනට කලින් දින දින අධිපතියාගේ නම ඊළඟ හෝරාව ලෙස යෙදෙන පරිදිය. නිදසුනක් ලෙස සඳුදා මුල්ම හෝරාව චන්ද්‍ර හෝරාව වේ. ඊළඟට යෙදෙන හෝරාව වනුයේ සඳුදාට කලින් දවස වන ඉරිදාට කලින් දවස වන ශනිදා වේ. ඒ අනුව චන්ද්‍ර හෝරාවට පසු යෙදෙන හෝරාව ශනි හෝරාව වේ. සතියේ ඕනෑම දිනක හෝරා යෙදෙන ක්‍රමය මේ ආකාර වේ. තවද එලෙස හෝරා ගැන ගන්නා අනුපිළිවෙළ ස්ලෝකයෙන් දැක්වෙන්නේ මෙසේය.

“අර්තඃ ශුක්‍රො බුධඃශ්චන්ද්‍රඃ ශනීර් මන්ත්‍රී මහීසුනඃ”

මෙහි අරුත වනුයේ සූර්ය උදාවේ සිට හෝරා ගැන ගත යුතු පිළිවෙළ රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ ආදී ලෙස වන බවයි. තවද හෝරාවෙන් වැඩ ගැනීමේදී ඒ ඒ හෝරාවෙන් ලැබිය හැකි ඵල දක්වන ස්ලෝකය මෙසේය.

“ගුරුර් විවාහෙ ගමනෙච ශුක්‍රඃ
ඥානෙ බුධෙධීක්‍ෂණය කෙච ගෞරී
යුදෙධ ව භෞමේ නෘප දර්‍ශ නෙර්කඃ
සවේහූ කය්‍යෙහු බලී ශශාවේතඃ”

මේ ස්ලෝකයට අනුව ගුරු හෝරාව විවාහයට ද සිකුරු හෝරාව ගමන් බිමන් යෑමට ද ඥානය වඩන ඉගෙනීම වැනි දේට බුධ හෝරාව ද මහණ කිරීම් ආදී ලෝකෝත්තර වැඩ සඳහා ශනි හෝරාව ද යුද හා තරග වැදීම් සඳහා කුජ හෝරාව ද රජුන් වැනි ප්‍රභූන් හමුවීමට රවි හෝරාව ද සියලු ශුභ කටයුතු සඳහා චන්ද්‍ර හෝරාව ද යහපත් බවය. කෙසේ නමුත් සම්මතයට අනුව චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර හෝරා ශුභ වැඩවලට යොදන අතර රවි, කුජ, ශනි හෝරා ශුභ වැඩෙහි නොයොදයි. එසේම ඒ ඒ දිනයට මරු හෝරා ද වේ. ඒ ඉරිදාට කුජ හෝරාව, සඳුදාට බුධ හෝරාව, අඟහරුවාදාට ශනි හෝරාව බදාදාට සඳු හෝරාව, බ්‍රහස්පතින්දාට සිකුරු හෝරාව සිකුරාදාට ගුරු හෝරාව, සෙනසුරාදාට රවි හෝරාව ආදී වශයෙනි. ශුභ මුහුර්ත සැකසීමේදී උක්ත මරු හෝරා ද අත්හල යුතුය.

තත්කාල හෝරාව ගැන ගන්නා ආකාරයටම පංචම කාල හෝරා හා සූක්ෂම කාල හෝරා ගැන ගන්නා ආකාරයෙන් ඒ සඳහා අවශ්‍ය වන දත්තයන් සහිත වගුත් පංචාංග ග්‍රහස්ඵුට ලිත්හි අන්තර්ගතය. සෑම හෝරාවක් තුළම තිබෙන්නා වූ පැයක කාලයක හෙවත් මිනිත්තු 60 ක ප්‍රමාණය මිනිත්තු 12 බැගින් වූ කොටස් 5 කට බෙදු කල එයින් එක් කොටසක් පංචම කාල හෝරාවක් ලෙස ගැනේ. මෙම මිනිත්තු 12 ක් වන පංචම කාල හෝරාව නම් කිරීමේදී මුල්ම පංචම කාල හෝරාව එම හෝරාධිපතියාගේ නමින් නම් කොට එතැන් සිට ඉතිරි පංචම කාල හෝරා සතියේ දින උදාවන අනුපිළිවෙළට නම් කරනු ලැබේ. එලෙස ඉදිරියට ගණිනුයේ දින 5ක් දක්වා පමණි. ඒ අනුව රවි හෝරාව දින අධිපති වූ රවි සිට පිළිවෙළින් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ආදී ලෙස ගැන නවත්වයි. එසේම චන්ද්‍ර හෝරාවට දින අධිපති වූ චන්ද්‍ර සිට පිළිවෙළින් චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර ලෙස ගැන නවත්වනු ලබයි. ඉතිරි හෝරාවන්හි දී ද පංචම කාල හෝරා ගැන ගත යුත්තේ මේ ලෙසට ම වේ.

මෙලෙස නම් කරනු ලබන පංචම කාල හෝරා අතුරින් එක් පංචම කාල හෝරාවක් විෂය. එම විෂ පංචම කාල හෝරාව ශුභ මුහුර්ත සැකසීමේදී අත්හල යුතුය. මෙම විෂ පංචම කාල හෝරා ද පාචාංග ග්‍රහස්ඵුට ලිත්වල පැහැදිලිව දක්වා ඇත. එලෙස හෝරාවනට අදාළ විෂ පංචම කාල හෝරා වනුයේ රවි හෝරාවේ ගුරු පංචමය, චන්ද්‍ර හෝරාත්, චන්ද්‍ර පංචමය, කුජ හෝරාවේ ශනි පංචමය, බුධ හෝරාවේ සිකුරු පංචමය, ගුරු හෝරාවේ චන්ද්‍ර පංචමය, සිකුරු හෝරාවේ රවි පංචමය ශනි හෝරාවේ ශනි පංචමය ද ආදී වශයෙනි.

මේ අනුව කාල හෝරා නැවත නැවත යෙදෙන පිළිවෙළ වන රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන පිළිවෙළ නිර්මාණය කර ඇත්තේ එක් හෝරාවක අවසන් පංචමයට පසු ඊළඟට යෙදෙන සතියේ දින නාමයෙනි. එය ඊළඟ කාල හෝරාවේ නාමය වෙයි. නිදසුනක් ලෙස රවි හෝරාවේ අවසන් පංචමය ගුරු වේ. ඒ අනුව ඊළඟට ද යෙදෙන සතියේ දින නාමය සිකුරාදා වේ. එමනිසා ශුක්‍ර ඊළඟ කාල හෝරාව වෙයි. එලෙසම සිකුරු හෝරාවේ අවසන් පංචමය කුජ වේ. ඒ අනුව ඊළඟට යෙදෙන සතියේ දින නාමය බදාදා වේ. එම නිසා බුධ ඊළඟ කාල හෝරාව වෙයි.

මීළඟට පංචම කාල හෝරාවට අයත් මිනින්තු 12 ක කාලය 3 න් බෙදා මිනිත්තු 4 බැගින් සූක්ෂම කාල හෝරා ලබාගැනීම සිදු වේ. මෙම සූක්ෂම කාල හෝරා ගනිනුයේ ද රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන ලෙසට කාල හෝරා ගැන ගත් ක්‍රමයටමය. තවද ඉහත දී සඳහන් කළ විෂ පංචම කාල හෝරා ලබාගැනීමේ දී රවි, කුජ, ගුරු කාල හෝරාවල අවසාන හෙවත් 5 වන පංචම කාල හෝරාවත් සඳු, ශනි කාල හෝරාවල පළමු පංචම කාල හෝරාවන් බුධ, ශුක්‍ර කාල හෝරාවල 3 වන හෙවත් මැද පංචම කාල හෝරාවත් විෂ පංචම කාල හෝරා වේ. තවද ඉහත සඳහන් කළ ලෙසට සූක්ෂම කාල හෝරා නම් කිරීමේදී ඕනෑම පංචම කාල හෝරාවක මුල්ම සූක්ෂම කාල හෝරාව එම පංචම කාල හෝරා අධිපතියා නමින් නම් කොට එතැන් සිට කලින් දිනට කලින් දින දින අධිපතියාගේ නම යෙදෙන පරිදි පංචම කාල හෝරාවක් තුළ සූක්ෂම කාල හෝරා නම් කරනු ලැබේ.

තවද ප්‍රකාශ ග්‍රහයන් නම් කිරීමේදී එනම් කාල වේලා උපග්‍රහයන් නම් කිරීමේදී දිවාමානයේ මෙන්ම නිශාමානයේ ද රවිට අයත් කාල නම් කොටස රහු කාලය ලෙස සැලකේ. දිනකට දෙවරක් යෙදෙන මෙම පැය 1 1/2 ක පමණ වන රාහු කාලය ශුභ මුහුර්ත සඳහා යොදා නොගනී. එසේම දිවාමානයේ මෙන්ම නිශාමානයේ ශනිට අයත් ගුලික ද නිශාමානයේ මෙන්ම දිවාමානයේ මාන්දිද යන සෙනසුරුගේ පුත්‍රයන්ට අයත් කාලද ශුභ මුහුර්ත සෑදීමේ දී අත්හල යුතුය.

තවද ශුභ මුහුර්ත සැකසීමේ දී කිසියම් ශුභ දිනක, කිසියම් ශුභ කාල හෝරාවක එම කාල හෝරාව තුළ කිසියම් ශුභ පංචම කාල හෝරාවක එම පංචම කාල හෝරාව තුළ කිසියම් ශුභ සූක්ෂම කාල හෝරාවක් යොදාගත යුතුය. පංචාංග ග්‍රහස්ඵුට ලිත්වල කොළඹට ඉර උදාව උදේ 6 ට ලෙස සලකා කාල හෝරා වගු පිළියෙල කර ඇත. නමුත් ඇතැම් දිනවල බොහෝ විට කොළඹට ඉර උදාවන වේලාව හා ඉර බසින වේලාව වෙනස් වන නිසා ලිතේ පංචාංග පිටුවෙන් අදාළ දිනට ඉර උදාව හා ඉර බැසීම සොයා ගත යුතුය. පසුව එම අගයන් කොළඹ සිට ඉර උදා වෙන වේලාව අනුව ගළපා ප්‍රාදේශීය වශයෙන් නිවැරදි කරගත යුතුය. කෙසේ නමුත් තත්කාල හෝරාව, පංචම කාල හෝරාව සහ සූක්ෂම කාල හෝරාව යන හෝරාවන්හි හෝරා අධිපතීන් අන්‍යොන්‍ය මිත්‍ර ග්‍රහයන් නම් එම කාල පරාසය ඉතාම යහපත්ය. මෙහිදී උක්ත හෝරා තුනම ශුභ ග්‍රහයන්ට අයත් විය යුතුය. එලෙස සාදාගත් සූක්ෂම හෝරාවේ මධ්‍යය ශුභ මුහුර්තය සේ සැලකේ.

කාල හෝරාව සහ එහි බෙදීම් සැකසෙන්නේ කෙසේද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment