කාව්‍ය රචනා සෞන්දර්යයේ චමත්කාරය සඳ එළිය දිගේ

214

පූජ්‍ය මහගම සීලානන්ද හිමි මුහුණු පොතේ අපූර්ව කාව්‍ය නිර්මාණ රචනයෙන් රසික සිත් ඇද බැඳගත් ප්‍රතිභාපූර්ණ කිවි හිමිනමකි. ඒ හිමියෝ මීට පෙර එනම් 1989 දී ‘සින්දු බින්දු මල්’ නම් ළමා කාව්‍ය සංග්‍රහය රචනා කොට කාව්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූහ. ඉන් සෑහෙන කලකට පසු එනම් 2022 දී ‘මගෙ උයනෙ ඉඩ ඇත’ කාව්‍යය රචනා කළෝය. ඒ අතරතුර ‘සමනල යාය’ (2005) නම් ළමා ගී සංග්‍රහය ද ‘පුන්සිසි කැන්ඉසි’ ගේය කාව්‍ය සංග්‍රහය ද (2022) නිර්මාණය කළහ. කවි හා ගී ප්‍රබන්ධකරණයෙන් බැහැර ජීවිතයක් එම හිමියන්ට නොමැති බව දිනපතා මුහුණ පොතේ පළවන කෙටි කාව්‍ය නිර්මාණවලින් ප්‍රකටය. එහිමියන්ගේ කාව්‍ය රචනා සෞන්දර්යයේ චමත්කාරය හා අසිරිමත් බව කැටිකරගත් රස භාවපූර්ණ නිර්මාණය.

කවියක් බිහිවන්නේ අපූර්ව වස්තු නිර්මාණකරණයේ ප්‍රතිඵලයක් ලෙසටය. එනම් අනුභූතීන් පරිකල්පනය කිරීම මගින් භාවපූර්ණ තත්ත්වයට පත් කිරීමෙනි. එහිදී කවියාගේ නිර්මාණ ප්‍රතිනිර්මාණය ශක්‍යතා ඉස්මතු වන්නේ ප්‍රතිනිර්මාණ කුසලතා මතය. ප්‍රතිනිර්මාණ කාර්යය සඳහා ප්‍රතිභාව තිබිය යුතුය. ‘ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණාක්කමා ප්‍රඥා’ යනුවෙන් ප්‍රතිභාව නම් රසික සිත් ආමන්දානන්දයට පත්කරන සුළු අපූර්වත්වයෙන් යුත් වස්තු නිර්මාණයේ ඇති ඥානය හෙවත් නිර්මාණ ශක්‍යතා ය. පරිකල්පනයේ හා ප්‍රතිනිර්මාණකරණයේ මහිමයෙන් කවියකුට රසිකයන් ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කළ හැකිය. කවියාගේ ඥේය මණ්ඩලය පෝෂණය කිරීමට ව්‍යූත්පත්තිය හෙවත් ජීවත්වීමෙන් උකහා ගත් ජීවිතාවබෝධය හා ග්‍රන්ථය පරිශීලනයෙන් වටහා ගත් පරිඥානය කවියා සතු විය යුතුය.

සීලානන්ද හිමියන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘සඳ එළිය දිගේ’ හි විවිධ ජීවිතානුභූතීන් පාදක කරගත් රචනා පනස්පහක් ඇතුළත්ය. ඒවායින් අඩක් පමණ රසභාවපූර්ණ ගුණයෙන් පිරිපුන් කවි බසේ චමත්කාරය ප්‍රකට රචනාය. මෙහි ඇතුළත් රචනා කිහිපයක් රසවිඳීමෙන් මේ අදහස වඩාත් සනාථ කළ හැකිය. භාවාත්මක ගුණයෙන් උපකල්පිත අපූර්ව පද සංඝටනයෙන් වර්ණවත් වූ සෞන්දර්යයේ අසිරිමත් බව හා චමත්කාරය ධ්වනිත කරන නිර්මාණයක් ලෙස ‘පහන නොනිවෙයි’ රචනය අගය කළ හැකිය. සොබාදහම හා බැඳුණු සෞන්දර්යයෙන් විභූෂණය වූ හැඟීම් හා සංකල්පනා විචිත්‍රාර්ථ නැඟෙන අයුරින් නිරූපණය කිරීමේ කුසලතාවක් කාව්‍යමය පද සංඝටනයෙන් වර්ණවත් කොට රූපණය කිරීමට කවි හිමියෝ පෙලඹෙති.

කාව්‍ය රචනා සෞන්දර්යයේ චමත්කාරය සඳ එළිය දිගේ

“ඉල් මහේ සඳ දියෙන්
නැහැවෙනා මල්යාය
පැල් බැඳන් රැහැයියන්
ගයන සුමිහිරි ගීය

නිල් අහස් ගැබ වසා
තරු ළඳුන් නෙත් ඉඟිය
මල්සරා දුනු දියෙන්
විදිනු හැටි බිඟු ගීය

මල්යාය පුරා සඳ පායා තිබීම රෑහි හඬ, අහසේ තරු, මීමැසි බඹර නද යන ජීව අජීව ස්වභාවධර්ම වස්තුන් සෞන්දර්යයෙන් විකසිත අවට පරිසරකාමී සිත් සතන්හි සරාගී හැඟීම් ධ්වනිත කිරීමට තුඩුදෙයි. එබඳු ශෘංගාර රස ජනනයට සරිලන පද සංඝටනය මෙන්ම අවස්ථාවෝචිත කව්‍යෝක්ති හා රූප භාවිතය ද කවි හිමියන්ගේ සාර්ථකත්වයට බලපා ඇත. ප්‍රේමාතුර හැඟීම්වලින් විකසිත තරුණියකගේ සංචරණය ස්වභාව සෞන්දර්යාත්මක වස්තු හා සුසංයෝජනය කොට රූපණය කිරීමේ අපූර්ව කුසලතාවක් ප්‍රකට කරන නිර්මාණයක් ලෙස උමතු පෙම්වතිය කවි පෙළ දැක්විය හැකිය. පූජ්‍ය මහගම සීලානන්ද හිමි, පැරණි කවි බසේ හා ව්‍යවහාර බසේ ඇතුළත් භාවපූර්ණ ගුණයෙන් පිරිපුන් වදන් අපූර්ව ලෙස සංඝටනය කොට, පෘෂ්ටීය අර්ථය ඉක්මවා ගිය ව්‍යංගාර්ථ ජනනයට නැඹුරු වූ කිවි නමකි.

‘සඳ කිනිති රෑ විලට වැටෙද්දී
තාරකා පහන්සිළු දිළෙද්දී
දුරුතු හීතල පවනෙ වෙළෙද්දී
උමතු පෙම්වතිය කිම තිගැස්සී’

වෙළෙඳාම ජීවිත උරුමය කරගත් මුස්ලිම් ජනතාව පාරිභෝගිකයන්ගේ ගත සිත සතපවා ඔවුන් සන්තර්පණය කොට සිනහවෙන් හා වචනයෙන් සංග්‍රහ කිරීම තේමාව කරගත් ‘තිහාරියේ කඩේ’ කවි පෙළ කිවි හිමියන්ගේ ජීවිතාබෝධය ප්‍රකට කරන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. පද

පෙළගැස්වීම වාර්තා ස්වරූපයෙන් ඈත් වූයේ නම් අගනා කවි පෙළක් වීමට ඉඩ තිබිණි.

‘කැලෑ හඳ යට
ජයතිස්ස සහ රොස්ලින්’
වියරණෙන් පෙම් කළ
ලිඛිත වහරක පෙම්පත්යැ’

මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියෙහි නන්දා හා පියල් කලාතුරකින් මුණගැසුණ ද ඔවුන් ප්‍රේමය මැයක් කරගත් බවක් නොපෙනේ. පොතක පිටු අතරට හිරකොට හසුන් හුවමාරු කරගත ද ඒවායේ ප්‍රේමය ගැන සඳහන් නොවීය. සුගත්ට හා දම්මිට අත්වැල් බැඳගෙන රබර් වත්තක් මැදින් ගමන් කරමින් පෙම්බස් තෙපළීමට තරම් නිදහස තිබුණි. මෙලෙස කිවි හිමි පරම්පරා ගණනක ප්‍රේම කරන ආකාරයේ වෙනස, සිදුවීම් ඇසුරෙන් අප ඉදිරියේ සනිටුහන් කරයි. එහෙත් අද පෙම්වතුන් ආදරය හා සෙනෙහස විඳීමට වඩා ලේ මස් උරා ගැනීමට පෙලඹෙයි. මේ අපැහැදිලි සංකීර්ණ ප්‍රේමය කෙබඳු දැයි
‘දේදුනු කැළුම් දුරබණුවෙ ආදරයේ
බොඳ විය සාගරය සේ
සිත්තරේ රළ නඟයි’

කාව්‍ය ඛණ්ඩයෙන් නිරූපිතය. එහෙත් කිවි නම වාර්තාමය තත්ත්වයෙන් කවිය මුදා ගැනීමට අසමත් වී ඇත.

කවි බසෙන් විභූෂණය වූ නිර්මාණයක් ලෙස ‘එන්න’ කවිපෙළ අගය කළ හැකිය. නියඟය හමාර වී ඉක්මනින්ම වැස්සක් අපේක්ෂා කරන අයුරු කවියා නිරූපණය කර ඇත්තේ මෙසේය.

‘සිල්ගත් සඳ අතේම
වෙහෙරට මල් එවන්න
අද රෑ පහන් වැටට
තරු එළියක් ගෙනෙන්න

ගැබ්බර ආකාසේ
කඳුළැලි නිවාලන්න
වැහි කූඩය දෝතින්
පොළොවේ තොල් තෙමන්න’

නියඟය හමාර කොට වහින වැස්සේ වැහි පොද පොළොවට තදින් උරා ගැනීම කවියා රූපණය කර ඇති අයුරු ළගන්නා සුළුය. ප්‍රාණවත්ය. හැඟීම් උත්පාදන ශක්‍යතාවෙන් යුක්තය.

ජීවිතයට දුෂ්කර ලෙස මුහුණ දුන් මවගේ හදිසි මරණය කථකයාට කම්පනශීලී වේදනාබර සංවේදී සිදුවීමක් වූ අයුරු ‘අම්මා එනතුරු’ කවි පෙළෙන් නිරූපණය වේ. ජනකවියෙන් අනුප්‍රාණය ලැබ රචනා කළ බැව් මෙබඳු පද්‍යයකින් පැහැදිලි වේ.

‘වනේ වන සපුන්ටත් ළැම කිරි පෙව්වා
බොහෝ වැටෙන වුන් හෙමිහිට ගොඩ දැම්මා
අකල් මේඝයක් හදිසියෙ ඇද හැළුණා
බදුලු කුමරියේ මට, දෙනවද අම්මා’

‘අලුත් වැස්සක්’ කවිපෙළ මගින් කවියා කාව්‍යකරණයේදී ස්වයං වාරණයක යෙදුණු අයුරු ධ්වනිත කරයි. භික්ෂූත්වයේ සීමාවන් දැන, එයට හානියක් නොවන සේ කවිය නිර්මාණාත්මක ලෙස හැසිරවීමේ කුසලතා ප්‍රකට කිරීමට අප හිමියන් සැලකිලිමත්වීම අගය කළ හැකිය. සමස්තයක් වශයෙන් ගත් විට මහගම සීලානන්ද හිමියන්ගේ කාව්‍යකරණයට සුවිශේෂ වූ ලක්ෂණ කීපයක් මෙම කාව්‍ය සංග්‍රහය පුරා දැක ගත හැක.

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment