කැකුලන්දරගේ චරිතයට පේ‍්‍රක්‍ෂකයෝ බනිනවා – රුවන් පෙරේරා

510

මේ දිනවල පුංචි තිරයේ ටීචර් අම්මා,තාදි ,එන්කවුන්ටර්,නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට පැමිණෙන රුවන් පෙරේරා නව පරපුරේ දකෂ රංගන ශිල්පියෙකි. අද දිවයින සිනම කලා පිළිසඳර ඔහු සමඟිනි.

 රුවන්,මේ දවස්වල මැරයෙක් වෙලා කියලා ආරංචියි.

 මේ දිනවල නාඩගම්කාරයෝ එකේ කැකුළන්දරගෙ චරිතය රඟ පානවා.ඊට අමතරව එන්කවුන්ටර් එකෙත් මැර චරිතයක් රඟ පානවා.හැබැයි මේ මැර චරිත මට නුහුරු එකක් නෙමෙයි.මීට කලිනුත් මට ටිකක් දරුණු ගති පැවතුම් තියන චරිත වල රඟපාල තියෙනවා .

 ඒ කියන්නේ ඔබට පේ‍්‍රක්ෂකයන්ගෙන් බැනුම් අහල හොඳට පුරුදුයි වගේ ?

 යම්කිසි චරිතයක් බලලා පේ‍්‍රක්ෂකයෝ බනින්නෙ චරිතයට මිසක් මට නෙමෙයි .මැර චරිතයකට මිනිස්සු නොබැන ඉන්නවා නම් එතන තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ .මොකද දරුණු චරිතයකට නොබැන ඉන්නවා කියන්නෙම පේ‍්‍රක්ෂකයන්ට ඒ චරිතය හොඳට දැනිලා නෑ .හැබැයි

 නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කැකුලන්දරගේ චරිතයට පේ‍්‍රක්ෂකයෝ බනිනවා කියන්නේ ඒ අයට මගේ චරිතය හොඳින් දැනිලා තියෙනවා . මගේ රඟපෑම සාර්ථකයි කියන එක .මම හිතන්නේ බැනුම් කියලා කියන්නෙත් ආදරේ ප‍්‍රකාශ කරන එක විදිහක් .

කැකුලන්දරගේ චරිතයට පේ‍්‍රක්‍ෂකයෝ බනිනවා - රුවන් පෙරේරා

පසුගිය කාලයේ ඔබ ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත්තා නේද .?

 හාර කෝටියේ ඩිංකා චරිතයට තමයි ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය ලැබුණේ.හාර කෝටිය නාට්‍යයේ සියලූ‍ම දෙනාට ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා .

 ඒත් මම හැමදාම කියන කාරණය තමයි ජනප‍්‍රිය වෙන්න ඕනේ තමන්ගේ දක්ෂතා එක්ක.ජනප‍්‍රිය නළුවා වෙන්න කලින් මට හොඳම කියන කොටසට සම්මාන කිහිපයක්ම ලැබුණා.තමන්ගේ ජනප‍්‍රියත්වය හොඳ නිර්මාණත් එක්ක හොඳ චරිතත් එක්ක ඇති කරගන්න පුළුවන් නම් එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ .අද වෙද්දි ජනප‍්‍රියත්වය කියන එක මුදල් වලට සීමා වෙලා .

 ජැක්සන් ඇන්තනී මහත්මයත් එක්ක නැවත නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද?

 ජැක්සන් ඇන්තනී මහත්මයාගේ එක ගෙයි සොකරි චිත‍්‍රපටයේ මම රඟපානවා .කෝවිඞ් තත්වයත් එක්ක තමයි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වීම ප‍්‍රමාද වෙලා තියෙන්නේ . ඉදිරියේ දී එතුමත් එක්ක තවත් හොඳ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ජැක්සන් ඇන්තනී කියන්නේ අබා චිත‍්‍රපටයේ ඉඳලා මට උපදෙස් ලබා දුන්න රංගන ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයෙක් .

 රත්නපුරෙන් කොළඹ ඇවිත් රංගන ශිල්පියෙක් වුණ එක ගැන රුවන්ට මොනවද හිතෙන්නේ ?

 රත්නපුරෙන් කොළඹට ඇවිදින් රංගන ශිල්පියෙක් වීම අහම්බයක් නෙමෙයි .පොඩි කාලේ ඉඳලම මට තිබුණා නළුවෙක් වෙන්න උවමනාව .ඒ වෙනුවෙන් තමයි මම කොළඹ ආවේ .රංගනය පිළිබඳව ඉගෙන ගෙන, ඒ ගැන හොඳ අත්දැකීමක් අරගෙන තමයි මම රඟපෑමට එකතු වුණේ. වෘත්තීමය නළුවෙක් විදිහට දිගු ගමනක් එන්න පුලූ‍වන් වුනේ මම මගේ හීනේ වෙනුවෙන් උනන්දුවෙන් වැඩ කරපු හින්දා.

 ඒත් අද අපෙන් ගොඩක් නංගිලා මල්ලිලා අහන්නේ කොහොමද නළුවෙක් වෙන්නේ කියලා .සල්ලි තිබ්බට කැමැත්ත තිබ්බට ම නළුවෙක් නිළියක් වෙන්න බෑ. ඒ ගැන ඉගෙනගන්න ඕන .අවබෝධයක් තියෙන්න ඕනෑ .මොකද අනවබෝධයකින් යන ගමන අතරමගදී නතර වෙන්න තියන ඉඩකඩ වැඩියි.

 මේ වන විට ටෙලිනාට්‍ය හතලිහකට අසන්න ප‍්‍රමාණයකටත් සිනමා නිර්මාණ වලටත් රංගනයෙන් දායක වී ඇති රුවන් පෙරේරා නුදුරේ දී නිෂ්පාදන ක‍්‍රියාවලියටද සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් සිටී .මෙතෙක් ආ ගමන් මගෙහි දී තමන්ට උපකාර කළ සියලූ‍ම දෙනාට හා පේ‍්‍රක්ෂකයන්ට කිරීමට ද ඔහු අමතක කළේ නැත .

 *  නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment