කැටබුලාව සංවර්ධන කමිටු රැස්වීමේදී ගුටි කෙළි

142

නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පෙරේදා (18දා) නාවලපිටිය කැටබුලාව ප‍්‍රදේශයේ සහභාගි වූ සංවර්ධන කමිටු රැස්වීමකදි දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් ලද පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

කැටබුලාව ප‍්‍රදේශයේ සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ කොත්මලේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති නිමල් පියතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පවත්වා ඇත.

එම රැස්වීමට කොත්මලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චාමර සුභාශිත ද සිල්වා මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක්ද සහභාගි වී ඇත. එම රැස්වීමේදී චාමර සුභාශිත ද සිල්වා මන්ත‍්‍රීවරයා ගෙන ආ සංවර්ධන යෝජනාවකට සංවර්ධන කමිටු සභාපතිවරයා විරුද්ධ වීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. ගැටුමෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතාගේ ආධාරකරුවකු වන කොත්මලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සිසිර නාමල් මහතා නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටියේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතියට සමගාමීව ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත සංවර්ධන කමිටු සභාපතිවරයා වශයෙන් නාවලපිටය කැටබුලාව ප‍්‍රදේශයට ගොස් සංවර්ධන යෝජනා සම්බන්ධයෙන්

රැුස්වීමක් පැවැත්වූ බවත් එම රැුස්වීමට එම වසම නියෝජනය නොකරන කොත්මලේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී චාමර සුභාශිත ද සිල්වා මහතා පැමිණ කළහාකාරි ලෙස හැසිරී තමන් ඇතුළු එම රැස්වීමට සහභාගි වූ පිරිසට පහර දුන් බවයි.

එම ගැටුමෙන් තම ආධාරකරුවකු වන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සිසිර නාමල් මහතා තුවාල ලබා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය සී. බී. රත්නායක මහතාද දැනුවත් කළ බවත් හෙතෙම පවසයි.

ගැටුම සම්බන්ධයෙන් කොත්මලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චාමර සුභාශිත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ, කැටබුලාව වසමේ තමන් පදිංචි බවත් එම වසමද සංවර්ධන කටයුතුවලදී නියෝජනය කිරීමට කොත්මලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට බලය පවරා ඇති බවත්ය.

එම රැස්වීමේදී තමන් යෝජනා කළ සංවර්ධන කටයුතු කිහිපයකට සංවර්ධන කමිටු සභාපතිවරයා විරුද්ධ වූ බවත් තමන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් රැුස්වීම තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවත් හෙතෙම පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක,

advertistmentadvertistment
advertistmentadvertistment