කැටබුලා ඔයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ තිදෙනා සොයා පස්වැනි දිනටත් මෙහෙයුම්  

410

පවතින අධික වර්ෂාව සමග නාවලපිටිය කැටබුලා ඔයේ ගසා ගෙන ගොස් අතුරුදන් වූ තිදෙනා දින 5 ක් ගතවී ඇතත් මේ වන තුරු සොයා ගැනීමට නොහැකි වූ බව නාවලපිටිය පොලිසිය පවසයි. මොවුන් සොයා පස්වැනි දිනයටත් මෙහෙයුම් සිදුකරමින් තිබේ.

කැටබුලා වත්ත පුදුකාට්ටු හා අක්කරවත්ත යන ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා එක් කාන්තාවක කැටබුලා ඔයෙන් එගොඩ වීමට ගොස් මෙසේ ගසා ගෙන යෑමෙන් අතුරුදන්ව ඇත.

කැටබුලා ඔයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ තිදෙනා සොයා පස්වැනි දිනටත් මෙහෙයුම්  

තිදරු පියකු වූ 36 හැවිරිදි අම්මාවාසි චන්ද්‍රමෝගන්, සිව් දරු පියකු වූ 49 හැවිරිදි සත්‍ය සීලන් සුරේෂ් කුමාර්, තිදරු මවක වූ 45 හැවිරිදි ජෙයරාම් ජෙයලක්ෂ්මි යන තිදෙනා මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.

කඳුකරයේ පවතින අධික වර්ෂාව සමග කැටබුලා ඔය උතුරා ගොස් ඇති අතර පුදු කාට්ටු හා අක්කරවත්ත යා කරන සපත්තු පාලම මතින් ද මෙම ජලය ගලා යමින් තිබී ඇත.

කැටබුලා වත්ත හා වෙනත් ස්ථානවල කුලී වැඩ අවසන් කර මෙම පාලම මතින් නිවාසවලට යෑමට පැමිණි පිරිස් හට එගොඩවීමට නොහැකිව තිබීම නිසා ප්‍රදේශවාසීන් එක්ව එම පාළම හරහා බැඳ තිබූ ලනුවක ආධාරයෙන් මේ පිරිස් එගොඩ යෑමට උත්සාහ දරා ඇත. නමුත් හදිසියේ වැඩි වූ ජල කඳට හසුව මොවුන්ගෙන් තිදෙනකු මෙසේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ. මෙම පාළම මධ්‍යම පළාත් සභාව හෝ කොත්මලේ ප්‍රාදේශීය සභාව මගින් දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශවාසීන් හා කහවත්ත වැවිලි සමාගම එක්ව එය ඉදිකළ බව ප්‍රදේශවාසීහු පවසති. නමුත් පාලමේ ආරක්ෂාව සඳහා දෙපස ආරක්ෂිත ඇඳි ඉදිකර දෙන ලෙස ප්‍රාදේශීය සභාවෙන් හා පළාත් සභාවෙන් ඉල්ලූ මුත් එය වත් ඉටුකර නොදුන් බවද මේ පිරිස පවසති.

කැටබුලා ඔයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ තිදෙනා සොයා පස්වැනි දිනටත් මෙහෙයුම්  

පාලමේ මෙම ආරක්ෂක ඇඳි නොමැති නිසා ලණුවක් බැඳ එය අල්ලා ගෙන මේ පිරිස් සෑම වර්ෂා කාලයටම එහා මෙහා යන බවද ඔවුහු පවසති. මෙම කැටබුලා වත්ත පාලනය වන්නේ කහවත්ත වැවිලි සමාගමෙන් වන අතර මෙම අනතුර නිසා අසරණ වූ එම පවුල් සඳහා එම සමාගම මගින් මුදල් පරිත්‍යාග ද සිදුකර තිබේ. එසේම දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ සම්පූර්ණ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් හා ද්‍රව්‍ය සපයීමටද ඔවුන් පොරොන්දු වී තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment