කැටය කඩා බලමුද? – (ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ යෝජනාවට පරි කතාවකි)

817

මේ රටේ සිටින වඩාත්ම පළපුරුදු දේශපාලනඥයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා විසින් ඉතාම සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එනම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සියලුමදෙනා ජනතාවට ප්‍රසිද්ධියේ බලාගත හැකි වන පරිදි ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රදර්ශනය කළ යුතු බව ය. කිරිඇල්ල මහතා දැනටමත් ස්වකීය වත්කම් හා බැරකම් ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ වෙබ් අඩවිය හරහා කාටත් දැකගත හැකි වන පරිදි ප්‍රදර්ශනය කර තිබේ. මෙය සියතින් ගෙළ සිඳගැනීමක් හැටියට සෙසු මන්ත්‍රීවරුන් සැලකීමට ඉඩ තිබේ. මන්ද ඇතැම් මන්ත්‍රීවරුන්ට තිබෙන කෝටි ගණන් වටිනා දේපළ ප්‍රදර්ශනය කිරීමට ගියහොත් වෙබ් අඩවි එකක් නොව කිහිපයක් ම අවශ්‍ය වන නිසා ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් හා බැරකම් හෙළි කළ යුතු බවට මතයක් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සහ ප්‍රගතිශීලී දේශපාලනඥයන් අතරින් මතු වී රටපුරා ව්‍යාප්ත වෙමින් පවතී. එහෙත් අප දන්නා පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස්දෙනකුට වඩා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කර නැත. එයට හේතු දෙකක් තිබීමට පුළුවන. පළමුවැන්න, පැය 24 පුරාම ජනතා සේවයේ යෙදී සිටින බැවින් ස්වකීය වත්කම් හා බැරකම් ලේඛන ගතකර පාර්ලිමේන්තුවට දීමට ඔවුනට වෙලාවක් නැති වීමය. දෙවන කාරණය විය හැක්කේ ඔවුන්ගේ බැරකම් කෙසේ වෙතත්, වත්කම් ගණන් කිරීමට බැරි තරම් විශාල වීම ය. කෙසේ වුවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාගේ අදහස අනුව මේ රටේ මන්ත්‍රීවරුන් හෙළිදරව් වීමට කැමැති බවක් නො පෙනේ. ඒ නිසා ඔහුගේ සාධනීය යෝජනාව ද, තව ටික කලක් ගොස් අතුරුදන්ව යනවා ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන් සතු ධනස්කන්ධය අති විශාල විය හැකි බවට අපට නිකමට මෙන් සැක සිතේ. සමහර විට පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ හරියාකාර දැනුමක් නැති දේශපාලනඥයකු කියනු ඇත්තේ අපේ සැකය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් විය හැකි බවය. එහෙත් එය එසේ වන්නේ නැත. ඕනෑම කෙනෙකු හෝ ඕනෑම දෙයක් සැක කිරීම මිනිසාගේ මූලික අයිතියේ කොටසකි. හැබැයි සැකකරුගේ නම හෙළිදරව් කළොත් එය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට නොහැකි නම් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සල්ලි උනන උල්පතකි. එහෙමත් නැත්නම් බඹරකන්ද දියඇල්ල මෙන් අභව්‍ය ගතිගුණ ඇති වතුර පහරකි. බඹරකන්ද දියඇල්ල හිටපු ගමන් කුඩා ටැප්එකක තත්ත්වයට පැමිණ වේලී යයි. එහෙත් උඩහට වහින විට එය යළි සක්‍රීය වී යෝධ ජල පහරක් බවට පත්වේ. අපේ දේශපාලනඥයා නමැති දියඇල්ල ඡන්ද කාලයේදී ඉතාම ලොකුවට සක්‍රීය වන අතර ඡන්දයෙන් පසුව බලය ලැබුණු අවස්ථාවේදී ටෙන්ඩර්, කොමිස් සහ විවිධ ආදායම් නිසා යෝධ ජලකඳක් බවට පත්වේ. ඡන්දය නමැති වැස්ස ටෙන්ඩර් නමැති වැස්ස, කොමිස් නමැති වැස්ස විසින් මේ රටේ දේශපාලන දියඇලි පෝෂණය කරනු ලැබේ. ඡන්දය ඉවර වී කිසියම් දේශපාලනඥයෙක් පැරදුනහොත් ඔහුගේ දේශපාලන දියඇල්ල දුර්වල ටැප්එකක් බවට පත්වේ. අපේ දේශපාලනඥයන්ගෙන් සමහරුන් ප්‍රාදේශීය සභා, මහනගර සභා හෝ සුළු නගරසභා මන්ත්‍රීවරුන් ලෙස සිය ජීවිතය පටන් ගන්නේ බටපතුරු ලෙස ය. ආරම්භයේදී ඔවුනට මඟ යෑමටවත් පණ නැත. ඔවුන් ගමන් කරන්නේ එක්කෝ පයිනි. නො එසේ නම් බයිසිකලයෙකිනි. නැත්නම් ආධාරකරුවකුගේ මෝටර් සයිකලයේ පිටුපස අසුනේ හිඳගනිමිනි. බලයට පැමිණ සුළු කලකට පසු මේ යෝධයා වතුර කාන්දුවුණු පිටි ගෝනියක් සේ ඉදිමීමට පටන් ගනී. අන්තිමේදී වඩේ එකක් කා ප්ලේන්ටියක් බී දවස ගත කළ කෙට්ටු කෙසඟ දේශපාලනඥයා සිය ඇඟ අඩුකර ගැනීම සඳහා ජිම් එකටත්, මසාජ් ක්ලිනික්වලටත් රිංගන්නට පටන් ගනී. ඔවුන් මසාජ් එකට යන්නේ ඇඟ අඩුකර ගැනීම සඳහා වේග විධාරණය කර ගැනීම පිණිසය. වේග විධාරණය යනු ආයුර්වේදයට ද අනුකූල කාරණයකි. යම් හෙයකින් ගෙදරට මාට්ටු වුණොත් ඇඟේ අමාරුවට ඔයිල් මසාජ් එකක් ගැනීමට ආයුර්වේද ස්පා එකකට ගියේ යැයි කියමින් බිරිඳගෙන් ගැලවීමට දේශපාලනඥයාට පුළුවන. අරගලය පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එසේ නොවන දේශපාලනඥයන් රැසකගේ ගෙවල් ගිනිතබන ලදි. මෙය හෙණගහන අපරාධයකි. එහෙත් ඒ හෙණය අස්සේ තවත් හෙණයක් පාත් වෙයි. ඒ මෙසේය. ගිනි තැබූ ගෙවල් හිමි ඇතැම් දේශපාලනඥයන් කියන පරිදි එම ගිනිතැබීම නිසා එම ගෙවල්වල තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ගෘහභාණ්ඩ අළු බවට පත්විය. එසේම සමහරුන්ගේ ගෙවල්වල තිබූ රන් පවුම් 20 – 30 අතුරුදන්ව ඇති අතර, තවත් සමහරකුගේ ගෙදර තිබූ මොන්ටෙරෝ, පැජරෝ සහ වී. 8 වාහන සම්පූර්ණයෙන්ම ගිනිබත්ව ඇත. මෙපමණ රන්පවුම් කන්දරාවක් ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? මෙපමණ නවීන වාහන කන්දරාවක් මිලට ගැනීමට ඔවුන්ට මුදල් ලැබුණේ කෙසේද? සාමාන්‍ය මිනිහෙක් බැංකුවකට ගොස් රුපියල් ලක්‍ෂ 2 ක් තැන්පත් කරන විට එම රුපියල් ලක්‍ෂ 2 කාගෙන් ලැබී කවර කාරණයක් සඳහා තැන්පත් කරන්නේ ද යන්න හෙළි කළ යුතුය. එහෙත් ධනවත් දේශපාලනඥයන්ගේ ගරාජ්වලට වී. 8 වාහන ආවේ කොහෙන්දැයි සෙවීමට කවුරුවත් නැත. ගෙවල් ගිනි තැබූ කාලකණ්ණි හැත්ත හිරේ දැමීම ගැන අප තුළ කිසිදු විරෝධයක් නැත. අරගලයේ ගිනිජාලා තුළින් මතු වූ මහා වස්තු සම්භාරය කොහොම ලැබුණේද යන්න සෙවීම ද කළ යුතුය. සමහරුන්ගේ කැට හොල්ලා බලන විට සත 5, 10 කාසි පමණක් තිබෙන බවක් හැඟෙයි. එහෙත් එම කැට කැඩූ විට පෙනී යන්නේ ඒවා සම්පූර්ණයෙන් ම රන් කාසිවලින් පිරී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment