කැට තියලා කෙටිදුර දුවන්න බැහැ… ආසියානු ක්‍රීඩා තරගාවලිය ඉදිරි ප්‍රධාන ඉලක්කයයි

215

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක යුපුන් අබේකෝන් කියයි

මීටර් 100 වැනි ඉතා අවිනිශ්චිත කෙටි දුර ධාවන ක්‍රීඩා ඉසව්වකදී පදක්කමක් දිනනවාමයි කියා තරග කරන්නට නොහැකි බවත් ඒත් එළඹෙන 2023 වසරේ දී රට වෙනුවෙන් උපරිමය කරන්නට තමන් සූදානම් බවත් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා මෙන්ම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම් ලාභී යුපුන් අබේකෝන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

2023 ඔක්තෝබර් මාසේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල එහිදී තමාගේ ඉදිරි ප්‍රධාන ඉලක්කය බවත් එමෙන්ම එම වසරේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලිය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ද ඉලක්ක කර කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී හි පෙරේදා (02 වෙනිදා) සවස පැවැත්වූ එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ යුපුන් අබේකෝන් එහිදී තවදුරටත් මෙසේද පැවසීය.

“ආසියානු ක්‍රීඩා තරගාවලිය සහ ආසියානු ශූරතාවලිය තමයි 2023 වසරේ මගේ ප්‍රධාන ඉලක්ක. ආසියානු තරගාවලියක මීටර් 100 තරගයේ රන් පදක්කම කියන්නේ ලොකු දෙයක්. ඒක මගේ කරගන්න, මගේ රටට ලබා දෙන්න මං උත්සාහ කරනවා. 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අවසාන තරගයට පැමිණීමත් මගේ බලාපොරොත්තුවක්. ඒත් මීටර් 100 වගේ තරගයක් දිනන්නේ කවුද කියලා කලින් කියන්න බැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල. ඇමරිකා ක්‍රීඩක රොමෙල් තමයි ඒ තරගයෙන් ජය ගනී කියලා ප්‍රධාන බලාපොරොත්තුව වෙලා තිබුණේ. ඒත් අන්තිමේදී ජයග්‍රහණය කළේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට්. රොමෙල් කියන ක්‍රීඩකයා අවසන් පූර්ව තරගවලින්ම ඉවතට විසිවුණා.

කැට තියලා කෙටිදුර දුවන්න බැහැ... ආසියානු ක්‍රීඩා තරගාවලිය ඉදිරි ප්‍රධාන ඉලක්කයයි

දකුණු ආසියාවට බැරි වෙයි කියල කියපු දේවල් මම කරලා තිබෙනවා. ඒ වගේම මේ ක්‍රීඩාව තුළ මට තව ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මේ ක්‍රීඩාව ඉතා පුළුල්. මං ඉන්න තැනට තවත් ලාංකිකයෙක් එන්න ඕනා. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලංකාවත් ජැමෙයිකාව වගේ දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි. බෝල්ට් යනකොට බ්ලේක් ආවා. දැන් බ්ලේක් ළඟට තව ක්‍රීඩකයෙක් දුවනවා.

ක්‍රීඩාවේ ඉහළ පහළ යෑම්

“රේසිං කාර් වගේ අවුරුද්ද පුරාම හැමදාම එකම වේගයෙන් දුවන්න ක්‍රීඩකයන්ට බැහැ. දක්ෂතාවල ඉහළ යෑම් පසුබෑම් ඇති වෙනවා. අවුරුදු විසි ගණනකට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මම ලබා ගත් පදක්කමත් සමග රටේ මලල ක්‍රීඩාව වටා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාව තමයි අපේ රටේ මලල ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අත තියන්න හොඳම වෙලාව.

ඒ වගේම මට විතරක් දෙයක් කරගෙන අත පිහදාගෙන යන්න වුවමනාවක් මට නැහැ. මගෙන් පසුව එන අයටත් හොඳ දෙයක් කරල යන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම අපේ රටේ ක්‍රීඩකයන්ට පාසල් කාලයේ සිටම අභිමානයක් දැනෙන්න දෙන්න ඕන. එහෙම වුණොත් තමයි පොඩි වයසෙ පටන් ම ක්‍රීඩාවට ඇල්මක් ඇති වෙන්නේ. ක්‍රීඩාවට දක්ෂ ළමයි එය හැරයෑම විශාල පාඩුවක්.”

වෙන රටකට දුවනව ද?

“වෙන රටකට දුවනවා කියන්නේ බරපතළ තීරණයක්. ඒත් එවැනි දෙයක් ගැන මම හිතලා නැහැ. මොකද රටේ අනාගත ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මම මොනවා හරි කරන්න ඕන. හැබැයි වෙන රටකින් ඉල්ලීම් එනවා කියන්නේ මගේ තත්ත්වය ලෝකයට දැනිල තිබෙනවා කියන එකයි. ඒ ඉල්ලුමට අනුව හෝ මට වටිනාකමක් ලැබෙන්න ඕන. ඒ වටිනාකම මගෙන් පසුව එන ක්‍රීඩකයන්ටත් ලැබිය යුතුයි.”

කැට තියලා කෙටිදුර දුවන්න බැහැ... ආසියානු ක්‍රීඩා තරගාවලිය ඉදිරි ප්‍රධාන ඉලක්කයයි
ප්‍රවීණ ධාවනශූරී දමයන්ති දර්ශා යුපුන්ට සුබපතන අයුරු

පීක් එක 2022 යි

“මීටර් 100 ඉසව්වට මම සහභාගි වෙන්නේ අවුරුදු දාහතේදී. ඊට පෙර මං තුන් පිම්ම ක්‍රීඩකයෙක්. 2015 වසරේදී මීටර් 100 මම තත්පර 10.51 කින් දිව්වා. ඒත් ඒ කාලය තත්පර 10.10 දක්වා ගෙන ඒමට මට වසර තුනක කාලයක් ගත වුණා. එම කාලය මට නිවැරදිව කළමනාකරණය කර ගන්නට තිබුණ නම් තප්පර 10 සීමාව එක්වරක් නෙමෙයි කීප වරක් මට ඉක්මවා යන්න තිබුණා. බෝල්ට් මීටර් 100 ලෝක වාර්තාව තිබ්බේ එයාට අවුරුදු 21ක් වන විට. යොහාන් බ්ලේක් එයාගෙ හොඳම දක්ෂතාව වාර්තා කළේ අවුරුදු 22දී. ජස්ටින් ගැට්ලින් කියන ක්‍රීඩකයා එයාට අවුරුදු 35 සහ 36 යන වයස්වලදීත් හොඳම කාලයන්වලට දිව්වා. මට දැනෙන විදියට මගේ පීක් කාලය තමයි 2022 අවුරුද්ද. ඉදිරියේදී මීට වඩා හොඳ වසරක් එන්න පුළුවන් ද බැරි වෙයිද කියන එක කියන්න අමාරුයි.”

මතභේදයට තුඩු දුන් ප්‍රකාශය

“මීටර් 100 වගේ තරගයකට ‘ෂෝර්ට් කට්’ නැහැ. පියවරෙන් පියවර තමයි යන්න වෙන්නේ. මීටර් 60, මීටර් 100, මීටර් 150 සහ මීටර් 200 යන ඉසව් හතරෙම දකුණු ආසියානු වාර්තා ලාභියා ලෙස මම කියන්නේ අපට හැමදාම අපේ වාර්තා අලුත් කරන්න බැහැ. ඒවා හැමදාම වෙන දේවල් නොවේ. මේ ක්‍රීඩාව බොහොම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව ඇතුළෙ රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක මගේ උපරිමයෙන් කරනවා. අපේ රටේ මලල ක්‍රීඩාවට තියෙන පහසුකම් ඉතා අඩුයි. මං පුහුණුවීම් කරන ඉතාලියේ මලල ක්‍රීඩාවට ක්‍රීඩාංගණ අටසියයක් විතර තියෙනවා. අපේ රටේ තියෙන්නෙ ක්‍රීඩාංගණ තුනයි. එයිනුත් දුවන්න පුළුවන් ක්‍රීඩාංගණ තියෙන්නේ දෙකයි. ඒ නිසා කොච්චර හොඳ පුහුණුකරුවන් ගෙනාවත්, කොච්චර දක්ෂ ළමයි හිටියත් ඒ අයට ජයග්‍රහණවලට යන එක ලේසි නැහැ. අපි ක්‍රීඩාව වෙනුවෙන් ආයෝජනය කරන්න ඕන. දක්ෂ ක්‍රීඩකයන් නිකම් බිහිවෙන්නේ නැහැ. ඒ වගේම හැමදාම බිහි වෙන්නෙත් නැහැ. එහෙම බිහිවන ක්‍රීඩකයා රැකබලාගෙන ඔහුව රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරන්න ඕන. ඇත්තටම 2000 වසරෙන් පසුව අපේ රට තුළ දක්ෂ ක්‍රීඩකයන් ගොඩ නැගුනේ නැහැ. එහෙම දෙතුන් දෙනෙක් ආවත් ඔවුන් ඉක්මනින් ක්‍රීඩාව අතහැර ගියා. ක්‍රිකට්වලට පසුව අපේ රටේ අනෙක් ක්‍රීඩාවලට තිබෙන්නේ අඩු වටිනාකමක්. ඒත් අපේ ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ගේන්න ඕන. එහෙම නැති වුණොත් මේ ක්‍රීඩාවට ක්‍රීඩකයන් එකතු වෙන්නේ නැහැ.

මෙන්න මේ වගේ නොයෙක් හේතු කාරණා කීපයක් නිසා තමයි එදා මම මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩුවෙන් දුවලා යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ. පසුව ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා ඇමැතිවරයා, මලල ක්‍රීඩා සංගමය, ඔලිම්පික් කමිටුව සමග මම මේ පිළිබඳව කීප වතාවක් සාකච්ඡා කළා. ඔවුන්ව ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

කුෂාන් සුබසිංහ
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment