කැනඩාවේ සිට මව රැගෙන ලංකාවට ආ පුතා කටුනායක දී බිම ඇද වැටී මිය යයි

217

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් ඊයේ දින අලුයම මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලිසිය ප්‍රකාශ කළේය.

බුද්ධික කරුණාරත්න නැමැති 54 හැවිරිදි මෙම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ බැද්දගාන ප්‍රදේශයේ පදිංචි වී සිටි අයෙකි.

මොහු සිය මෑණියන් සමග ඊයේ අලුයම 02.18ට කටාර් රාජ්‍යයයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු සිය මෑණියන් කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටිය දී අලුයම 03.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව ඔස්සේ පිටවීමට ගමන් කරමින් සිටිය දී ඔහුට හදිසියේම වැළඳුණු හෘදයාබාධයක් නිසා මෙසේ ඇද වැටී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සඳහන් කළේය.

මේ වනවිට මෙම ගුවන් මගියාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳ විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් (94507) කුමාර යන මහත්වරුන් විසින් සිදු කරති. මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහල තුළ පැවැත්වීමට ද නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment