කැන්ඩි කණ්ඩායමෙන් යාපනයට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක්

230

නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලිය

ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 444 ක් ලබා ගැනීමට ඊයේ (08 වැනිදා) සමත්වූවේය.

කඩුලූ 2 කට ලකුණු 288 ක් වශයෙන් ප‍්‍රබල ස්ථානයක තිබියදී ඊයේ දෙවැනි දිනය ආරම්භ කළද ඉතිරි කඩුලූ 8 ම ලකුණු 154 කදී දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී වමතින් දඟ පන්දු යවන දිලූම් සුදීර ඊයේ දිනයේ දැවී ගිය පිතිකරුවන් 8 දෙනාගෙන් කඩුලූ 4 කම හිමිකරුවා බවට පත්වූ අතර එහිදී සුදීර ශතක ලාභී ඕෂධ ප‍්‍රනාන්දු, නායක කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ සහ පුලින තරංග ගේ කඩුලූ දවා ගැනීමට සමත් වූහ.

ඕෂධ ප‍්‍රනාන්දු නැෂනල් සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සිව්වැනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වූ අතර නවෝද් පරණවිතාන අතට උඩ පන්දුවක් දී දැවී යන විට ඕෂධ පන්දු 154 කට මුහුණ දී ලකුණු 109 ක් ලබා සිටියේය.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් ශතකයට ලකුණු 13 ක් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඕෂධගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ළහිරු උදාරව ලකුණු 02 ක් ලබා සිටියදී දවා ගැනීමට ජැෆ්නා නායක ධනංජය ද සිල්වා සමත්වද්දී අනෙක් අන්තයෙන් ග‍්‍රහණය තර කළ දිලූම් සුදීර කැන්ඩි නායකයාව ලකුණු 87 කට දවා ගත්තේය. මෙවර තරගාවලියේ කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවකු ලෙස වැඩිම මෙහෙවරක් ඉටුකරන ලද තවත් පිතිකරුවකු වූ සහන් ආරච්චිගේද මුළු ලකුණු සංඛ්‍යාව 389 ක්ව තිබියදී දිලූම් සුදීරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

මැද පෙළින් පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු 32 ක් ද තුන් ඉරියව් ක‍්‍රීඩක පුලින තරංග ලකුණු 43 ක් ලබා ගැනීමත් නිසා කැන්ඩි පිලට ලකුණු 450 සීමාව ආසන්නයට පැමිණීමට අවස්ථාව විවර විය.

පන්දුවෙන් කැපී පෙනෙමින් පන්දුවාර 31.2 කදී ලකුණු 86 කට කඩුලූ? 4 ක් දවා ගැනීමට සුදීර සමත් වූ අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 96 කට කඩුලූ 3 ක් දවා ගත්තේය. ජෙෆ්රි වැන්ඩර්සි කඩුලූ 2 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 131.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 444 යි – ( ඕෂධ ප‍්‍රනාන්දු 109, කමිඳු මෙන්ඩිස් 87, කමිල් මිශාර 56, කසුන් විදුර 71, නිරෝෂන් දික්වැල්ල 32, සහන් ආරච්චිගේ 16, පුලින තරංග 43, ලසිත් ඇඹුල්දෙණිය 01, අෂේයින් ඩැනියෙල් 08, අසිත ප‍්‍රනාන්දු 05, ළහිරු උදාර 02, දිලූම් සුධීර 86/4, ධනංජය සිල්වා 96/3, ජෙෆ්රි වැන්ඩර්සි 97/2, දුනිත් වෙල්ලාලගේ 49/1)

advertistmentadvertistment
advertistmentadvertistment