කැපකිරීම් තුළින් කුමන්ත්‍රණ පරදවා සමගිව ජයගමු – ● පෙරඹර

206

ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාවටම විවිධ කුමන්ත්‍රණ, සිවිල් යුද්ධ වැනි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති රටකි. ඒ නිසාම අද වන විටත් සංවර්ධනය වීමට නොහැකි වී සිටිනවා පමණක් නොව අවම වශයෙන් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම පවා දුෂ්කර වී ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ පාලකයන් රටේ ජනතාව ජාති, ආගම්, කුල හා පළාත් ලෙස බෙදා ජාතික සමගිය කීතු කීතුවලට විනාශ කර දමා තිබීමයි. එකම ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැඟී සිටිනවා වෙනුවට විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව සිදුවන කුමන්ත්‍රණවලට හසුවෙමින් රටක ජනතා අභිමතාර්ථය විනාශයට ලක් කොට ඇත. මේ සෑම අවස්ථාවකදීම කිසිවෙකු ජාතික සමගිය වෙනුවෙන් කැප කිරීම් කරනවා වෙනුවට තම තමන්ගේ ශක්තිය පෙන්වීමටත් තමන්ගේ දේශපාලන ගමන හා ස්ථාවරභාවය වෙනුවෙන් කටයුතු කිරීමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. එසේ ජාතික සමගියක් ඇති කිරීම වෙනුවට ජාතිය බෙදී තිබීම පාලකයන්ගේ න්‍යාය පත්‍රය හා කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රාර්ථනා මිස පොදු මහජනතාවගේ ප්‍රාර්ථනය නොවෙයි.

 ඉංග්‍රීසීන් සිය පාලනයේ අවසන් කාලයේදි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පාලන ව්‍යුහය තුළම ජාතීන් අනුව නියෝජනයක් ලබා දීමෙන් ජාතික අසමගිය ආරම්භ වූ බව පෙනෙන්නට ඇත. ඉන් පසු 50:50 යේ ඉල්ලීම, රාජ්‍ය භාෂාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලු වැනි බෙදීම පවත්වාගෙන යෑම සඳහා වූ කුමන්ත්‍රණ අද වන විටත් සාර්ථකව ක්‍රියාත්මකව පවතී. සියලු දෙනාම අඩියක් පස්සට තැබීමට හෝ සමගිය වෙනුවෙන් කැප කිරීමක් කිරීමට සූදානම් නැත. තමන්ගේ පුද්ගලික හා දේශපාලන න්‍යාය පත්‍ර 100% කින් ක්‍රියාත්මක කිරීම පමණක්ම වුවමනාව බවට පත්ව ඇත. ආණ්ඩුව සෑම විටම විපක්ෂයේ යෝජනා තමන්ට විරුද්ධ මතයක් ලෙස සලකනවා මිස සාධාරණ යෝජනාවක් පවා පිළිගැනීමට සූදානම් නැත. එය ඉතිහාසය පුරා ආණ්ඩු පක්ෂයේ සිටි සෑම කෙනෙක්ම කටයුතු කළ ආකාරයයි. හැම විටම විපක්ෂයේ සිටින කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ ක්‍රියා විවේචනය කරනවා මිස ඵලදායි විසඳුම් යෝජනා කරන බවක් නිදහසේ සිට මේ දක්වා දැක නැත. එනම්, රටේ අනාගතය නිවැරදි දිශාවට ගන්නවා වෙනුවට තම තමන්ගේ න්‍යායන්ට අනුව කටයුතු කරමින් සිටියි. ජාතික සමගියක් තුළින් ප්‍රතිපත්තිගරුක පොදු න්‍යාය පත්‍රයක් රටට උදා කර දීමට වසර 74 ක් පුරාවටම ඔවුන් අසමත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ තම න්‍යාය පත්‍රවලට අනුව ක්‍රමන්ත්‍රණය කරමින් සමස්ත ජාතිය බෙදා වෙන් කරමින් තම බලය පවත්වා ගැනීම මිස සියලු දෙනාම එකතු වී යම් යම් කැප කිරීම් තුළින් පොදු එකඟතාවන්ට පැමිණ රට ජයග්‍රහණය කරවීම ඔවුන්ට අවශ්‍ය නොවීමයි. විටෙක ප්‍රතිපත්තිගරුක රටක් හදන බවටත්, තවත් විටක යහපාලනය ගෙන එන බවටත්, තවත් විටක ඉන්න හිතෙන රටක් හදන බවටත් පවසමින් රට දිනෙන් දින අගාධයට ගෙන ගොස් ඇත.

 රට දැන් ඇත්තේ අන්ත අසරණ අඩියකය. මෙය පසුගිය මාස කිහිපය පුරාවටම දැඩිව පෙනෙන්නට තිබුණි. නමුත් ආණ්ඩුව හෝ විපක්ෂයෙන් පවතින තත්ත්වය තුළ පොදු න්‍යාය පත්‍රයකට අනුගත වීමට හෝ සමගි ක්‍රියාදායමක් තුළින් රටත්, ජනතාවත් ගොඩගැනීමට අවංක උත්සාහයක් දරනු දක්නට නොලැබිණි. ආණ්ඩුව තමන්ගේ බලපුළුවන්කාරකමත්, තමාට ඇති මහජන බලයත් පිළිබඳ පුරසාරම් දොඩවමින් රටේ ආර්ථික තත්ත්වය ජනතාවට සඟවමින් උද්දච්ඡ මානසිකත්වයකින් කටයුතු කරනු දක්නට ලැබිණි. කිසිදු ආකාරයක කැප කිරීමක් කිරීමට හෝ අඩියක් පස්සට තබා රට වෙනුවෙන් සියලු දෙනා සමඟ එකතුව වැඩපිළිවෙළක් සකස් කිරීමට උත්සාහ නොදරයි. ක්‍රමන්ත්‍රණකරුවන්ගේ අවශ්‍යතාව මත රට අගාධයට යන තෙක් කිසිදු කැප කිරීමක් නොකෙරිණි. විපක්ෂයද රටේ ජනතාව වෙනුවෙන් රට සමගි කරවීමේ හෝ පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ වැඩපිළිවෙළක නිරත නොවුණි. ඒ වෙනුවට ජනතාව මත පැටවී ඇති අර්බුදය තුළින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පමණක් අරමුණු කරගෙන තිබුණි. රට වෙනුවෙන් අභියෝග භාරගෙන කැප කිරීම් තුළින් ජාතික සමගියත්, පොදු වැඩපිළිවෙළකට යොමු වීමත් හිතාමතාම පැහැරහරිනු දක්නට ලැබුණි. කිසිදු පාර්ශ්වයක් අර්බුදයෙන් ගොඩ ඒමට නායකත්වය දීමට සූදානම් බවක් නොපෙනේ. දේශපාලනය කිරීමට පවා රටක් තිබිය යුතු බව තේරුම් නොගත්තාක් මෙන් සියලු දෙනා කටයුතු කරනු දක්නට ලැබිණි.

 ගෝල්ෆේස් අරගලය ආරම්භ වී මසකට අධික කාලයක් ගතව ඇත. එම අරගලය සමස්ත රටේ ජනතාවගේ තිබෙන ගැටලුව පෙන්වන්නක් බව තේරුම් ගත යුතුය. අරගලය ආරම්භයේ සිටම මෙම අරගලය ජය ගත යුතු බවත්, අරගලයේ නායකත්වය ජාතික වැඩපිළිවෙළක් විය යුතු බවත්, එය නිවැරදි දිශානතියට යොමු කරගත යුතු බවත් අප තරයේ විශ්වාස කළෙමු. එමෙන්ම මෙම අර්බුදයට විසඳුම පාර්ලිමේන්තුව එක් වී ලබා දිය යුතු බවත් දිගින් දිගටම අවධාරණය කළෙමු. නමුත් ජාතික සමගියට හා පොදු වැඩපිළිවෙළකට අකැමැති කුමන්ත්‍රණකරුවන් එය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටියි. කිසිදු පාර්ශ්වයක් කැප කිරීම් සිදු කොට අඩියක් පස්සට තැබීමට සූදානම් නැති බවක් පෙනෙන්නට ඇත. එය ජාතික සමගිය නැති කිරීමට මෙන්ම රටේ අනාගතයට තර්ජනයක්ව ඇත. පාර්ලිමේන්තුව පසුගිය මාසය පුරාවටම ජාතික සමගියක් ඇති කිරීම හා පොදු ප්‍රතිපත්තියක් හරහා මෙම අර්බුදය විසඳීමට වැඩපිළිවෙළක් යෝජනා නොකිරීම තුළ මුළු රටම දින කිහිපයකට ගිනිගෙන ඇවිලෙනු දක්නට ලැබුණි. එය සමස්ත පාර්ලිමේන්තුවේ වගකීම් විරහිතභාවය නිසා ඇති වූ තත්ත්වයක් බව පිළිගත යුතුය. එබැවින් පාර්ලිමේන්තුව තවදුරටත් ප්‍රශ්නය කල්මරමින් ඉන්නවාට වඩා සමගිව පොදු වැඩපිළිවෙළක් තුළින් රට ජයග්‍රහණය කරා ගෙන යා යුතුව ඇත. එසේ නොවුණහොත් මහජන නියෝජිතයන් ඉතිහාසයේ කුණු බක්කියට විසි වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 සෑම විටම, සෑම තැනකම පෞද්ගලික න්‍යාය පත්‍රය මත සමගිය බිඳහෙළන කුමන්ත්‍රණකරුවන් සිටින බව නොරහසකි. එම කුමන්ත්‍රණකරුවන් පරදවා සමගිය පවත්වා ගැනීමට නම් කැපකිරීම් කළ යුතුමය. එම කැපකිරීම් තුළින් රැකගන්නා සමගිය අප ජයග්‍රහණය කරා ගෙනයනු ඇත. කැප කිරීම් කළවුන් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අතර කුමන්ත්‍රණකරුවන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනු ඇත. බෙදී වෙන්වෙමුද, එක්ව නැගිටිමුද යන්න තීරණය කළ යුතු කාලය එළඹ ඇත.

 කැපකිරීම් තුළින් කුමන්ත්‍රණකරුවන් පරදවා සමගිව ජය ගමු.

 එකමුතුකම අපේ ශක්තියයි.

කැපකිරීම් තුළින් කුමන්ත්‍රණ පරදවා සමගිව ජයගමු - ● පෙරඹර



 වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment