කැපුණොත්, කැඩුනොත්, කෙටුනොත් බෙහෙත්

586

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් විසින් එක්රැස්කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

පූජ්‍ය ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජ භූමියකොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

ආනන්ද මෛත‍්‍රය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් මෙම සතියේ අපේ අවධානයට ලක්වන්නේ කැපුනාට යොදා ගන්නා බෙහෙත් වට්ටෝරුය.

1. කැපුනාට බෙහෙත්

ගුරුල ගසේ කුඩු, එම මද, හෙළලූනු, සිද්දිඟුරු දිය නුමුසුව අඹරා බඳින්න.

කොහොඹ කොළ කබලක ලා උණුකර බඳින්න.

2. ලේ නැවැත්වීමට

balangoda2මකුළුවැන්න, උඳුපියලි, සැබෝ, බැලිල මේ පත‍්‍ර කොටා බඳින්න. ලේ ගැලීම නවතී.

නුපුන් මී දණ්ඩ පෙරංගාගෙන සැබෝ මුල් හා වතුර වත්කොට අඹරා එළඟිතෙලින් අනා වණයේ ගාන්න. ලේ නවතී.

හරක් ඇට, හරක් මස්, අං හෝ කුර මේවා දවා සුනුකොට තලතෙල් වත්කර අනා ගාන්න.

දිය බෙරලිය කොළ, බැලතණ පොඩිකර ඔතන්න. ලේ නවතී. බෝදලූ අඹරා ගිතෙල් අනා තබන්න. ලේ නවතී.

3. කැපුනාට තැවීමක්

එළ එඬරු, නික හෝ තල මෙකී කොළ සමසේ ගෙනකොටා පොට්නි බැඳ පොල් තෙල් ගා තවන්න.

4. පැළුණු වණයට

බෝ කොළ දවා අළුගෙන පොල්තෙල් එක්ව පැළුණු වණයේ අලවන්න. සුව වේ.

5. කැපුණාට මැල්ලූම්

කුඩුමිරිස කොළ, පොතු, රත්මල් කැකුළු, රත්මල් පොතු, ගොඩ මානෙල් කොළ, පොතු, මේ හැම සමසේ ගෙන කොටා තල තෙලින් මලවා වනේ විතරට බැමි ගසා බඳින්න. තුන් දවසින් කැපුණු වණ සුව වේ. කැපුණු විගස රතුලූනු , හුණ ලී කුඩු හා සමසේ පොඩිකර තල තෙල මලවා බඳින්න. වහා සුව වේ.

සැබෝපත්, අරළු මදත් සමඟ කසා, ලූණු දමා කොටා මලවා බදින්න. තුන් දිනෙන් සුව වේ.

අමු ඉඟුරු, එරබදු පොතු, මළබුලත්, කඩුපහර, රතුලූනු සියල්ල පොඩිකර තල තෙලින් මලවා බඳිනු. වෙන්ව කැපුනත් සුව වේ.

අරළු, සැබෝපත්, කරඳ දලූ, කසා සහ ලූණු දමා කොටා මලවා ලේ අටයේ බැඳ තුන් දිනෙන් හෝ සතියකින් ගලවා නැවත බඳින්න.

සකුරුවිල්ල කොළ සහ සහ ලූණු දමා කොටා මලවා ඔතන්න. ගුණ වේ.

සියඹලා දලූ, ගැටතුඹ දලූ කහ, ලූණු යොදා කොටා මලවා බඳිනු ගුණ වේ.

6. කැඩුණාට

දී කිරි පොට්ටනියක් බැඳ උණු පැනෙහි ලා සුනුත් වියළි කසාත් අඹරා ගාන්න.

7. ඇනුම් කෙටුම් ආදියට

රතුලූනු, දෙමට මුලේ පොතු, අමුඉඟුරු මෙකී බෙහෙත් කොටා ඉන් බේත් සුඟක් තල තෙලින් මලවා වණ මූණතට තබා ඉතිරි බෙහෙත් මලවා බඳිනු. ඇනුම් කෙටුම් උල්පාන් ආදියට යහපති.

තිත්ත ලබු කොළ කුඩුකර කරඬුවක ලා ඇනුම් කෙටුමෙන් බඩවැල් ඉවතට ආ විට එම බේත් ගා තබන්න. බඩවැල් ඇතුළු වේ. තුවාලයට බළුදං කොළ කොටා තල තෙලින් මලවා බඳින්න.

8 කටු උල් ඇනුනාට

සියඹලා, කුඩුමිරිස, කරඳ, වරකා මෙකී ගස්වල පොතු ගෙන පිට කුඩු ගා කපා වේළා කොටා කුඩු කරගෙන තල තෙලින් පැසවාගෙන කටු ඇනුණ තැන තබන්න. මස් ලියලා සුව වේ.

සංස්කරණය – හර්ෂණ අමරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment