කැබ් රථයක් පදවාගෙන උතුරුකරයේ රාජකාරියට ගිය දිසාපති හාමුදුරුවෝ

1489

රාජ්‍ය සේවයට එක්වූ මුල්ම බෞද්ධ භික්ෂුව…
කිලිනොච්චි ගෙදරටම ගිහින් ප්‍රභාකරන්ටත් පිරිත් නූල් බැඳලා…
|ලොකු සටනක් කර රියදුරු බලපත්‍රයකුත් අරන්…
පරිපාලන විභාගය ලියන්න ආණ්ඩුවට නඩුවකුත් දමලා…

සැබැවින්ම මෙය කදිම කතාන්දරයකි. මෙතුවක් කලකට ඔබත් මමත් නොඇසූ කතාවකි. කිසි දින නැවත අහන්නට ද නොලැබෙන කතාන්දරයකි. පූජ්‍ය වරාපිටියේ රාහුල හාමුදුරුවන් වහන්සේගේ මේ අමුතු කතාව මෙසේ ඔබ හමුවේ තබන්නට මම කල්පනා කළේ ඒ නිසාය.

වරාපිටිය වූ කලී දක්ෂිණ ලංකාවේ මුල්කිරිගල ආසනයේ කටුවන – වලස්මුල්ල ආසන්නයේ පිහිටි සශ්‍රික සුන්දර ගම්මානයකි. එක් පැත්තකින් වරාපිටිය ඉපැරණි වැව. අනික් පැත්තෙන් සිත්තම්ගල්ලෙන රජමහා විහාරය. එවන් දසුන් පෙනෙන මානයේ පිහිටි ‘කෙසෙල්ගස්වත්ත නාවලවත්ත නම් නිවසේ ජීවත් වුණේ දූ දරුවන් 13 දෙනෙකුගෙන් යුතු ලොකු පවුලක්. ගමේ කොයි කාටත් උදව් පදව් කරගෙන ජීවත් වූ වෘත්තියෙන් වඩු මහත්මයකු වූ ඩී. ඒ. විජේනායක මහතාට දාව කංකානම්ලාගේ හින්නිහාමි උපාසිකා මාතාවට උපන් 6 වැනි දරුවා ලෙස මෙලොව එළිය දුටු රත්නසිරි විජේනායක පුංචි කාලේ ඉඳලම ගිහි දිවියට වඩා මහණකමට කැමැත්තක් දැක්වූවා.

උන්වහන්සේ මහණ වුණේ 1965 පෙබරවාරි 17 වෙනිදා බෙරලපනාතර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ. වරාපිටියේ රාහුල නමින් පැවිදි දිවියට එක්වුණු උන්වහන්සේගේ මුල්ම ගුරු හිමි නම වුණේ දෙල්ලව පියරතන ලොකුහාමුදුරුවන් වහන්සේ. ඉන්පස්සෙ එහි වැඩි කලක් නො රැඳී උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය කරන්න හිතාගෙන තමයි මඩිහේ පඤ්ඤාසීහ ගුරු නායක හාමුදුරුවන්ගේ සෙවණ යට වූ මහරගම ශ්‍රී වජිරඥානයට බැඳෙන්නෙ. ඉන් පස්සේ ඉතින් උන්වහන්සේගේ තරුණ භික්ෂු ජීවිතය හා වෘත්තීය ජීවිතය අද දක්වාම ගෙවෙන්නේ අභියෝග විප්ලව මැද ම තමයි.

“මම මේ දිග කතාව කෙටියෙන් කියන්නම්. මම දකුණේ සිද්ධ වුණු තරුණ විප්ලව දෙකකට හා උතුරේ යුද්ධයට මැදිවුණු කෙනෙක්. 1971 තරුණ කැරැල්ල කාලේ මම බොහොම අමාරුවෙන් ඉන් ගැලවිලා දියතලාව සුධර්මාලංකාර උපාධි පිරිවෙනේ ප්‍රාචීන හා මධ්‍යම දක්වා භික්ෂු අධ්‍යාපනය ලැබුවා. අනිත් පැත්තෙන් උසස් පෙළ සමත් වුණා.

ඉන් අනතුරුව 1971ට පසු ගංගොඩවිල සුභද්‍රාරාම උපාධි මහා පිරිවෙනට ඇතුළත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලබාගත්තා. අන්න ඊට පස්සේ තමයි මටත් රැකියාවක අවශ්‍යතාවය ඇති වෙන්නේ. හැබැයි ඔය වෙනවිට ගුරු වෘත්තිය හැරුණු විට භික්ෂුවකට කොහෙවත් රජයේ රැකියාවකට යන්න ඉඩක් නෑ. අධ්‍යාපනය ලබන්න පුළුවන්. හැබැයි රස්සාවල් නෑ. මම ඒ වගේ ආච්චින්න කල්පිත සාම්ප්‍රදායික ආකල්ප විකල්ප ගරු කළේ නෑ. කොහොම හරි සමාජයට සේවයක් කරන්න රැකියාවක් කරන්න ඕන කියලා මං කල්පනා කළා. ඔහොම වෙලාවක තමයි මට සමාජ සේවා විද්‍යාලය ගැන ආරංචි වුණේ.”

කොළඹ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි සමාජ සේවා විද්‍යාලය බි්‍රතාන්‍ය පාලන සමයේ දී ආරම්භ වී මිෂනාරි අධ්‍යාපනය යටතේ ක්‍රිස්තියානි පාලක මණ්ඩලයකින් පාලනය වූවක්. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් වූ පසුව මෙය රජයට පවරා ගත්තද පාලනාධිකාරිය දිගින් දිගටම මෙහෙයවනු ලැබුවේ ක්‍රිස්තියානි පල්ලිය. එහි ගුරුවර ගුරුවරියෝත් කතෝලික පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියෝ.

“මම ඔය ගැන සැලකිලිමත් වුණේ නෑ. මට උවමනා වුණේ සමාජ සේවාව ඉගෙන ගන්න. රජයේ ගැසට් පත්‍රයකින් එතැනට අයදුම්පත් කැඳෙව්වා. මට සුදුසුකම් තිබුණ නිසා මම අයැදුම්පතක් දැම්මා. මූලික පරීක්ෂණවලින් මම සමත් වුණත් මාව අභ්‍යාසලාභී විධියට බඳවගන්න එහි කතෝලික ගුරුවර ගුරුවරියන් කැමති වුණේ නෑ. අවසානයේ එතන පාලන අධ්‍යක්ෂවරයා ලෙස රජයෙන් පත් කර සිටි ආචාර්ය ඩඩ්ලි දිසානායක මහතාගේ කාරුණික මැදිහත්වීම මත මාව බඳවා ගන්න ඔවුන්ට සිදු වුණා. එතුමා ඉතා හොඳ මහත්මයෙක් සිංහල බෞද්ධයෙක්.

ඉන්පස්සෙ මට එතන ඉගෙන ගන්න එක හිතන තරම් ලේසි වුණේ නෑ. එකින් එක විස්තර කරන්න ගියොත් පොතක් ලියන්න වෙයි මහත්තයාට.

කැබ් රථයක් පදවාගෙන උතුරුකරයේ රාජකාරියට ගිය දිසාපති හාමුදුරුවෝ

සමාජසේවා විද්‍යාලයෙන් ලැබූ පුහුණුවත් ඉන් ලබාගත් ඩිප්ලෝමා සහතිකයත් උපාධිය ඇතුළු අනෙකුත් අධ්‍යාපන සහතිකත් නිසා රජයේ රැකියාවක් කිරීමේ මූලික සුදුසුකම් සියල්ල අපේ වරාපිටියේ රාහුල හිමි සම්පූර්ණ කර තිබුණා. මේ නිසාම තමයි උන්වහන්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සමාජසේවා නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් මගින් පළ කර තිබූ දැන්වීමට අයදුම් කරන්නෙ. සුදුසුකම් සපුරා ඇති බැවින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබුණත් භික්ෂුවක් වූ බැවින් තනතුර සඳහා බඳවා ගන්නට හැකියාවක් අමාත්‍යාංශයට තිබී නෑ. ඒ සඳහා පූර්වාදර්ශයක් තිබිලත් නෑ. බඳවා ගැනීම් නිලධාරීන් මහත් උභතෝකෝටිකයකින් යුතුව මෙය කාරුණිකව රාහුල හාමුදුරුවන් වෙත දන්වා සිටියා.

“හාමුදුරුවනේ… බුද්ධ චීවරය හැරදමා පත්වීම භාර ගැනීමට එකඟ වන්න. නොඑසේ නම් පත් වීම ප්‍රතික්ෂේප කරන්න. තීරණය කිරීම ඔබ වහන්සේට භාරයි.”

සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබුණු මේ තීන්දුව රාහුල හාමුදුරුවන්ගේ දැඩි පිළිකුලට ලක් වුණා. මහත් කැපවීමෙන් හා අදිටනින් පුරන ලද මහණදම් හා ලබාගත් ජයග්‍රහණ කිසිවක් හැරදමා උපැවිදි වන්නට උන්වහන්සේ කල්පනා කළේ නෑ. භික්ෂුවකට වුණත් මානව හිමිකම් නැතිද…? උන්වහන්සේ රජය සමඟ සටන් වදින්නට අවි අතට ගත්තා.

අවසානයේ මෙම සටන සමථයකට පත් වුණේ 1989 වර්ෂයේදී එවකට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස හිටි රංජිත් අතපත්තු මහතා මැදිහත්වී රාජ්‍ය සේවය වෙත පැමිණි උභතෝකෝටික ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ලබා දීමෙන්.

අවසානයේ දී 1989 වසරේ දී රත්නපුර කච්චේරියේ සමාජ සේවා නිලධාරි තනතුරේ වැඩ භාරගන්නා රාහුල හිමියන්ට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ලැබුණා.

ඒ අනුව තමයි භික්ෂූන් වහන්සේ නමක් ලංකාවේ මුල්වරට සිවිල් රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස පත්වීමක් ලබන්නේ. එහෙත් එය උන්වහන්සේට අභියෝගවල ආරම්භය පමණක්ම වුණා.

“1989 මම රත්නපුර කච්චේරියට යනකොට දිසාපතිව හිටියේ එච්. ඒ. ආර්. හතුරුසිංහ කියලා කරුණාවන්ත මහත්තයෙක්. එතුමා ඇතුළු සමහර නිලධාරීන් මාව ඉතා සුහදව භාරගත්තා. තවත් සමහරු මූණ බැලුවෙවත් කතා කළේවත් නෑ. අභියෝග මැද මම වැඩ ආරම්භ කළා. ඔය කාලෙ තමයි ජවිපෙ දෙවෙනි කැරැල්ලේ ගිනිදැල් රට පුරා බුර බුරා නගින්නට වුණේ.

“මේ මිනිස්සු හරිම අසරණයි. සමහර අය රුපියල් 40ක පිං පඩිය අරගන්න සැතපුම් ගණන් දුර ගෙවා ගෙන පයින් ආවා. දවසක් හරි අපූරු වැඩක් වුණා.

එක වයසක ගැමි උන්දැ කෙනෙක් මාව හම්බ වෙලා පින් පඩියක් හදාගන්න ආවා. අයදුම්පතට අමුණලා රුපියල් සීයක් මට දුන්නා. මම ඇහුවා මේ මොකද කියලා. උත්තරේට මට පුදුම හිතුනා. රුපියල් 40ක පිං පඩිය හදා ගන්න අහිංසක මිනිස්සු නිලධාරීන්ට රුපියල් 100 ක පගාවක් ගෙවන්න ඕන.

ඕක අන්න අර මහත්තයට ගිහින් දෙන්න කියලා මම එයාව උප දිසාපතිතුමා ළඟට යැව්වා. උප දිසාපතිතුමා ඒ කතාව අහලා ඔළුවෙ අත ගහගත්තා. ඔන්න ඔහොමයි මේවයි වැඩ කෙරුණේ…”

කැබ් රථයක් පදවාගෙන උතුරුකරයේ රාජකාරියට ගිය දිසාපති හාමුදුරුවෝ
පූජ්‍ය වරාපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ

“ඔය කාලේ මිනිස්සු මට කිව්වේ “දිසාපති හාමුදුරුවෝ” කියලා. මම කිව්වා මම හාමුදුරුවෝ තමයි. දිසාපති නෙවෙයි. දිසාපතිතුමා ඉන්නේ අන්නර කාමරය ඇතුලෙ කියලා මම පෙන්නුවා. ඒත් මිනිස්සු දිගින් දිගටම දිසාපති හාමුදුරුවෝ කියලා මාව අමතන්න ගත්තා. මිනිස්සු ඒ තරමටම මට සමීප වුණා.”

කෙසේ හෝ රාහුල හිමියන්ට වැඩි කලක් සබරගමුවේ සේවය කරන්නට ඉඩ ලැබුණේ නැහැ. උන්වහන්සේට කඩුවෙල උප දිසාපති කාර්යාලයට මාරු වීමක් ලැබිණි.

මගේ මිත්‍රයෙකු වන බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර මහත්තයා මට තවත් ලොකු වගකීමක් පැවරුවා. එතුමා මාව එතුමා එවකට සිටි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ව්‍යාපෘති අධීක්ෂක තනතුරට පත් කළා. එතුමා ඒ වන විට ජවිපෙ ත්‍රස්තවාදයට අහුවුණු ගම්වල අහිංසක තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළානේ. එතනත් මං බොහොම සතුටින් වැඩ කළා…”

“අපිට තියන ඉඩ කඩ බොහොම සීමිතයි හාමුදුරුවනේ. කියන්නකො ඔබවහන්සේ වාහනයක් හිමි රියදුරෙක් උනේ කොහොමද කියලා…”

“පුනරුත්ථාපන ජනරාල් කාර්යාලයේ වැඩ ඉක්මනින් අවසන් වුණා. ඊට පස්සේ මං ආයෙත් කඩුවෙලට ගියා. ඔය කාලේ රාජකාරිමය වැඩවලට මට පිටට යෑම සඳහා ලබාදුන් කාර්යාලීය වාහනය නිසි පරිදි ලබා දෙන්න එවකට සිටි ආයතන ප්‍රධානියා අදිමදි කළා. ඒ වාහනේ බිරිඳගේ වැඩවලට ළමයින්ගෙ පාසල් වැඩවලට යොදා ගන්නා අයුරු මම දුටුවා. යම් නිශ්චිත හේතුවක් නිසා අදාළ බලධාරියා ඒ වෙන විට මා සම්බන්ධ යම්කිසි ගැටුමකයි හිටිය. මම වරාය වෙන්දේසියකින් පරණ කැබ් රථයක් අරගෙන ඒක පුද්ගලික වියදමින් අලුත්වැඩියා කරලා හදා ගත්තා. ඒක තමයි මගේ ළඟ අදටත් තියෙන කැබ් රථය. මම ඒක පදවගෙන රට වටේම ගිහිල්ලා තියෙනවා. වැඩිපුරම සේවය කළේ උතුරු පළාතේ. උතුරට යන්න කලින් කඩුවෙල, “එතකොට ඔබ වහන්සේ පරිපාලන සේවා විභාගයට ලිව්වෙ..?”

අවුරුදු ගාණක් මෙහෙම වැඩ කරද්දි මට හිතුනා මගේ තියෙන සුදුසුකම්වලට අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයට ලියන්න. මම පළමු පන්තියේ සමාජ සේවා නිලධාරියෙකුට හිමි සුදුසුකම් මත ගැසට් නිවේදනයේ පළමු සිවිල් පරිපාලන සේවා විභාගයට අයදුම්පතක් ඉදිරිපත් කළා. මොකද ඒක මගේ අයිතියක්. ලංකාවේ තිබෙන විභාගවලට අයදුම් කරන්න භික්ෂූන් වහන්සේලාට බෑ කියලා කොන්දේසියක්වත් නීතියක්වත් කොහෙවත් නෑ. අයදුම්පත් දැම්ම විතරක් නෙවෙයි මම ඒ විභාගයට පෙනී සිටීම සඳහා මුදල් වියදම් කරල ඉගෙන ගත්තා. මට අවශ්‍ය වුණේ කොහොම හරි ඉගෙන ගෙන විභාගය ලියලා ලංකාවේ ප්‍රථම පරිපාලන නිලධාරියා වූ භික්ෂුව වෙන්න. ඒත් යල් පැනපු හණමිටි අදහස්වල එල්බ ගෙන වැඩ කරන සාම්ප්‍රදායිකව හිතන ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම මත මගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරන්න තීරණය කරලා තිබුණා.

මේ ගැන විරෝධය පළ කළ මම නඩු මගට බහින්නට කල්පනා කළා. ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයින්ගේ අවධානය හා ආගමික නායකයින්ගේ අවධානය මේ සඳහා යොමු කර සිටියා. අන්තිමේ හිතා ගත නොහැකි ආකාරයට විභාගයට පෙර දිනයේ මා සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක් ලැබුණා.

ඒ අනුව සූදානම් වෙලා මම විභාගයට පෙනී සිටින ශාලාවට ගියා. ඒත් එතන හිටපු ස්ථානාධිපතිවරයා මට විභාග ශාලාවේ වාඩි වී විභාගයට ලියන්න අවසර දුන්නේ නෑ. විභාග කොමසාරිස්වරයා මගේ විභාග ප්‍රවේශ පත්‍රය අත්හිටුවා ඇති බව දැනුම් දුන්නා කියලා ඔහු ඉතා අකාරුණිකව කියා සිටියා.

විභාග අයදුම් පතක් අතැතිව විභාග ශාලාවට ගිය මට විභාගය ලියන්නට අවසර නොදීම සම්බන්ධයෙන් ඊළඟට මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ආචාර්ය රන්ජිත් අමරසිංහ, ඒ. එස්. විජේතුංග, ආචාර්ය ශිරානි බණ්ඩාරනායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනුණා. 1999 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවය සේවයට නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයට භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් විය නොහැකි යයි ගැසට් පත්‍රයේ කිසිදු තැනක සඳහනක් නොවීම හා රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලද නිලධාරීන්ට එම විභාගයට පෙනී සිටීමට අවකාශ ඇත යන කාරණා දෙක මත පිහිටා එම උගත් විනිසුරු මඩුල්ල මගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දුන්නා. එහිදී මා ඉල්ලා සිටි වන්දි මුදල වූ රුපියල් කෝටි දෙක ලබා දීමට රජය අපොහොසත් බැවින් නඩු ගාස්තු ලෙස රුපියල් 250,000 මුදලක් මා වෙත ගෙවන්න නියම වුණා. ඒක ඓතිහාසික නඩු තීන්දුවක්. ඔබතුමන්ලාගේ පුවත්පත් මේ තීන්දුව ගැන වාර්තා පළ කරලා තිබුණා.”

“එතකොට ඔබවහන්සේ උතුරු පළාතේ සමාජ සේවයට යොමු වන්නේ දකුණ ගැන කලකිරිලද…?

මට වුවමනා වුණේ මං මොකක් හරි ජනතා සේවයක් කරන්න. දකුණේදී මම හුඟක් උත්සාහ කළා. නිලධාරීන් බොහෝ දෙනෙක් නිතරම මට බාධා කළා. ඇත්තටම මට හිතුනා මේ සමාජයෙන් මිදිලා කොහේ හරි ඈතකට යන්න. දුක් විඳින ජනතාවගේ සමාජ සේවය පිරිස යමක් කරන්නයි මට ඕන උනේ.

කැබ් රථයක් පදවාගෙන උතුරුකරයේ රාජකාරියට ගිය දිසාපති හාමුදුරුවෝ

ඒ සඳහා ඉල්ලීමක් අපේ අමාත්‍යාංශය හරහා කළත් ඉඩක් නොලැබුණු නිසා මම ගියා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවන්න. මම මගේ අවශ්‍යතාවය පෙන්නලා දුන්නම එතුමා සතුටු වෙලා… ‘බොහොම හොඳයි. ඔබ වහන්සේ වගේ අය තමයි උතුරට ඕන කියලා මාව යොමු කළා උතුරු නැගෙනහිර ආණ්ඩුකාරයාට හා වව්නියාව දිසාපති චාල්ස් නෝනා ළඟට. මම උතුරට ගියේ එහෙමයි.”

“එතකොට ප්‍රභාකරන් හමුවුණේ…?”

“ඇත්තටම ඒක දෛවෝපගත සිද්ධියක්… උතුරට ගිය මට වැඩ කරන්න සිද්ධ වුණේ වව්නියාව දිසාපති කාර්යාලයේ. එතැන ඉඳන් අපි වවුනියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවල සමාජ සේවා කටයුතු නිරීක්ෂණය කළා. වවුනියාව දිසාපතිනි චාල්ස් මහත්මිය ඉතා හොඳ පරිපාලන නිලධාරිනියක්. දෙමළ භාෂාව ඉගෙන ගන්න මට ටික කලක් ගියා. එහිදී හැමෝම මාව හැඳින්නුවේ උතුරේ මහජන සේවයට තම කැමැත්තෙන් පැමිණි එකම සිංහල නිලධාරියා කියලා. ඒක මට ලොකු ගෞරවයක් වුණා.

ඊළඟට මාව යොමු කළා වෙංගල සෙට්ටිකුලමේ උප දිසාපති කාර්යාලය මගින් මැණික්ෆාම් සහන ගම්මානයේ කච්චේරි ශාඛාවට.

ටික වෙලාවකින් අපි හිටපු තැනට ප්‍රභාකරන් ආවා. එයා මං දිහා ඔරවල බලලා එක පාරටම ඇහුවා ‘උඹ කවුද..?’ කියලා… මගේ අනිත් හාමුදුරුවෝ මං වෙනුවට උත්තර දුන්නා. ඔබතුමාට පිරිත් නූලක් බඳින්නයි ආවේ කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. මොන හේතුවක් නිසාද දන්නෑ… ප්‍රභාකරන් නූල්වලට හරි කැමතියි. අපි දෙන්නා නූලකුත් බැන්දා.”

“ඔබ වහන්සේ රියදුරු බලපත්‍රය ගත්තෙ…?“

“කොළඹ පළාතේ වැඩ කරද්දී මාත් එක්ක නිතරම රියැදුරෙක් හිටියා. නමුත් උතුරට යද්දී මට රියදුරෙක් නැති වුණා. වන්නි ආඥාපති කමල් ගුණරත්න මහතාට වත් දිසාපති චාල්ස් නෝනටවත් මට රියදුරෙක් ලබා දෙන්න බැරි වුණේ ඔවුන්ට ආරක්ෂාවක් සපයන්න බැරි නිසා.

“ඒ ගැන කතා කරද්දි එක පාරටම චාල්ස් නෝනා මගෙන් ඇහුවා… ඇයි ඔබ වහන්සේට පුළුවන්නේ එළවන්න කියලා.

“මම කිව්වා මට එළවන්න නම් පුළුවන්… ඒත් රියදුරු බලපත්‍රයක් ගන්න එක තමයි ප්‍රශ්නේ කියලා.”

“සුළු දෙයක්නේ. ඒක මං කරලා දෙන්නං කියල චාල්ස් නෝන මට රියදුරු බලපත්‍රයට අවශ්‍ය ඔක්කොම හදලා දීලා බලපත්‍රයක් අරන් දුන්නා. මම එදා ඉඳලා උතුරු පළාතේ හැමතැනම වාහනය එළවගෙන ගියා කිසිම ප්‍රශ්නයක් නැතුව. මං හිතන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රයක් තියෙන එකම භික්ෂුව අදටත් මම.

උන්වහන්සේ එහෙම කියමින් සිනාසෙයි. සිනාසෙමින් මගේ මුහුණ බලා එක්තරා සංඥාවක් කළා… දැන් ඇති… මට දැන් වෙහෙසයි කියන පණිවිඩය ඒ මුහුණේ ඇඳී ගිය අහිංසක සිනහව ඔස්සේ චිත්‍රණය වෙලා තිබුණා…

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment