කැබිතිගොල්ලෑව සහ තංගල්ල

996

(මනුස්සකම් සහ අමනුස්සකම් ගැන අගනා කතන්දර කිහිපයක්)

අද අපේ කතුවැකියට පාදක වන්නේ බිලි දෙකක් බවට පත්වූ පොලිස් සරයන්වරු දෙදෙනකු පිළිබඳ කතාවකි. පළමුවන සරයන් කැබිතිගොල්ලෑවේදී කලහකාරී පිරිසකට බිලිවී මළේය. දෙවැනි සරයන් තංගල්ලේ පොලිසියේ ඕ.අයි.සී. ට බිලිවී මාරුවක් ලැබීය. පළමුවන සරයන් මියයන්නේ කැබිතිගොල්ලෑවේ වල් අලි ප්‍රහාරයකට ලක්වී ගම්වැසියකු මියයෑමත් සමගමය. එම මරණයෙන් පසු පොලිසිය කැබිතිගොල්ලෑවට ගියේය. ගමේ මිනිස්සු පොලිසිය වටකරගෙන එකසිය ගාණට නෙළන්නට පටන් ගත්හ. මේ අතර චීවරධාරියෙක් ද එතනට පැමිණ සරයන්ට පහරදීම අනුමත කරන්නට පටන් ගත්තේය. අපි මෙතැනදී චීවරධාරියා වෙනුවෙන් වැඩම කළේය යන වචනය නොයොදා පැමිණියේය යන වචනය යොදන ලද්දේ චීවරයක් පටලවාගත් පමණින් කෙනකුට බෞද්ධ භික්ෂුවක් වීමට නොහැකි බැවිනි. තිළිණි ප්‍රියමාලිගේ අති මහත් වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වෙලාවේදී චීවරධාරියෙක් අත්අඩංගුවට පත්ව සිටී. එසේම නාගරික මන්ත්‍රීවරියක සමග බිස්නස් එකක් කළ භික්ෂුවක ගැන ද දැනගන්නට තිබේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ තැනැත්තා භික්ෂුවක ලෙස හැඳින්වීමට අපේ දිව නැමෙන්නේ නැත. අප ඔහු හඳුන්වන්නේ චීවරධාරියකු ලෙසිනි. කෙසේ හෝ වේවා කැබිතිගොල්ලෑවේ සරයන් වන 54 හැවිරිදි ඒ.පී. සුනිල් ඝාතනය වීම ඉතාම අවාසනාවන්ත සිද්ධියකි. තංගල්ලේ ඕ.අයි.සී ට බිලි වූ සරයන් පිළිබඳ කථාව මෙසේය. එම සරයන් පසුගිය දවසක හොර අරක්කු වැටලීමක් සිදු කළේය. මේ වැටලීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ ඕ.අයි.සී. හොඳටම කේන්තිගත් බව දැනගන්නට තිබේ. මේ ඕ.අයි.සී. තමන්ට දේශපාලන හයිය ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයාගේ නම් සඳහන් කරමින් සරයන්ට බණින හැටි දැක්වෙන දුරකථන හඬ පටයක් තිබේ. මේ අතර නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාරගේ අත්සනින් යුතු ලිපියක් මගින් හොර අරක්කු ඇල්ලූ සරයන් මොනරාගලට මාරුකර ඇත. මේ අනුව ඉදිරියේදී මේ රටේ කසිප්පු වැටලීම් දුර්වල වීමට ඉඩ තිබේ. කසිප්පුකාරයා අල්ලන්නේ නැතුව ඔහුගෙන් ජරාවක් කා කසිප්පු නොදැක්කා සේ සිට රස්සාව බේරා ගැනීමට පොලිසිවල පහළ තනතුරු දරන අසරණයෝ කැමැත්තාහ. ඉහත සඳහන් කාරණය සම්බන්ධයෙන් පොලිස් ඇමැති වහා මැදිහත්වී සාධාරණයක් ඉෂ්ට කළ යුතු බව අපගේ විශ්වාසය වේ. ඒ අතර තංගල්ල පොලිසියේ සිටි සරයන් ස්වකීය ඇඳුම් කැබලි කිහිපය පරණ ට්‍රන්ක පෙට්ටියක දමාගෙන මොනරාගල පොලිසියේ වැඩ භාරගැනීමට යෑම පිණිස බස් එකට නගිනවා ඇත.

කැබිතිගොල්ලෑවේ ජනතා විරෝධය ඉතාම සංවේදී සිද්ධියකි. සතියක පමණ කාලයක් තුළදී මේ ප්‍රදේශයේ වැසියන් සිව් දෙනෙක් වල් අලින් විසින් පහරදී මරාදමන ලදී. එවිට පවුල් හතරක් මහ මගට වීසි වෙයි. අලියාට පුරුද්දක් මිස විඤ්ඤාණයක් නැත. තිරිසන් අපායේ ඉපැදී සිටින වල් අලියා තම කෑම වේලට හෝ තම ගමන් මාර්ගයට බාධා කරන ඕනෑම කෙනෙක් මරා දැමීමට සූදානම් ය. වල් අලියා ගම් වදිනවා යනුවෙන් ගැමියෝ කියති. එහෙත් එවැනි දෙයක් සිදුවී නැත. වල් අලියා කලින් ජීවත් වූ වනාන්තර ප්‍රදේශ හෙළි පෙහෙළි කර පිටිසරබද ගොවි ජනතාව ඒවායේ හේන් කොටා ඇත. මෙවිට වල් අලින් ඇතුළු සෙසු තිරිසන් සතුන්ට ජීවත් වීමට ඇති පාරම්පරික වනාන්තර වාසභූමිවල ක්ෂේත්‍ර ඵලය අඩු වීමට පටන් ගනී. ක්‍රි.ව. 1800 දී මේ රටේ වන ගහනයේ ප්‍රමාණය රටේ භූමි ප්‍රමාණයෙන් 30% පමණ වූහයි කියනු ලැබේ. මේ වනාන්තර පිරෙන්නට වන සත්තු එකල සිටියහ. අද වනවිට මේ රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වනාන්තරවලට හිමිවන කොටස 30% ට අඩුය. එනම් එම භූමියෙන් 70% ක් පමණ මනුෂ්‍යයා විසින් ඩැහැගනු ලැබ ඇත. මේ අනුව වන සතුන්ට ජීවත්වීමට රට තුළ ඉඩක් නැත. වන සතුන්ට ජීවත්වීමට සිදුවන්නේ දෙහිවල සත්වෝද්‍යානය තුළ පමණි. ඇතැම් දේශපාලනඥයෝ මේ රටේ ආරක්ෂිත වන ගහන පවා විනාශ කර ජනවාර්ගික පදනමක් මත එම බිම් තම ආධාරකරුවන්ට ජනාවාස ඉදිකිරීම සඳහා ලබා දී ඇත. මේ මගින් නරක තත්ත්වයන් තුනක් හටගනී. පළමුවෙන්ම වනය විනාශ වේ. දෙවනුව වන සතුන්ගේ පාරම්පරික ජන්ම භූමිය විනාශ වේ. තෙවනුව මිනිස් ජීවිත ද විනාශ වේ. මේ විනාශයේ විභවය මේ මොහොතේදී අපි භුක්ති විඳිමින් සිටිමු. වනාන්තර කැපීම නිසා කඳුකරය නාය යමින් පවතී. අලි කොටි වලස් ඈ සියලු වන සත්තු වාසස්ථාන නැති හිඟන්නන් බවට පත්ව මහ පාරට වැටෙති. වනාන්තරය සහ ආහාර අහිමි වූ අලි ඇතුන් උඩවලවේ අලි වැට අසලට පැමිණ පාරේ යන එන මිනිසුන්ගෙන් කෑම හිඟා කන හැටි ඒ පළාතේ සිටින ඕනෑම කෙනකුට දැක බලා ගත හැකිය. දිගු කාලයක් වෙනත් අයගෙන් නොමිලේ කෑම ලබා ගැනීමට පුරුදු වීම නිසා කෑම හොයාගෙන කෑමේ පුරුද්ද මේ සතුන්ට අමතකව ගොස් තිබේ. යුද සමයේදී නැගෙනහිර පළාතේ වනාන්තරවල ජීවත් වූ අලි ඇත්තු ප්‍රභාකරන්ගේ තුවක්කු සහ බිම් බෝම්බවලට බියෙන් ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ පවතින වනාන්තර කොටස්වලට එකතු වන්නට පටන් ගත්හ. මේ නිසා තම හමුදා සෙබළුන්ට අමතරව අලි ඇතුන්ටත් කෑම සප්ලයි කිරීමට යුද හමුදාවට සිදුවිය. කැලෑ මණ්ඩිවල සිටින හමුදා සෙබළුන්ට කෑම ගෙනෙන හමුදා වාහනවල ඉදුණු කෙසෙල් කැන් කිහිපයක් ද ගෙනෙනු ලැබේ. ඒ කැලේ සිටින හමුදා සෙබළුන්ට දෙන බත් පාර්සලයත් සමග කෙසෙල් ගෙඩියක් ද ලබාදෙනු පිණිසය. එහෙත් මේ කැලෑ මණ්ඩිවල සිටි හමුදා සෙබළුන් සියලුම දෙනා තම කෙසෙල් ගෙඩිය වල් අලින්ට පරිත්‍යාග කිරීමට පුරුදුව සිටියහ. කෑම ගෙනෙන හමුදා වාහනයේ හඬ ඇහෙන විටම වල් අලි වන ගත හමුදා කෑම්ප් වෙත පැමිණියහ. එවිට එම වල් අලින්ට කෙසෙල් කැන් පිටින්ම බෙදාදෙන ලදි. මේවා අප විසින් අත්දකිනා ලද සත්‍යය මානුෂික කතන්දර වෙයි. එහෙත් කැබිතිගොල්ලෑවේ සරයන්ගේ මරණයට හේතුවුණු ජනතාවටත් කසිප්පු ඇල්ලූ සරයන් මොනරාගලට මාරු කළ තංගල්ලේ ඕ.අයි.සී.ටත් ඒ මනුස්සකම තිබී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment