කැබිනට් තීරණයට උඩින් ‘මුදලාලිලා’ උඳු වපුරලා

88

රටේ උඳු හිඟය වළක්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතියෙන් රාජ්‍ය ආයතනවලට උඳු ගෙන්වා අලෙවි කිරීමට අවසර දී තිබියදී වෙළෙඳ පොළේ (පිටකොටුව) විශාල උඳු තොග තිබෙන්නේ කෙසේදැයි සොයාබලන ලෙස රාජ්‍ය ආයතන විසින් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇත.

මෙතරම් උඳු තොග තිබෙන්නේ විවිධ ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් එම බහලුම් තුළ සඟවා (බදු නොගෙවා) රේගුව හරහා උඳු ගෙන්වීමට කටයුතු කිරීම නිසා දැයි සැකයක් පවතින නිසා එම තොග වෙළෙඳුන්ගේ ගබඩා පරීක්‍ෂා කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් ‘දිවයිනට‘ පැවැසීය. රටේ උඳු ගොවියා ආරක්‍ෂා කරගෙන පාලනයකින් යුතුව උඳු මෙටි්‍රක් ටොන් 500 බැගින් ආනයනය කිරීමට හදබිම අධිකාරියට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට කැබිනට් අවසර දී තිබේ. ඒ අනුව එම රාජ්‍ය ආයතන තුන උඳු ගෙන්වා අලෙවි කිරීමට යෑමේදී පිටකොටුව ඇතුළු විවිධ ප්‍රදේශවල තොග ගබඩාවල උඳු තොග පැවැතීම නිසා රාජ්‍ය ආයතන ගෙන්වා ඇති උඳු තොග අලෙවි නොවන තත්ත්වයක් ඇති බවද එම නිලධාරියා පැවැසීය. ඇතැම් කූට ආනයනකරුවන් එම උඳු තොග රාජ්‍ය ආයතනවලින් ගෙන්වූ උඳු බව සඳහන් කරමින් අලෙවි කළ ද එම උඳු ප්‍රමිතියෙන් තොර උඳු බවත්, එම උඳු රාජ්‍ය ආයතන විසින් ගෙන්වා ඇති ඒවා නොවන බවත් නිරීක්‍ෂණය වී ඇත.

එම නිසා අනුමැතියකින් තොරව ගෙන්වා ඇති උඳු ගබඩා පරීක්‍ෂා කර රජයට අහිමි වී ඇති උඳු ආදායම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment