කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

901

ශ‍්‍රී ලංකාව දෙවියන්ගේ රටය. මේ රටේ කුමන අස්සක මුල්ලක ගියද දේවාලයක් සහිත පුද බිමක් ඇති තැනක් නැත්නම් එය අහවල් ‘‘රුපවාහිනි වැඩසටහනට” දැන්විය යුතුය. එය එපමණකටම පුදුම විය යුතු කාරණයකි. එහෙවු දෙවියන්ගේ රටේ, දෙවියන්ගේ පුද බිමක් උලා කන්නට සැරසෙන මුදලාලි රොත්තක් දෙවියන්ටත් වඩා අනුහස් ඇති කාගේ හෝ හයියෙන් දෙවියන්ටත් කෝචෝක් කරමින් සිටිති. මේ ඒ කතාවය.

කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

අප මේ කියන දෙවියන්ගේ අඩවිය රටේ ජනතාවට නුහුරු නුපුරුදු තැනක් නොවේ. ඒ අඩවිය හැ`දින්වෙන්නේ කැබිලිත්ත නමිනි. කැබිලිත්ත යනු නිකම්ම නිකම් දෙවියන්ගේ අඩවියක් හෝ වනාන්තරයක් නොවේ. වටිනා ජල පෝෂක වනාන්තරයකි. නිවැරදිව කිවහොත්, අලි – ඇතුන් ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන අන්තර් මෝසම් වනාන්තර වැස්මක් සහිත වන රක්ෂිතයකි. ජල මූලාශ‍්‍ර බොහොමයක ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයකි. යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය ඇතුළු රක්ෂිත වනාන්තර පද්ධතියක් සම්බන්ධ කරගනිමින් මෙම වනාන්තරය විහිද පැතිර තිබේ.

කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

එපමණක් නොව එය, වන සංරක්ෂණ ආඥා පනත නීතිගත වූ මුල් අවදියේ සිටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් වනාන්තරයකි. මෙම වනාන්තරය වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තිය අනුව 2012 නොවැම්බර් මස 12 වන දින අංක 1789/9 දරන ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත. අදාළ ගැසට්ටුව මගින් හෙක්ටයාර 28,926 ක් වන වනාන්තර ප‍්‍රදේශයක් වත්තේගම – කැබිලිත්ත රක්ෂිත වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

පසුගිය කාලය පුරාම ද වරින්වර මෙම වනාන්තර ඉඩම් එළිකර බඩඉරි`ගු වගා බිම් පවත්වාගෙන ගොස් තිබේ. එහෙත් ඒ හැම මොහොතකම ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම සිදුව තිබේ. ඒ නිසාම මෙවර ඒ වනාන්තර ඉඩම් කොල්ලය සැලසුම් කරන්නේ ඉතා සූක්‍ෂමවය. නීතියෙන් රිංගා යා හැකි අකාරයටය. ඒ වත්මන් ආණ්ඩුවේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිත කරමිනි.

 ඒ අනුව මේ මොහොත වන විට වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට සැලසුම් කරන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ මෙහෙයවීම යටතේය. සැලසුමට අනුව මෙවර ද, එම රක්ෂිතය තුළ ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරි`ගු වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. එකී ව්‍යාපාරික කණ්ඩායම සමග නීතියට සම්බන්ධ කිහිප දෙනකු ද එක්ව ඉතා සංවිධානාත්මකව මෙම වන රක්ෂිතය උලා කෑමේ කාර්ය දියත් කරමින් හිඳී.

 * වත්තේගම – කැබිලිත්ත  රක්ෂිතය ගැන ටිකක්

 මෙම රක්ෂිතය, අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ. හෙක්ටයාර 28,926 ක් නැතහොත් අක්කර 71,537ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුනු වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය විලඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂී ජල මූලාශ‍්‍රවල ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මේ නිසා මෙම වන රක්ෂිතය විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු කෘෂිකාර්මික බිම්වල ජල සුරක්ෂිතතාවය කෙරෙහි සෘජුව බැඳී පවතී.

කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

මරගල කඳුවැටියෙන් ආරම්භ වන විල ඔය, ඇතිමලේ වැව හා කොටියාගල වැව යන ප‍්‍රධාන වැව් දෙක පෝෂණය කරමින් වත්තේගම – කැබිලිත්ත මෙම වන රක්ෂිතය හා කුඩුම්බිගල – පානම අභය භූමිය තුළින් ගලා ගොස් පානම කලපුව හා සම්බන්ධ වේ. වර්ග කිලෝමීටර් 484 ක ජල ද්‍රෝණියක් සහිත විල ඔය මරගල කඳුවැටියේ සිට පානම කලපුව දක්වා සීමාවේ පිහිටි වැව් 47 කට ජලය සැපයීම සිදු කරයි. මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන කරදණ්ඩ ආර, නවදණ්ඩ ආර හා කෝන්කැටිය ආර යන දියදහරාවන් විල ඔය පෝෂණය කරන ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශය ලෙස ක‍්‍රියාත්මක වේ.

කැබිලිත්තටත් දෙවියන්ගේම පිහිටයි

 බදුල්ල දිස්ත‍්‍රික්කයේ ලූණුගල කඳුවැටියෙන් ආරම්භ වන කුඹුක්කන් ඔය යාල ජාතික වනෝද්‍යානය තුළින් ගලා ගොස් මුහුද හා සම්බන්ධ වේ. වර්ග කිලෝමීටර් 1218 ක ගංගා ද්‍රෝ්ණියකින් සමන්විත කිලෝමීටර් 1218 ක් දිග මෙම ඔයට වසරකට ජලය ඝන මීටර් මිලියන 2115 ක් එක් වේ. එම ජලයෙන් වැව් 93 කට හා අමුණු 145 කට වාරි ජලය ලබා දෙමින් විශාල වගා බිම් ප‍්‍රමාණයක් පෝෂණය කරයි. මෙම වන රක්ෂිතය තුළින් ආරම්භ වී පෝෂණය වන ලේපොළොන් ආර, මීද`ඩු ආර හා නාම්පන් ආර යන දිය දහරාවන් මගින් කුඹුක්කන් ඔය පෝෂණය වේ.

 මීට අමතරව මෙම වන රක්ෂිතයෙන් ආරම්භ වී පෝෂණය වන රත්මලේ ආර හා උණ ඇළ මගින් වන රක්ෂිතයෙන් පිටත පිහිටි කොටියගල වැව හා වට්ටාරම වැව පෝෂණය වේ. මෙම වන රක්ෂිතය තුළ ද මීතොටකනත්ත වැව, ලේපොළොන්ආර වැව, මයිල්ල වැව, හංසවැලි වැව හා වරාකනත්ත වැව නමින් හඳුන්වන වැව් පිහිටා තිබේ. එම වැව්වලට එක්රැුස්වන වැසි ජලය අලි – ඇතුන් අතුළු විශාල සත්ත්ව ප‍්‍රජාවකගේ ජල අවශ්‍යතාව සපුරාලන අතර මෙම සතුන් ගම්වැදීම හා වගා බිම්වලට පිවිසීම සීමා වීමට මෙම වනාන්තර පද්ධතිය හා මෙම අතහැර දැමූ කුළු වැව් ඉතාම ප‍්‍රයෝජනවත් වේ.

 රක්ෂිතය වනසා දැමීමේ අනතුර තේරුම් ගැනීම උදෙසා මේ සංක්ෂිප්තය පමනක් වුව සෑහේ. එහෙත් ජාවාරම්කාර මුදලාලිලා තේරුම් නොගන්නා තවත් කාරණා තිබේ. අලි මිනිස් ගැටුමද එවැන්නකි.

 * අලි – මිනිස් ගැටුම වැඩිම දිස්ත‍්‍රික්ක අතුරෙන්  සිව්වන ස්ථානය මොනරාගල….

 අලි – මිනිස් ගැටුම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා විවිධ පර්යේෂකයෝ විසින් සිදු කරනු ලැබ ඇති අධ්‍යයනවලට අනුව මෙරට අලි – මිනිස් ගැටුම වැඩිම දිස්ත‍්‍රික්ක අතුරෙන් සිව්වන ස්ථානය මොනරාගල දිස්ත‍්‍රික්කයට හිමිවන බව කියති. එමෙන්ම, සිව්වන ස්ථානයට වැඩිම අලි – ඇතුන්ගෙන් සිදුවන දේපල හා වගා හානි පිළිබඳව වාර්තා වන්නේ ද මොනරාගල දිස්ත‍්‍රික්කයෙනි. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථානයන් වූ වනාන්තර හා තෘණ භූමි විනාශ කිරීමත්, වනාන්තර කැබලි වන පරිදි වාණිජ වගා බිම් ස්ථාපිත කිරීමත් ය.

 ඉඩම් පරිහරණ හා ප‍්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මොනරාගල දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 5,63,900 ක් පමණ වන අතර ඉන් වනාන්තර හා තෘණ භූමි වලින් හෙක්ටයාර 2,96,125 ක භූමි ප‍්‍රමාණයක් ආවරණය වී තිබේ. එය දිස්ත‍්‍රික්කයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 52%ක ප‍්‍රතිශතයකි. නමුත් හෙක්ටයාර 1,05,500 ක් වන සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 43,435 ක් පුරා වනාන්තර හා තෘණ භූමි පැතිර ඇති අතර එය මුළු භූමි ප‍්‍රමාණයෙන් 41%ක ප‍්‍රතිශතයකි. මෙම වනාන්තර හා තෘණ භූමි එකිනෙක හා සම්බන්ධ පද්ධතියක් ලෙස නොපැවතීම හා උක් වගාව හා බඩ ඉරිඟු වගාව සඳහා බොහෝ හේන් වගා බිම් යොදා ගැනීම මෙන්ම අලි – ඇතුන්ගේ වාසස්ථාන තුළ මෙම වාණිජ වගා බිම් පවත්වා ගෙන යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව වැඩිම අලි – මිනිස් ගැටුමක් වාර්තා වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත් වීමට හේතු සාධක ගොඩනැංවී ඇත.

 ඈත අතීතයේ සිටම මහ කන්නයේ දී හේන් ගොවිතැන් කර යල කන්නයේ දී අතහැර දමන බොහෝ හේන් වගා බිම් අලි – ඇතුන් ඇතුළු බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ නියං කාලයේ වාසස්ථාන වුව ද අද වන විට එම හේන් වගා බිම් බඩ ඉරිඟු හා උක් වගාව සඳහා යොදා ගැනීමෙන් යල කන්නයේ අතහැර දැමීමක් සිදු නොවේ. විදුලි වැටවල් සකස් කර හේන් වගා බිම්වල සිදු කරන ඒක බෝග වාණිජ කෘෂිකර්මාන්තය හේතුවෙන් අලි – ඇතුන් ගම් වැදීම වර්ධනය වී තිබේ. කැබිලිත්ත උලා කෑමට සැරසෙන අම්බාරුවන් මේ තත්ත්වය නොදැන සිටිනවාය යන්න අපි විශ්වාස නොකරමු.

 වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතයේ බඩ ඉරිඟු වගා බිම් මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑම නිසා ඇත්තෙන්ම සිදුවන්නේ අප ඉහත ස`දහන් කළ තත්ත්වය තව තවත් දරුණු වීමය. වඩාත් නිවැරදිව කිවහොත්, මෙම වන රක්ෂිතය පිහිටා ඇත්තේ හුදෙකලා වූ ප‍්‍රදේශයක් ලෙස නොවේ. එය පිහිටා ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන පද්ධතියක් තුළය. යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණයත් කුඹුක්කන වන රක්ෂිතයත් මෙම වන රක්ෂිතය හා සම්බන්ධව පිහිටා ඇත්තේය. ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය, කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේද මේ හා සම්බන්ධවමය. මේ රක්ෂිත පද්ධතිය විනාශ කර දමනවාය යනු අලි මිනිස් ගැටුම තව තවත් උග‍්‍ර වීමට පාර කැපීමය. ඇතිමලේ, කොටියාගල, වත්තේගම, තෙනගල්ලන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගොවි ජනතාවට එහි බියකරු විපාක අත්විඳීමට සිදුවීම වැළැක්විය නොහැක. ඇත්තෙන්ම සිදුවන්නේ බඩවියත වෙනුවෙන් රට වුවද උගස් කළයුතු යැයි සිතන මුදලාලිවරුන් කිහිපදෙනකුගේ වුවමනාව වෙනුවෙන් රක්ෂිතයක් සමග ගම් බිම් රැුසක් බිල්ලට දීමය. දෙවියන්ගේ අඩවියේදී, දෙවියන්ට කෙසේ වුව යක්කුන්ට බිලි දීම අපූරුය.

 * සියල්ල සිදුවන්නේ වන සංරක්ෂණ  ආඥා පනත උල්ලංඝනය කරමිනි

 අප මුලින් සඳහන් කළාක් මෙන් මේ සියල්ල සිදුවන්නේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමිනි. නොඑසේනම් රටේ ඇති සියලූම පාරිසරික නීති, අණ පනත් තඹ දොයිතුවකට මායිම් නොකරමිනි. 1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර හෙක්ටයාර 9,47,370 ක් එළිපෙහෙළි කර තිබේ. වර්ෂ 1992 සිට 2010 දක්වා ගත වූ වසර 18 ක කාලය තුළ අතරමැදි කලාපයේ, අන්තර් මෝසම් වනාන්තර හෙක්ටයාර 1,24,992 ක් ඉවත් කර තිබේ. මේ වසර වන විට එම අගය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 1992 සිට 2010 වසර වන විට අතරමැදි කලාපයේ, අන්තර් මොසම් වනාන්තරවලින් හරි අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශයට ලක් කර තිබේ. ඇඟ කිලිපොලා යන සත්‍යය එය වුවද තවමත් එය නතර කරන්නට වැඩ පිළිවෙලක් සකසන බවක් පෙනෙන්නට නැත. ඊට හේතුව රටේ පාලකයන් මෙන්ම අදාළ වගකිව යුත්තෝ ද ජාවාරම්කාර මුදලාලි පැලැන්තියේ සාක්කුවේ පිනුම් ගැසීමය.

 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති වත්තේගම – කැබිලිත්ත වනාන්තරය තුළ තහනම් ක‍්‍රියා සියල්ල පනතේ 7(1* උප වගන්තිය යටතේ දක්වා තිබේ. ඒ අනුව අයුතු ලෙස රක්ෂිත වනයට ඇතුළු වීම හා රැු`දී සිටීම, ගස් කැපීම, පොතු ගැලවීම, ශාක පිළිස්සීම, දියපහරවල් අවහිර කිරීම, ජලයට විස හෝ අපද්‍රව්‍ය හෝ කැලි කසළ දමා අපවිත‍්‍ර කිරීම, වනය තුළ ඇති පැළෑටි හෝ කොටස් ඉවත් කිරීම, ඉඩම් එළි කිරීම, පස් කැපීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, ඒවායේ පදිංචි වීම, එළි කරන ලද ඉඩම්වල වගා කිරීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිතා කිරීම, ගවයන් ඇතුළු කිරීම හා ගවයන්ට තණ කොළ සහ පැළෑටි කෑමට සැලැස්වීම, නාමපුවරු හෝ මායිම් සලකුණුවලට හානි කිරීම ඇතුළු සියලූම ක‍්‍රියා තහනම් වේ.

 එවන් ක‍්‍රියාවකට මහෙස්ත‍්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ ද`ඩුවම් දෙකටම ලක් කළ හැකි ය. මෙම ද`ඩුවම්වලට අතිරේකව රක්ෂිත වනයට සිදුකරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

 පනතේ 7(2* උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක‍්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම ද`ඩුවමටම යටත් කළ හැකි ය.

 පනතේ 49 වන වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීම වැළැක්වීම සඳහා සෑම වන නිලධාරියෙකුටම හා පොලිස් නිලධාරියකුටම මැදිහත් වීම කළ හැකිය. පනතේ 49 අ උප වගන්තියට අනුව වන අපරාධ වැළැක්වීම සඳහා කටයුතු කරන නිලධාරියකුට තර්ජනය කිරීම, බාධා කිරීම, බිය වැද්දීම, පහර දීම වරදක් වන අතර එවන් වරදකට මහෙස්ත‍්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 3 ත් 7 ත් අතර බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 50,000 ත් එක් ලක්ෂ පනස් දහසත් අතර දඩයකට හෝ මේ ද`ඩුවම් දෙකටම යටත් කළ හැකි ය.

 පනතේ 48(1) උප වගන්තියට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ සිදු කෙරෙන හානි කර ක‍්‍රියා සියල්ල වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අපරාධ ලෙස දක්වා ඇති අතර එම ක‍්‍රියා සම්බන්ධයෙන් පනතේ 53 වන වගන්තියට අනුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතු ය. පනතේ 53 අ උප වගන්තියට අනුව රක්ෂිත වනයක හෝ රජයට අයත් වෙනත් වනයක් හෝ නීති විරෝධී ලෙස අල්ලාගෙන ඇති අවස්ථාවක ද`ඩුවමට අතිරේකව නෙරපීමට යටත් විය යුතු ය. ඒ සඳහා 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීම* පනතේ විධිවිධානවලට අනුව නෙරපුම් නියෝග ලබා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙවන් දැඩි නීති පද්ධතියක් යටතේ වන රක්ෂිත පාලනය වන්නේ ඒවායෙහි ඇති සියලූම ආකාරයේ වටිනාකම් වර්තමාන හා අනාගත පරපුරේ රැුකවරණය උදෙසා ආරක්ෂා කර ගැනීම සඳහාය. මුදලාලිලා මෙන්ම බලවත් උදවියද බියක් සැකක් නොමැතිව වනාන්තර විනාශ කර දමන්නේ මේ තරම් දැඩි නීති තිබියදීය. එසේ තිබියදී, ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප‍්‍රතිපත්තිද උල්ලංඝනය කිරීම ජයට සිදුවන්නේ කෙලෙසද යන්න සොයා බැලීම ආණ්ඩුවේ වගකීමකි.

 * බඩ ඉරිඟු වවන්න කැලේ කපන්නම ඕනෙද?

 වගාවන් කරන්නට කැලේ කපන්නටම බලා සිටින උදවියට රටවටේ ඕනෑ තරම් ඉඩකඩම් තිබේ. පුරන් වූ කුඹුරුද තිබේ. එහෙත් කැලේ කපා වගා කිරීම යනු වෙනත් ව්‍යාපෘතියකට කොලේ වසා ගැහීමකි. ඔලූව දමාගත් පසුව කඳ ඔබා ගැනීම අපහසු කාරණයක් නොවේ. වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය වගා කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවට සුදුසු විකල්ප ක‍්‍රියාමාර්ගයක් මේ වන විටත් සකස් කර අවසන්ව තිබේ. නමුත් ජාවාරම්කාර මුදලාලිලා කිහිප දෙනකු රක්ෂිත වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණින් මෙම විකල්ප ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට තිබෙන අවස්ථාවන්ට වැට බඳිමින් සිටිති. නමුත් මෙම විකල්ප ක‍්‍රියාමාර්ගය තුළින් බොහෝ ගොවි ජනතාවකගේ ඉඩම් ප‍්‍රශ්නයට විස`දුමක් ලබා දිය හැකි අතර එය නිසි පරිදි කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට හා ආණ්ඩුවට බලපෑම් කළ යුතුව ඇත.

 මෙම වන රක්ෂිතය මායිම්ව පිහිටි වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වූ රජයට අයත් වෙනත් කැලෑ ලෙස සැලකෙන හෙක්ටයාර 11,600 ක භූමි ප‍්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රාදේශීය ලේකම් වෙත වගා කටයුතු සඳහා බලපත‍්‍ර යටතේ ජනතාවට ලබා දීමට බැහැර කර තිබේ. එසේ බැහැර කළ ප‍්‍රදේශයේ හෙක්ටයාර 1640 ක් වනාන්තර පවතින අතර ඉතිරි හෙක්ටයාර 9960 ක් නැතහොත් අක්කර 24,632 ක් වගා කටයුතු සඳහා නීත්‍යානුකූලව ලබා දීමේ හැකියාව ඇත. මෙම ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ලබා දීම වෙනුවට එම ප‍්‍රදේශයේ ඉඩම් අහිමි සුළු පරිමාණ ගොවි ජනතාව වෙත ලබා දීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. ඒ තුළින් එම ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැංවීමට දායකත්වය ලබාදිය යුතු අතර එම ප‍්‍රදේශයේ පිහිටි විනාශ වූ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම හා ඇළ මාර්ග හරස් කර අමුණු ඉදිකර වගා බිම්වලට ජලය ලබා ගැනීමේ පහසුකම් ඇති කළ යුතු වේ. එහෙත් අප කී පරිදි මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමුවන්නේ නැත. සැකයට තුඩු දෙන කාරණය වන්නේ එයයි.

 ආණ්ඩුවේ හිඳින්නේ දේශපේ‍්‍රමය දෝරේ ගලන මැති ඇමැති රොත්තකි. ඇමෙරිකාවට ඉන්දියාවට එරෙහිව ගිරිය පුප්පන සියල්ලෝම රට තුළම හිඳ රට අනුභව කරන වුන් ඉදිරියේ නිහඬය. ඉතිං අපට කාරණය තේරුම් ගන්නට පුළුවන. කැබිලිත්තට පමණක් නොව රටේ සියලූම වනාන්තරවලට දෙවියන්ගේම පිහිටය.

 (විශේෂ ස්තුතිය පරිසර යුක්ති කේන්ද්‍රයේ සජීව චාමිකර මහතාට)

 උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment