කැබිලිත්ත රක්‍ෂිතය වනසන මැරයෝ වන නිලධාරීන්ට තර්ජනය කර කාර්යාලයටත් පහර දෙති

454

වත්තේගම කැබලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ සිදු කෙරෙන මහා පරිමාණ වනාන්තර විනාශයට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගැනීමත් සමග ඉකුත් 06 වැනිදා සවස එහි පැමිණි චීවරධාරීන් දෙදෙනකු, නීතිඥයකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් මොනරාගල දිසා වන නිලධාරී කාර්යාලයට පහරදී අලාභ හානි කර නිලධාරීන්ට තර්ජනය කර ඇති බවට වන නිලධාරීන් විසින් මොනරාගල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මෙහිදී පැමිණි පිරිස වන කාර්යාලයේ ගේට්ටුව කඩා ජනෙල් වීදුරුවක්ද බිඳ දැමූ බව දිස්ත්‍රික් වන නිලධාරී භාරත දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

‘ප්‍රදේශයේ ඉඩම් නැති අයට බෙදාදීම සඳහා අක්කර 25,000 ක් වෙන්කර තිබෙන පසුබිමක තමයි මේ ඉඩම් අල්ලාගැනීම සහ වන විනාශය සිදුවන්නේ. නමුත් වන නිලධාරීන් හැටියට අපි ඊට එරෙහිව කටයුතු කරමින් සිටිනවා. රජය එක් අයකුට අක්කර 5 බැගින් දෙන්න තීන්දු කර තිබෙනවා. නමුත් සමහරු ඒකට කැමති නෑ. අල්ලාගත්ත ඉඩම්වල සම්පූර්ණ අයිතිය ඔවුන් ඉල්ලනවා. සමහරු අක්කර 50-100 අල්ලාගෙන ඉන්නවා. අපේ කාර්යාලය ඉදිරිපිටට ඇවිත් ඔවුන් විරෝධතාවක් කළා. ඉන් අනතුරුව කිහිපදෙනෙක් අපි සමග සාකච්ඡාවක් කරන්න ඕන කියල කාර්යාලය තුළට ආවා. අපේ ස්ථාවරය ඔවුන්ට අපි කිව්වා.

ඉන් පස්සේ තමයි මේ පහරදීම සිදු වුණේ” යැයි දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා සඳහන් කළේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment