කැම්පස් කොල්ලො කෙල්ලෝ අමාරුවේ දාන පිරමීඩ ජාවාරමේ අලුත්ම සෙල්ලම මෙන්න… ප්‍රධාන නගර හැම තැනම ව්‍යාප්ත වෙලා…

629


කොරෝනා නිසා මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා වැටුණේ බලා සිටියදීය. බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඇතැමුන්ට ලැබෙන්නේ වැටුපෙන් හරි අඩකි. ඇතැම් පිරිසකට අඩක වත් වැටුපක් හිමි නැත. මේ සියල්ල සමඟ මිනිසුන් කල්පනා කරන්නේ එදා වේල පිරිමහ ගන්නට අතට කීයක් හරි හොයාගන්නේ කෙසේද යන්නය. එදා වේල පිරිමහ ගන්නටවත් වත්කමක් නැති බොහෝ මිනිසුන් කන කර උගස් තියන්නට උගස් කඩ ඉදිරිපිට පෝලිම් වනු පසුගිය කාල වකවානුවේ අපි සියැසින් දුටුවෙමු. රස්සාව අහිමිව, කරගෙන ගිය ව්‍යාපාරය අතරමඟ නවතා දමන්නට සිදු වූ බොහෝ දෙනකු කීවේ අතේ සතේ නැත කියාය.

බාල මහලූ තරුණ කාටත් එක සේ බලපෑම් කරන ‘‘මුදල්” සෙවීමට මිනිස්සු විවිධ උපක‍්‍රම අත්හදා බලති. රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා, ස්වයං රැකියා, කුලී වැඩ හොර මැරකම්, ජාවාරම් මේ සියල්ල සිදුවන්නේ මුදල් ඉපයීම සඳහාය. මිනිස් ජීවිතයේ පැවැත්ම හා නැවැත්ම තීරණය කරන ප‍්‍රබලම සාධකය මුදල් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඉපයූ මුදලින් සෑහීමකට පත් නොවන මිනිසා උත්සාහ ගන්නේ ඊළඟ මොහොතේ තමන් සතු මුදල් ප‍්‍රමාණය වැඩි කර ගන්නටය. ඒ වෙනුවෙන් ඔවුන් දිගුකාලීන හා කෙටිකාලීන ආයෝජන සිදුකරනු ලබයි. ඉඩකඩම් මිලදී ගැනීම, යාන වාහන වතුපිටි, ගේ දොර මිලදී ගැනීම බැංකුවක මුදල් තැන්පත් කිරීම පොලියට දීම මේ සියල්ල ආයෝජන ක‍්‍රමයන්ය.

ආයෝජනයෙහි කිසිදු වරදක් නැත. නමුත් තමා දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදල ආයෝජනය කළ යුත්තේ විශ්වසනීය පුද්ගලයකු හෝ ආයතනයක් තුළ බව ඇතැම් මිනිසුන්ට අමතකව ගොසිනි. එසේත් නැත්නම් කවුරුන් හෝ ඔවුන්ට එය අමතක කර දමා ඇත.

මිනිස්සුන්ගේ නැතිබැරිකම්, දුප්පත්කම් ප‍්‍රයෝජනයට ගන්නා පුද්ගලයන් හා ආයතන කාලයෙන් කාලයට විවිධ මුහුණුවරයන්ගෙන් පැමිණෙන බව අප හැමෝම දන්නා කරුණකි. ඉක්මනින් පහසුවෙන් මුදල් ඉපයීමටත් ඒවා වැඩි දියුණු කර ගැනීමටත් කිසිවකු අකැමැති නොවන නිසා බොහෝ පිරිසක් බොරදියේ මාළු බාන්නට පටන් ගන්නේ ජනතාව රැවටිය හැකි සියලූම ආකාර වලින් රවටමිනි. විශේෂයෙන්ම තරුණ පරම්පරාව නිරායාසයෙන්ම නතු කරගන්නා ක‍්‍රමෝපායන් ඕනෑතරම් දැකගත හැකිය. මසකින් දෙකකින් ලක්ෂ 10, 15 බැංකු පොතට වැටෙන, කණකර හැඩවන තට්ටු මන්දිර ඉදි වෙන සිහින හමුවේ කොයිතරම් දරදඬු හිත් වුවද අතරමං වන්නට යන්නේ නිමේෂයකි.

කැම්පස් කොල්ලො කෙල්ලෝ අමාරුවේ දාන පිරමීඩ ජාවාරමේ අලුත්ම සෙල්ලම මෙන්න... ප්‍රධාන නගර හැම තැනම ව්‍යාප්ත වෙලා...

ඔන්ලයින් ක‍්‍රමවේද හරහා සල්ලි හෙවීම

online ක‍්‍රමවේද හරහා මුදල් ඉපයීම මෑතකදී තරුණයන් අතර ඉතා ජනප‍්‍රිය විය. අතේ ඇති මුදල විදේශ බැංකුවක තැන්පත් කරමින්, තව තවත් පිරිස් එකතු කරගනිමින් විවිධ නම්වලින් විවිධ ක‍්‍රමවේද වලට මෙලෙස online ජාවාරම ජයටම සිදුකරයි. කිසිම දිනක දැක නැති පුද්ගලයකු හෝ මූල්‍ය ආයතනයක් විශ්වාස කරමින් ලංකාවේ තරුණයන් බොහෝ දෙනකු කල්ලි ගැසෙමින් තමන්ගේ අතේ ඇති මුදල ආයෝජනය කරමින් ලාභ ලැබීමට බලා සිටී. ඇතැම් පිරිසක් තමන් සතු දේපළ පවා උගසට තබමින් වැඩිපුර මුදල් ආයෝජනය කරනු ලබන්නේ වැඩිපුර මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙනි. අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිම කළ තරුණයන්, උපකාරක පන්ති ගුරුවරුන් සරසවි ශිෂ්‍යයන් පමණක් නොව, භික්ෂූන් වහන්සේලා ද මේ වන විට online මුදල් සෙවීමේ සක‍්‍රීය සාමාජිකයන් බවට පත්වී සිටිති. විසිදාහ තිස්දාහ එකතුවෙමින් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිස වැඩිවෙමින් ගිණුමේ තැන්පත් අගය වැඩි වන්නේ මුල් මාස දෙක තුන තුළ තැන්පත්කරුවන්ගේ අතට යහමින් මුදල් ලබා දෙමින් මෙම ක‍්‍රමවේදය පිළිබඳව විශ්වාසය ඔවුන්ගේ හිතේ පැළ කරමිනි. නමුත් මාස කිහිපයක් ගත වන විට හිටිහැටියේ ගනුදෙනු කළ බැංකුව හා සම්බන්ධ වීමට නොහැකි වී යෑමත් සමඟ බොහෝ දෙනකු තැම්පත්කළ මුදල් ද සමඟ ඔන්ලයින් ජාවාරමේ මහ මොළකරුවන් අතුරුදන් වන්නේ කරන්නට කිසිවක් ඉතුරු නොකරමිනි. තමාගේ ළඟම මිතුරාට එරෙහිව නීතිමය පියවර ගන්නවා හැර තමන් කළ ක‍්‍රියාවලිය පිළිබඳව කිසිදු දත්තයක් හෝ සාක්ෂියක් කිසිවකු ළඟ නැත .

භාණ්ඩ හා සේවා අලෙවි කරමින්

ඔන්ලයින් ක‍්‍රමවේදය හරහා විශේෂයෙන්ම ගෘහණියන්ට, කාන්තාවන්ට භාණ්ඩ හා සේවා අලෙවි කරමින් ද මෙම පිරමීඩ ක‍්‍රියාවලිය සිදුවන බවට අපට තොරතුරු ලැබුණි. කුමක් හෝ රටකින් අඩුවට ගෙන්වා ගන්නා ලද විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ආදිය වැඩි මුදලට විකුණා තවත් පිරිසක් මෙයට සම්බන්ධ කරන ලෙසට භාණ්ඩ මිලදී ගන්නන්ට කියනු ලබයි. තමාගේ අතට ලැබෙන තුරු භාණ්ඩයේ ස්වරූපය වත් නොදන්නා පිරිස එය ඇසෙන් දුටුවා සේ වර්ණනා කරමින් තවත් පිරිසක් මෙම ක‍්‍රමයට එක් කරගනී. ටික කලක් ගත වන විට එම උපකරණ පිළිබඳව වගකීමට ඒවා ගෙන්වූ සමාගම සහ විකුණූ පුද්ගලයන් සොයා ගත නොහැකි වෙයි.

මේ වන විට මෙම පිරමීඩ ජාවාරම අලූත් මුහුණුවරකින් තාරුණ්‍ය බිලි ගනිමින් සිටී. දඟකාර හැඩකාර තාරුණ්‍යට දහසක් සිහින මවමින් රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම් හරහා මුදල් උපයන ආයතන බහුලය. ලස්සනට ඉන්න ගමන් සල්ලි හොයන්න යැයි කියමින් තමන්ගේ නිෂ්පාදන තවත් පිරිසකට හඳුන්වාදීමටත් ඒවා මිලදී ගන්නන් තව පිරිසකට ඒ පිළිබඳව හඳුන්වා දීමටත් මෙම ක‍්‍රමය යටතේ කටයුතු කරනු ලබයි. සුවිශේෂී දීමනා වරප‍්‍රසාද මෙන්ම විදේශ සංචාර, ත්‍යාග පවා දිරිගැන්වීම් දෙන ලබාදෙයි.

විවිධාකාර නම්වලින් කණ්ඩායම් පිහිටුවා ගනිමින් ඒවායේ සාමාජිකයන්ට අගය කිරීම් ලබාදෙමින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ජයටම පිරමීඩ සෙල්ලම වන බව නොරහසකි. මේවා කිසිවක් නීත්‍යනුකූල නොවන අතර ඇතමුන් නීතියේ රැහැනට හසු වුවද තවත් පිරිසක් සූක්ෂම ලෙස නීතියේ රැහැනෙන් රිංගා පලායති. ටික කාලයක් නිහඬව ගතකරමින් පසුව අලූත් නමකින් හුරුපුරුදු සෙල්ලම යළිත් පටන් ගනියි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව බොහෝ අවස්ථාවලදී මෙම පිරමීඩ ජාවාරමේ ස්වභාවය පිළිබඳව ජනතාවට දැනුම් දුන් අතර එයට හසු නොවී සිටින්නටද ජනතාවට උපදෙස් ලබාදී තිබුණි. ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල ද මෙම පිරමීඩ ක‍්‍රමට ක‍්‍රියාත්මක වන අතර කිසිම අවස්ථාවකදී ඒවායෙහි නීත්‍යනුකූල බව සනාථ කිරීමට නොහැකිය. ජාලයක් ලෙස ක‍්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම වැඩි වන පුද්ගල සංඛ්‍යාව මත ලැබෙන ලාභය වැඩි බව ඒත්තු ගන්වන්නට උත්සාහ දරයි. පසුගිය කාලය තුළ අනුරාධපුරය කුරුණෑගල, මීගමුව, රත්නපුරය ආදී ප‍්‍රදේශවලින් මෙවැනි විවිධ සමාගම් හා පුද්ගලයන් පිළිබඳව තොරතුරු වාර්තා විය. එලෙසම මේ වන විට රාජ්‍ය සහ පුද්ගලික විශ්වවිද්‍යාල තුළ ජයටම මේ සෙල්ලම සිදු වන බවටද අපට තොරතුරු වාර්තා විය. ඇතැම් ඒවා දේශපාලනඥයන් හා නළු නිළියන් විසින් කරගෙන යනු ලබන අතර තවත් පිරිසක් රූපලාවණ්‍යාගාර සහ උපකාරක පන්ති මුවාවෙන් මෙම කටයුතු සිදුකරනු ලබයි.

‘‘අපි හැමෝම කැමතියි වාහනයක් අරන් හොඳ ගෙයක් හදාගෙන, අම්මලා තාත්තලාට සලකගෙන හොඳට ඉන්න. කැම්පස් කාලෙම තමන්ගේ ආදායම් මාර්ගය හදා ගන්න පුළුවන්නම් ඒක කොච්චර දෙයක්ද. මම හැමෝටම කියන්නෙ අපේ සංගමයක් එක්ක එකතු වෙන්න කියලා”. ලෙස එක්තරා රජයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාවක් ඇගේ මුහුණු පොතේ සඳහන් කර තිබූ අතර ඇය සමඟ එකතු වීමට කැමති බොහෝ දෙනකු සිටින බවද සටහන් වී තිබුණි. මෙම ජාවාරමේ ස්වභාවය මෙයයි. විවිධ නම්වලින් පෙනී සිටින සමාගම් හා පුද්ගලයන් තරුණ තරුණියන් නතුකරගන්නේ ඔවුන්ටද නොදැනෙන ලෙසිනි.

‘‘අපි ඔයගොල්ලන්ට ලස්සනට ඉන්න වගේම හොඳට හම්බ කරන්න අවස්ථාව හදලා දෙනවා. ඔයාලගේ දක්ෂතාව මත වැඩිපුර මුදල් හොයන්න පුළුවන්. තව පිරිස වැඩි කර ගත්තොත් වැඩිපුර දීමනා ලැබෙනවා”

මෙලෙස පියවරෙන් පියවර පිරිස වැඩි වීමත් සමඟ ආදායම් ඉහළ යන බව පවසමින් බොහෝ දෙනකුගේ ජීවිත බිලි ගන්නේ පිරමීඩ ජාවාරම බව කොතරම් ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ද එයට ඇබ්බැහිවූවන් එය පිළිගන්නේ නැත. බොහෝ හමුදා සෙබළුන්, ගුරුවරුන් වෛද්‍යවරුන් ද මේ වන විට මෙම මර උගුලට අසු වී හමාරය. ලස්සනට අඳින්න පලඳින්න, ලොකු වෙඩින් එකක් ගන්න, හොඳ වාහනයක් ගන්න මේ ක‍්‍රමෙන් පුළුවන්, පිරමීඩ ජාවාරම්කරුවෝ තරුණ හිත් ඇතුළේ සිහින මවන්නේ එලෙසය. ඒ වෙනුවෙන් ඕනෑතරම් උදාහරණ ඔවුන් විසින්ම නිර්මාණය කර පෙන්වනු ලැබේ.

‘‘අපේ සර් අපිට කිව්වා එක පාරම මේක විශ්වාස කරන්න බෑ ඒක කරල බලන්න කියලා. අපි උත්සාහ කළොත් මාසෙට ලක්ෂ දහයක් වගේ හොයන්න පුළුවන් කියලත් අපිට කිව්වා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පන්ති තියෙනවා. තව විස්තර පත‍්‍රිකා වගේකුත් අපිට දුන්නා” ගල්ගමුවේ ප‍්‍රසිද්ධ උපකාරක පන්ති දේශකවරයෙකු මෙලෙස ශිෂ්‍යයන් ඉත්තන් කර ගෙන ඇත්තේ ඔවුන්ට දහසක් බලාපොරොත්තු ලබාදෙමිනි.

නීති විරෝධී යැයි පැවසුවද කිසිදු බියක් සැකක් නොමැතිව පන්ති පවත්වමින් පොත්පත් පවා මුද්‍රණය කරමින් මහා පරිමාණ අන්දමින් පිරමීඩ කරුවන් තම බලය සමාජය පුරා පතුරුවා හමාරය.

මේ වන විට රටේ බොහෝදෙනා හිටිහැටියේ මතුවී බොහෝ මිනිසුන්ගේ ධනය සූරාගෙන එක්වරම අතුරුදන් වන විවිධ සමාගම් වලට හසුවී හමාරය. අවසානයේ නීතියේ සහාය පැතුවද කිසිදු ලියකියවිල්ලක් හෝ සනාථ කරගත හැකි සාක්ෂියක් ඔවුන්ට ඉතිරි වී නැත. තම ළඟම හිතවතාට එරෙහිව නීතියේ සරණ පතනවා හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවේ. නූපන් පරම්පරාව පවා ණයකාරයන් බවට පත්කරන පිරමීඩ ව්‍යාපෘතීන් සමාජයට කොතරම් පිළිලයක් ද යන්න සනාථ කිරීමට තවත් සාක්ෂි වුවමනා නැත.

‘‘අවුරුදු තුනක් හතරක් කැම්පස් එකේ ඉඳලා මාසෙකට මහපොළ රු. 5000 අරගෙන ඉන්නවට වඩා මේ ක‍්‍රමයෙන් උඹලට පුළුවන් ඉගෙනගන්න ගමන්ම සල්ලි හොයන්න. කරන්න තියෙන්නෙ මුල් මාස දෙක තුනේ මහපොළ මේකට වැය කරන එක විතරයි”. සරසවියේ ඉහළ වසරවල සහෝදරයන් තමන්ගේ පහළ වසරවල සහෝදරයන්ට විශ්වාසය ඇති කර තිබුණේ එලෙසය.

ඇතැම් විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයන් විසින්ම හදාගත් සංගම් හරහා දේශන මෙන්ම මෙම ක‍්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු බෙදා හරින බව ද අපට දැනගන්නට ලැබුණි. එලෙසම සූම් තාක්ෂණය ඔස්සේ ද අද වන විට විවිධාකාර දැනුවත් කිරීම් සිදුකරනු ලබයි. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ද මෙම ජාවාරම්වලට ශිෂ්‍යයන් යොමු කරවා ගන්නා අවස්ථාද ඇත. ඉතා අඩු වෙහෙසකින් හා කාලයකින් මුදල් කන්දරාවක් ඉපයිය හැකි යැයි කියන, සාමාජිකයන් වැඩි වන තරමට ආදායම වැඩි වනවා යැයි පවසන, විදේශ බැංකු සහ පුද්ගලයන් සමග ගනුදෙනු කර වැඩි මුදලක් ලබාගත හැකි බව කියන පුද්ගලයන් හෝ ආයතන විශ්වාස කරමින් තමන්ගේ කාලය ධනය නිකරුණේ විනාශ කර නොගන්නා ලෙස අපි තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින්නෙමු. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කර ඇතැයි පවසන නමුත් එම නෛතික ලියාපදිංචි කිරීම් තහවුරු කළ නොහැකි මූල්‍ය ආයතන සම්බන්ධයෙන් හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.

කොරෝනාව ඉත්තකු ගනිමින් ඔබ අසලටම පැමිණ වැඩි මුදලක් ඔබට ලබාදෙන්නට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන විවිධ සමාගම් හා පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. මීළඟ පිරමීඩ ව්‍යාපෘතිය සඳහා ඔබව තෝරා ගන්නේ ඔබගේ සමීපතම මිතුරා හෝ මිතුරිය විය හැකිය. ඒ නිසා මූල්‍ය එම කටයුතු සම්බන්ධයෙන් ඔබ කටයුතු කරද්දී වඩාත් පරික්ෂාශීලීව එම කටයුතු සිදු කරගත යුතුව ඇත.

‘‘මගේ පුතා දවසම ලැප්ටොප් දෙකක් ළඟ තියාගෙන මොනාද කර කර හිටියේ. ඒකෙන් ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් කියලා තමයි අපිට කිව්වේ. කිව්වා වගේම මුල්කාලෙ පුතාට හොඳට සල්ලි හම්බ වුණා. මේ ගැන වීඩියෝ හදමඑමඉැ එකේ තියෙනවා කියලා පුතා යහළුවන්ටත් කිව්වා. ඒත් ටික කාලයක් යද්දි එකවුන්ට් එක හැක් වෙලා කියලා පුතා හිටියේ ලොකු පීඩනයකින්. අවසානට ණයකාරයෝ පුතා හොයාගෙන ගෙදර එන්න පටන් ගත්තා. අපි ඉන්න ගේත් උගසට තියලා අපි ණය බේරුවා. ඒත් තවත් ණය ගෙවන්න තියෙනවා.”

මේ online ක‍්‍රමවේද ඔස්සේ විවිධ විදේශීය මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කළ තරුණයෙකුගේ මව හෙළි කළ කතාවයි. පහුගිය කාල වකවානුව තුළ ගුරුවරුන් වැඩි පිරිසක් මේ පිරමීඩ ජාවාරමට හසු වී තිබුණි. තමන්ගේ මුළු වැටුපම මේ වෙනුවෙන් යොදවා අවසානයේ අතින් පාඩු විඳ දරාගත් මිනිසුන් ඕනෑ තරම්ය. පිරමීඩ පිළිබඳ පුවත් කාලයෙන් කාලයට එක් එක් ස්වරූපවලින් සමාජය තුළ ඉස්මතු වෙයි. අද වන විට එය පාසල්, විශ්වවිද්‍යාල තුළද ව්‍යාප්ත වී හමාරය. කොරෝනා නිසා විශ්වවිද්‍යාල සහ පාසල් වැසී යෑමත් සමඟ තාක්ෂණය හා මුසුවීමට දරුවාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබන්නට පිරමීඩ ජාවාරම් කරුවන් අමතක කර නැත. විවිධ නම්වලින් ස්වරූපවලින් කාලයෙන් කාලයට පිටරට සමාගම් පෝෂණය කිරීමට පැමිණෙන ජාවාරම්කරුවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ තට්ටු මන්දිර සිහින වෙනුවෙන් ඇඳිවත පවා උගසට තබන්නටය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment