කැමිලා භයානක කාන්තාවක් හැරී කුමරු මාධ්‍ය හමුවේ කියයි

638

එංගලන්ත රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු ඇමෙරිකානු වාණිජ රුපවාහිනි ආයතන වන සී.බී.එස්. (කොලම්බියා බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්) රූපවාහිනි සේවාව හා අයි.ටී.වී. සමග සම්මුඛ සාකච්ඡාවන්ට එක්වෙමින් සිය පියා වන චාල්ස් රජුගේ බිරිය කැමිලා බිසව භයානක කාන්තාවක් ලෙස හඳුන්වා දී තිබේ. කැමිලා සිය ප්‍රතිරූපය නංවාලීම සඳහා රජ පවුලේ කතා සියල්ල එංගලන්ත මාධ්‍යයට ලබාදීමට පෙළඹී ඇති බවත්, ඇය තම පියා සමග විවාහ වීමට තීරණය කළ අවධියේ තමාත් තම සොයුරු ඔටුන්න හිමි විලියම් කුමරුත් එම විවාහයට විරුද්ධ වූ බවත් හැරී කුමරු මෙම සාකච්ඡාවේදී ප්‍රථම වරට හෙළිදරව් කර තිබේ.

“පියා කැමිලා සමග විවාහ වීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප දැක්කේ නැහැ. එම විවාහයෙන් රජ පවුලට හොඳක් සිදු වෙනවාට වඩා නරකක් වීමේ අවදානම වැඩි බව අපට පෙනී ගිය නිසා කැමිලාව විවාහ කර නොගන්නා ලෙස අප

පියාගෙන් ඉල්ලා සිටියා. එහෙත් පසුව තමාත් සොයුරු විලියම් කුමරුත් සිය විරෝධය යටපත් කරගත්තේ කැමිලා සමග සිටීමේදී සිය පියා සතුටෙන් සිටින බව දුටු නිසා බවද හැරී කුමරු සඳහන් කර තිබේ. දැනට කැමිලා රජ බිසව රජ පවුලේ කතාන්තර එංගලන්ත මාධ්‍යයට ලබා දෙනුයේ කලක් මාධ්‍ය විසින් ඇය සිය මව වන ඩයනා කුමරිය පියාගෙන් වෙන් කිරීමට මුල් වූ දුෂ්ට චරිතයක් ලෙස හංවඩු ගැසීම නිසා නැති වූ සිය ප්‍රතිරූපය නැවත ගොඩනැඟීම සඳහා බව හැරී කුමරු මෙහිදී චෝදනා කර තිබේ.

චාල්ස් රජු කැමිලා බිසව සමග විවාහ වූයේ ඔහුගේ කලින් බිරිය වූ ඩයනා කුමරිය මියගොස් වසර අටකට පසු 2005 දීය. හැරී කුමරු විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් යමක් පැවසීම බකින්හැම් මාලිගය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හැරී කුමරු විසින් සිය ජීවිතයේ මතක සටහන් ඇසුරින් ලියා ඇති ‘ස්පෙයාර්’ නම් වූ ග්‍රන්ථය අද (10දා) නිල වශයෙන් නිකුත් වීමට නියමිතව තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment