කැලණිතිස්සට නැප්තා දැම්මොත් ලයිට් දෙන්න පුළුවන්

316

ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක් එක්කළ හැකි කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා සපයා එමගින් විදුලිය ජනනය කරන ලෙස ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ඉල්ලා සිටී.

මෙම බලාගාරය මගින් අඩු වියදමින් විදුලිය ජනනය කළ හැකිව තිබියදී එය ක්‍රියාත්මක කිරීමට නැප්තා නැති බව කියමින් පද්ධතියෙන් එය ඉවත් කර දමා ඇත.

මෙගාවොට් 165 කින් යුත් මෙම බලාගාරය ඉකුත් 2019 ඔක්තෝබර් සිට 2021 අප්‍රේල් දක්වා කාලයේදී ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්කර තිබීම නිසා ඉන් රටට සිදු වූ පාඩුව රුපියල් කෝටි 2150 ක් (බිලියන 21.5) යැයි ඒ පිළිබඳව සෙවීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ සඳහන් යැයි නිශාන්ත මහතා කීය.

2019 වසරේ දී මෙම බලාගාරයේ බෙයාරින් පද්ධතියට ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක මුදලක් වැයකර පිටරටට යවා අලුත්වැඩියා කරගෙන ඇත. එම වැයකළ මුදලින් සියයට 9ක්ම විශේෂඥ සේවාවන් සඳහා ගෙවා දමා තිබූ බවද නිශාන්ත මහතා පැවසීය. මෙම බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් නොකර සිටින්නේ හදිසි මිලදී ගැනීම් මාෆියාව නිසාදැයි සොයාබැලිය යුතු බවද ඒ මහතා කීය.

මෙම බෙයාරින් පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම විදුලිබල ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී ඇමරිකානු ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් වැයකර ඇත. ඉන්පසුව ඊට අවශ්‍ය කොටස් මිලදීගෙන ගුවන් මගින් ගෙන ඒමටද රුපියල් කෝටි 45 ක් (මිලියන 450) වැයකර ඇත. එසේ අලුත්වැඩියා කළ මෙගාවොට් 165 කින් යුත් කැලණි තිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය මේ මොහොතේදීවත් ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට පියවර නොගැනීම අපරාධයක් බවද නිශාන්ත මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment