කැලණියේ හසිතගේ ඝාතකයාට මරණ දඬුවම ස්ථිරයි

1053

කැලණි ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත කැළුම් මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ගම්පහ මහාධිකරණය විසින් රංගන කුමාර් පෙරේරා හෙවත් රංගන නමැත්තාට නියම කළ මරණීය දණ්ඩන නියෝගය අභියාචනාධිකරණය ඊයේ (09) තහවුරු කළේය.

2013 ජනවරි 15 වැනිදා සිදුවූ එම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව විභාග කළ ගම්පහ මහාධිකරණය 2015 වසරේ අගෝස්තු 14 වැනිදා විත්තිකාර රංගන කුමාර් පෙරේරා නමැත්තාට මරණීය දණ්ඩනය නියම කර තිබිණි. එම මරණ දණ්ඩන නියෝගයට එරෙහිව ගොනු කර තිබූ අභියාචනාව විභාග කළ මේනකා විජේසුන්දර හා ශෂි මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල මහාධිකරණයේ තීන්දුව ඒකමතිකව තහවුරු කළේය.

එම ඝාතනයේ අපසහයකයකු ලෙස නම්කර තිබියදී පසුව රජයේ සාක්‍ෂිකරුවකු ලෙස කැඳවා තිබූ සාක්‍ෂිකරු මහාධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂි අනුව විතිත්කාර අභියාචක එම ඝාතනය සිදුකර ඇති බව තහවුරු වන බවත් ඒ අනුව තම අධිකරණය මහාධිකරණයේ එකී තීන්දුව තහවුරු කරනා බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (09) නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර විනිසුරු ශෂි මහේන්ද්‍ර මහතා විසින් සකස් කරන ලද එකී තීන්දු ප්‍රකාශයට විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එකඟතාවය පළකර තිබිණි.

එකී ඝාතනය සිදුවූයේ යැයි කියන දින විත්තිකාර රංගන නමැත්තා එම නඩුවේ සාක්‍ෂිකරුට දුරකථන ඇමතුමක් ලබාදී මම මඩයට ගැහුවා යැයි පැවැසූ බවත් ඊට පසු එම හසිත මඩවල නමැත්තා මරණයට පත්වී ඇති බව දැනගත් බවත් සාක්‍ෂිකරු මහාධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දෙමින් පවසා තිබිණි.

ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා විත්තිකරුගේ මව අතර පොල් ගසක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් ඒ වනවිටත් පැවැති බව තමා දන්නේ යැයිද එම සාක්‍ෂිකරු අධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පවසා තිබිණි. ඝාතනයට ලක්වු මන්ත්‍රීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අවස්ථාවේදී හසිත මඩවල මහතාගේ ආධාරකරුවන් එවැනි අපරාධ කැලණිය ප්‍රදේශයේ සිදුනොවීමට ඉදිරියට හෝ වගබලාගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාමාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment