කැලණිය වඳින්න රතු ඕලු‍ මල් කඩන්න ගිය දිලාන් ජයම්පති වැව් පතුලේ සැඟවෙයි

163

සීයා ඉදිකළ වැවට මුණුපුරා බිලි
දිලාන් රත්මල්ගස්වැව ගමේ ආදර්ශවත්ම තරුණයෙක්
වැවෙන් වතුරගෙන තනිවම කුඹුරු අක්කරයක් වවලා
කිසිදා ජංගම දුරකතනයක් පාවිච්චි කර නැහැ

මදුරන්කුලිය පොලිස් වසමට අයත් වේලාසිය රත්මල්ගස්වැව ගම්මානයේ තරුණයකු තම සීයා විසින් ඉදිකළ ජයම්පති නමැති වැවේ මල් කැඩීමට පිහිනා යමින් සිටියදී පාසි තුළ සිරවීමෙන් දියේ ගිලී මියගොස් තිබේ.

20 වෙනි දින සවස මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අවාසනාවන්ත අයුරින් මියගොස් ඇත්තේ වේලාසිය රත්මල්ගස්වැව පදිංචි 20 හැවිරිදි එස්.ඒ. දිලාන් දිල්හාර නමැති දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවාය.

තම ඥාතීන් පිරිසක් සමග කැලණි පන්සල වන්දනා කිරීමට යාම සඳහා ජයම්පති වැවෙන් රතු ඕලු‍ කැඩීමට ගිය අවස්ථාවේ දියේ ගිලී මරණයට පත්ව ඇත.

මෙම වැවට මල් කැඩීමට තම මවගේ නැගණිය සමග ගොස් තිබූ බවත් ඇය වෑ කන්දේ සිටියදී දිලාන් ජලයේ පිහිනා ගොස් මල් කඩමින් සිටියදී එකවර නොපෙනී ගිය බව ඇය පවසා තිබේ.

එම අවස්ථාවේ බියට පත්වූ ඇය අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා ඇති බවත් ගම්වාසීන් පැමිණ දැඩි වෙහෙසක් දරා පාසි තුළ සිරවී සිටි දිලාන් ගොඩට ගෙන ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.

අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති දිලාන් වේලාසිය විද්‍යාලයේ ආදි සිසුවෙකි..

දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා වූ දිලාන් මෙවර ජයම්පති වැවේ ජලය ලබා ගනිමින් පියාට අයත් කුඹුරු අක්කරයක් වී වගා කර ඇති බවත් එය තනිවම වගා කර ඇති බවද ගම්වාසීහු පවසති. අන් තරුණයින්ට ආදර්ශයක් වෙමින් දිවි ගෙවූ දිලාන් කිසිදු අවස්ථාවක ජංගම දුරකථනයක් පවා භාවිතා කර නොමැති ආදර්ශවත් අයෙකු ලෙස කටයුතු කර ඇති බව ද ගම්වාසින් පවසයි.

කා අතරත් හිත දිනා ගත් දිලාන්ගේ හදිසි මරණය හේතුවෙන් ගම්වාසින් මහත් කම්පාවට පත් ව තිබේ.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment