කැසට් රෙකෝඩරය මහ හඬින් දමාගෙන ගෙල වැලලාගත් මවගේ දෙපා අල්ලාගෙන සිඟිත්තා හඬාවැටිලා

597

“රත්තරන් ඔයා පරිස්සමට ඉන්න… මම යනවා”

එල්ලී මියගොස් ඇතැයි සැක කරන 22 හැවිරිදි මවකගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක දරුවෙකු දිගින් දිගටම හැඬීම නිසා එම මවගේ මළසිරුර සොයා ගැනීමට හැකි වූ පුවතක් ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමෙන් අසන්නට ලැබේ.

පුපුරැස්ස, ඩෙල්ටා වත්ත උතුරු කොටසේ මවක් මෙසේ මියගොස් තිබුණි.

එස්. ස්වර්ණා නමැති මෙම මව නිවස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවස තුළ එල්ලී මියගොස් තිබී ඇත්තේ කැසට් රෙකෝඩරයද මහ හඬින් දමාගෙනය. එයින් නැඟෙන ගීත හඬ පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහළයේ එල්ලී සිටින අයුරුත්, දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිසට ඒ බව දන්වා ඇත. ඔවුන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෛද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මියගොස් ඇති බව දන්වා තිබේ. ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක්ද හමුවී ඇත. “රත්තරන් ඔයා පරිස්සමට… මම යනවා. මීට මමා” යැයි එහි සඳහන්ව තිබී ඇත. මෙම කාන්තාවගේ සැමියා එම වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතු නොදන්නා බව පවසා තිබේ. ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා එම ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස දන්වනු ලැබීය. එම පරීක්ෂණය ඊයේ (08 දා) සිදුකිරීමට නියමිතව තිබුණි. ගම්පොළ ස්ථානීය අපරාධ පරීක්ෂණ අංශයේ උ.පො.ප. ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි විද්‍යාත්මක පරීක්ෂණ සිදුකරනු ලැබීය. පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මනෝරංජන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති මංජුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ සිදු කරති.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment