කැසිනෝ බදු රහසක්!

156

නියාමන ආයතනයක් නැතිව කිසිම රටක් කැසිනෝ බලපත් දෙන්නේ නෑ
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති

මෙරට කැසිනෝ ව්‍යාපාර නියමිත බදු මුදල් ගෙවනවාද හෝ එමගින් රජයට කොතරම් බදු මුදලක් එකතු කරගත්තාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් නොමැති බව හෙළිවී තිබේ.

ලියාපදිංචි කැසිනෝ ව්‍යාපාර 4 ට අමතරව පවතින කැසිනෝ ව්‍යාපාර පිළිබඳව නිසි නියාමනයක් නොමැතිවීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

ලොව කිසිම රටක් කැසිනෝ නියාමන ආයතනයක් නොමැතිව කැසිනෝ බලපත්‍ර ලබානොදෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී පවසා තිබේ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන බදු මුදලට අමතරව කැසිනෝ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත් එහිලා මූලික පියවරක් ලෙස බලපත්‍ර ක්‍රමවේදය දියත් කළ බවත් අදාළ නිලධාරීන් එහිදී ප්‍රකාශ කර තිබේ. කැසිනෝ නියාමන අධිකාරියක් නොමැතිවීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලුද එහිදී සාකච්ඡා වී තිබේ. මේ අතර 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවට ලක්වූ අතර එහිදී කාරක සභා සාමාජිකයන්ගේ මතය වූයේ ඒ සඳහා අනුමැතිය ලබාදීම රටේ සංවර්ධනයට වඩාත් ඵලදායී වන අයුරින් සකස් කිරීමෙන් අනතුරුව සලකා බැලීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදුකොට නැවත සලකා බැලීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment