කැසිනෝ සුපිරි බදු මගඩියක්

150

කැසිනෝ සඳහා මෙරටට පැමිණෙන බොහෝ ව්‍යාපාරිකයන්ගෙන් නියමිත ආකාරයෙන් බදු මුදල් රජයට නොලැබෙන බවට තොරතුරු හෙළිදරව්වී තිබේ.

සංචාරකයන් ලෙස පැමිණෙන පිරිසෙන් සැලකිය යුතු පිරිසක් කැසිනෝ සඳහා මෙරටට පැමිණෙති. ඔවුන් මෙරට ඇතැම් කැසිනෝහල්වලට පැමිණීමට පෙර එරට කැසිනෝ පළට අයත් ආයතනයක විදෙස් මුදල් තැන්පත් කර හිස් අතින් මෙරටට පැමිණ මෙරටදී ලැබෙන කාසි (කොයින්ස්) වලින් සූදු ක්‍රීඩාවේ යෙදෙන බවත් එමගින් රජයට නිසි ලෙස බදු (ඩොලර් හෝ වෙනත් විදේශ මුදල්) නොලැබෙන බවත් හෙළි වී තිබේ.

මෙරට කැසිනෝ සඳහා පැමිණෙන එවැනි පිරිස් කැසිනෝ සූදුව මගින් මුදල් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට හිමි එම මුදල් ඔහු පැමිණි රටට ගොස් එරට කැසිනෝ හලට අයත් ආයතනයෙන් ලබා ගැනීමට හැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් අනාවරණය වී ඇත.

මේ වනවිට අන්තර්ජාලය හරහා ද කැසිනෝ සූදුවට විදෙස් ව්‍යාපාරිකයන් සම්බන්ධ වන බවත් එමගින්ද මෙරටට නියමිතාකාරයට බදු මුදල් නොලැබෙන බවත් හෙළිවී ඇත. මීට අමතරව මෙම සූදුව සිදුකරන ඇතැම් කැසිනෝ හල් ඔවුන් ගෙවිය යුතු බදු මුදල් වංචනික ලෙස ගිණුම් සකස් කර අඩු මුදලක් බදු වශයෙන් ගෙවන බවත් නිරීක්‍ෂණය වී ඇත.

මේ වනවිට කැසිනෝ තුළින් ජයග්‍රහණය කළ පුද්ගලයින් නොමැති බවත් යම් පුද්ගලයකු ජයග්‍රහණය කරනු ලැබුවත් ඔහුට මුදල් ලබාදීම වෙනුවට විවිධ මැරයින් හෝ වෙනත් පාර්ශ්වයන් මගින් විවිධ බලපෑම් කර එම මුදල් ලබා නොදීමට විවිධ පාර්ශ්වයෙන් කටයුතු කරන බවත් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් විදෙස් ජාතිකයන්ට මෙයට මුහුණදීමට සිදුවන සම්භාවිතාව වැඩි බවත් එම ආරංචිමාර්ග පැවසීය. යම් පුද්ගලයකු දිගින් දිගටම මුදල් ජයග්‍රහණය කරනවා නම් එය නවතා ගැනීම සඳහා සූදු කාඩ් කුට්ටම සූක්‍ෂ්මව වෙනස් කර ජයග්‍රහණය පරාජයක් බවට පරිවර්තනය කරන බවත් එම ආරංචිමාර්ග පැවසීය.

මෙවැනි කැසිනෝ හල්වලට යම් විදෙස් මුදල් ප්‍රමාණයක් ලැබුණත් එම මුදල්වලින්ද වැඩි ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට විදෙස්වලට යොමු කරන බවද එම ආරංචිමාර්ග කීය.

මෙවැනි වංචා නවතාලීම සඳහා කටයුතු කිරීමේ හැකියාව බලධාරීන්ට තිබුණත් ඔවුන්ද විවිධ වරදාන වරප්‍රසාද හමුවේ මුනිවත රකිමින් සිටින බවත් එම ආරංචිමාර්ග තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment