කෑගල්ලේ තරුණිය මරා ඇත්තේ බෙල්ල තද කරලා වෙඩි තියලා

970

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වෙයි
කෑගල්ල සජබ සංවිධායක 16 වැනිදා තෙක් රිමාන්ඩ්

කෑගල්ල සමගි ජන බලවේග මෙහෙයුම් කාර්යාලයේදී වෙඩි වැදීමකින් මියගිය තරුණියගේ මරණය බෙල්ල තද කිරීමෙන් හා රිවෝල්වරයකින් වෙඩි තැබීමක් නිසා මහා ධමනියේ ඇති වූ ඉරීමකින් වම් පපු කුහරයේ රුධිරය එකතු වීම, සහ හදිසියේ ඇති වූ කම්පන තත්ත්වයකින් සිදු වූ හදිසි මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා ඊයේ (02 වැනිදා) තීරණය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කෑගල්ල පොලිස් වසමේ අංක ජේ 115/1 ලිපිනයේ පදිංචිව සිටි අහංගම විදාන ආරච්චිලාගේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි අවිවාහක තරුණියකි.

ජීවිතක්ෂයට පත්ව සිටින තරුණිය සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ වසර 17ට ආසන්න කාලයක් සේවය කර ඇති බව පොලිසිය පැවසීය. පෙරේදා (01 වැනිදා) පෙරවරුවේ ද ආසන සංවිධායකවරයා තරුණියගේ හබුදුගල පිහිටි නිවසට ගොස් පෙජරෝ රථයෙන් කෑගල්ල නිදහස් මාවතට රැගෙන පැමිණ එතනින් පා ගමනින් තරුණිය කාර්යාලයට පෙරවරු 7.30 පැමිණ ඇති බව ද පසුව ආසන සංවිධායකවරයා පෙරවරු 8.30 ට පමණ තරුණියගේ බාල සහෝදරයාට සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීමට හබුදුගල නිවසට යන අවස්ථාවේ දී බාල සහෝදරයා අතරමග දී මුණගැසී සිද්ධිය දන්වා තිබෙන බව ද හෙළි වී ඇත. පසුව 119 දුරකථන අංකයට යම් පුද්ගලයකු විසින් සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබේ.

පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ පක්ෂ කාර්යාලයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ අනුව කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දේහය මවට භාර දෙන ලෙසත් නියෝග කර තිබුණි.

පසුව ජීවිතක්ෂයට පත්ව සිටි තරුණියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02 වැනිදා) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි තරංග බණ්ඩාර නායකරත්ත මහතා විසින් සිදු කෙරිණි.

පසුව ඝාතනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක දිසානායක මුදියන්සේලාගේ ලක්ෂ්මන් දිසානායක මහතා පෙරේදා 01 දා සිද්ධිය වූ කාර්යාලයේදී සිටිය දී කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු ඊයේ (02 වැනිදා) කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි. අත්අඩංගුවට ගත් රිවෝල්වරය විදේශ රටක නිෂ්පාදිත එකක් වන අතර එය මිලි මීටර් 38 එකක් බවත් උණ්ඩ 6 ක් යෙදිය හැකි බවත් හිස් කොපුවක් සමග උණ්ඩ 3 ක් තිබුණු බවත් පොලිසිය පැවසීය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බංඩාර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. යූ. එදිරිසිංහ, පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රියලාල්, අනුර කුමාර, මහින්ද සැරයන් නිශ්ශංක (18060) කුමාර (37518) පොලිස් කොස්තාපල් කපුකොටුව (29116) යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ. නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් වසන්ත කුමාර (36859) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

කොටියාකුඹුර – රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment