කෑමට කහ පාට ගන්න – වට්ටක්කාවලින් කහ හදමු

734

* මෙරට වවන ඇතැම් වට්ටක්කාවල කැරොටිනොයිඞ් බහුලව තිබෙනවා

* අධික තාපය නොයොදන ආහාර සඳහා දැනටම සාර්ථකයි


ඇමරිකා මහාද්වීපය සොයාගත්තේ ක‍්‍රිස්ට්‍රෝපර් කොලොම්බස් නමැති ඉතාලි ජාතික නාවිකයෙකි. ඔහු තම මුහුදු චාරිකාව තුළදී මෙම මහාද්වීපය සොයාගෙන එයට ගොඩබසිනා විටත්, එහි සිටි ආදිවාසීන් වට්ටක්කා ගොවිතැනෙහි නියැළුන බවට වාර්තාකර තිබේ. මේ බෝගය ඒ තරමටම පැරණිය. ඉතිහාසයේ සාක්ෂි සනාථ කරන්නේ දැනට වසර 7500 කට පමණ පෙරදී පවා මෙම බෝගය මානවයා ඇසුරේ පැවති බවයි. කලකට ඉහතදී තම වට්ටක්කා අස්වැන්න විකුණාගත නොහැකිව ගොවීන් විසින් ඒවා මහමග අයිනේ දමා යනවා අප දුටුවෙමු. ඇතැමුන් පොළොවේ ගසා විනාශ කරමින් තම විරෝධය පෙන්වත්දී තවත් කෙනෙක් වට්ටක්කා දන්සලක් පැවැත්වූ ආකාරයත් ජනමාධ්‍යයන් තුළ ප‍්‍රචාරය විය. ඇතැම් සුපිරි වෙළඳසල් බඩු මල්ලත් සමග සන්තෝසමක් වශයෙන් වට්ටක්කා බෑයක්ද නොමිලේම ලබාදුනි. ඒ එදා තත්ත්වයයි. අද දවසේ ඇසෙන්නේ සාමාන්‍ය ජනතාවට මුදල් ගෙවා ගන්නට හැකි එකම එළවළුව වන්නේ වට්ටක්කා පමණක් බවට කෙරෙන ප‍්‍රකාශයන්ය. එයට හේතුව වී ඇත්තේ අනෙක් එළවළු වර්ගයන්ගේ මිලගණන් ඉතා අධික වීමය. කෙසේ වෙතත් දිවයිනේ බොහෝ පළාත්වල බහුලව වගාකිරීමත්, පසු අස්වනු ක‍්‍රමවේදයන් හරහා කල්තබා ගැනීමේ පියවරයන් අනුගමනය නොකිරීමත් වැනි කරුණු හේතුවෙන් වැඩි නැඹුරුවක් තිබෙන්නේ මෙරට වට්ටක්කා අස්වැන්නෙහි සැලකියයුතු ප‍්‍රතිශතයක් නාස්තිවී යෑමටයි.

කෑමට කහ පාට ගන්න - වට්ටක්කාවලින් කහ හදමු
ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය මගින් වට්ටක්කා වලින් කළ හැකි ආහාර නිෂ්පාදන ගැන හදාරා, නිපැයුම් කර දැනට දශකයකටත් වඩා ඉක්මවා ගොස් තිබුණත්, මෙතෙක් ඒවාට නිසි පිළිගැනීමක් ලැබී හෝ ඇඟට දැනෙන ප‍්‍රසිද්ධියක් හෝ ලබාදී නොමැත. කලකට ඉහතදී ඔවුන් වට්ටක්කා යොදාගනිමින් අයිස්ක‍්‍රීම් සාදන ලද අතර, ප‍්‍රනීත රසැති වට්ටක්කා සුප් එකක්ද සමාජයට හඳුන්වා දුනි. මෙවර ඔවුන්ගේ අවධානය යොමුවී ඇත්තේ එහි ඇති කහපාට වර්ණකය වෙතටය. මෙරට තුළ මේ වනවිට විවිධාකාරයේ වට්ටක්කා ප‍්‍රභේද වගාකරනු ලබන අතර ඒවායින් ඇතැම් ඒවා විදේශයන්හි නිපදවූ හයිබි‍්‍රඞ් මාදිලි වේ. මින් සමහරක් ඉතා තද කහ පැහැයක් දරන නිසා, එහි තිබෙන කැරොටිනොයිඞ් වර්ණකය නෙළාගනීමටත්, ආහාර පැහැගන්වන වර්ණකයක් ලෙස එය යොදාගැනීමට ඇති හැකියාවත් තම පර්යේෂණයන් හරහා සොයාබැලූ බව පවසන්නේ ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මෙනෙවියයි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාසනා මාරසිංහ මෙනෙවිය හා එක්ව පැවැත්වූ තම පර්යේෂණ ප‍්‍රතිඵලයන් පසුගියදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව වෙත පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙසට ඇය ඉදිරිපත් කළාය.

ආහාරයක රසය හා වර්ණය උද්දීපනය කිරීමට යොදාගන්නා බාහිර ද්‍රව්‍යයන්ගේ භාවිතාව සම්බන්ධයෙන් ඇත්තේ දිගු ඉතිහාසයකි. ක‍්‍රි. පූ 1500 තරම් ඈත අතීතයකදී පුරාණ ඊජිප්තු නගරයන්හි රසකැවිලි නිෂ්පාදකයන් තම නිමැවුම්හි වර්ණය වෙනස්කිරීම සඳහා විවිධ ශාක නිස්සාරකයන්, වයින් වැනි දෑ භාවිත කළ බවට වාර්තා තිබේ. මීට සියවසකට පමණ ඉහතදී එනම් 1920 දී පමණ, ආහාර වලට එකතුකරන කහපාට වර්ණකයන් නිසා විශේෂයෙන්ම දරුවන්ගේ ක‍්‍රියාකාරිත්වයට ඇතිවෙන අහිතකර බලපෑම් ගැන දීර්ඝ සාකච්ඡුා ලොව දියුණු රටවලදී පැවැත්වී ඇත. තවමත් මේවාහි බලපෑම කෙසේ වන්නේදැයි නිශ්චිතව පැවසීමට විද්‍යාව අසමත්වීම නිසා සැකයට පාත‍්‍රවෙන කෘතිම වර්ණකයන් භාවිතයෙන් ඉවත්කරන්නට බලධාරීහු දිනෙන් දින කටයුතු කරති. ඊට සම්පාතව අනුප‍්‍රාප්තිකයන් වශයෙන් ස්වභාවික වර්ණක සංයෝග භාවිත කළහැකිද යන්න පිළිබඳව පර්යේෂණයන්ද පැවැත්වෙන්නේය. මෙහි සිදුවී ඇත්තේද එවන් පර්යේෂණයකි.

‘‘අපි පළමුව කෙරුවේ තද කහපාට වට්ටක්කා මද අරගෙන කහ වර්ණකය නිස්සාරණය කරන එක. ‘රාජා’ වශයෙන් වෙළඳපොළේ තිබුණු වට්ටක්කා ප‍්‍රභේදය තමයි වැඩිම වර්ණයක් තිබෙන බවට තේරුනේ. වර්ණක නිස්සාරණයට භාවිත කෙරුවේ දැනට විද්‍යාත්මකව

පිළිගන්නා, ද්‍රාවක ඇසුරෙන් නිසාරණය කිරීමේ පිළිවෙත. ඉන් පස්සේ එහි කුඩු සාදනු ලැබුවා. මෙය බොහොම අස්ථායී ද්‍රව්‍යයක්. ඒ නිසා එය ස්ථායී තත්ත්වයට පත්කරන්න යම් ප‍්‍රතිකාරකත් මෙයට එකතු කෙරුවා. මෙතනදී භාවිතා කෙරුනේ ‘ගම් ඇරබික්’ කියන ද්‍රව්‍යය. මේවා සියල්ලම ස්වභාවික ද්‍රව්‍ය. මේ මගින් කැරොටිනොයිඞ් වර්ණකවල භෞත-රසායනික ගතිගුණ වගේම සෞඛ්‍යය හිතකර ගතිගුණත් ආරක්ෂා කරගැනීමට පුළුවන්. ඊට පස්සේ තමයි මාස ගණනක් වුණත් කල් තබාගන්න හැකි කහපාට වර්ණක කුඩු වර්ගයක් නිෂ්පාදනය කෙරුවේ.”

කෑමට කහ පාට ගන්න - වට්ටක්කාවලින් කහ හදමු

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා තම පර්යේෂණ ක‍්‍රමවේදයන් සාරාංශ ගතකරනු ලැබුවේ එලෙසිනි. ඇය සඳහන් කරන ආකාරයට තාපයට දක්වන සංවේදීතාව හේතුවෙන් දැනට මෙම වර්ණකය භාවිතා කළ හැක්කේ තද උෂ්ණත්වයන්ට නිරාවරණය නොවන යෝගට්, අයිස්ක‍්‍රීම් වැනි ආහාර නිපැයුම් සඳහාය. ඒ සඳහා දැනට භාවිත කෙරෙන ‘‘එග් යෙලෝ” නොහොත් බිත්තර කහමද පාට කෘතිම වර්ණකය භාවිතය ඇතැම් රටවල මේ වනවිට තහනම් කර ඇත්තේ ඒ හරහා මතුවිය හැකි සෞඛ්‍යය ගැටලූ පිළිබඳව සැලකිලිමත් වෙමිනි. එහෙත් මෙරට අලෙවිසල් තුළ නම් තවමත් ‘‘එග් යෙලෝ” වර්ණකය විකුණනු ලබයි. ඇමරිකාවේ දැනට ජීවත්වෙන ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් වූ ආචාර්ය නිහාල් රාජපක්ෂ මහතා විසින්ද වට්ටක්කා හි ඇති වර්ණකයන්ගේ ගතිගුණ පිළිබඳව කලකට ඉහතදී පර්යේෂණ පවත්වා තිබේ. ඔහු සිදුකර ඇති පර්යේෂණ බොහොමයක් ශාකවල අන්තර්ගත වර්ණකයන්ගේ ව්‍යුහය හා ක‍්‍රියාකාරිත්වය හා බැඳුණු ඒවාය. 90 දශකයේ ඔහායෝ ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයක සඳහන් වී ඇත්තේ දුම් බොන්නන් හට බහුලව වැළඳෙන ළය පිළිකාව හා බීටා කැරොටීන් නම් කහ වර්ණකය (මෙය වට්ටක්කා වල බහුලය) අතර ඇති සම්බන්ධතාවයි. කහ පාට ආහාර වැඩියෙන් ගන්නා අය අඩුවෙන් ළය පිළිකා වලට ගොදුරුවූ බව එහි සඳහන්ය.

කෙසේ වෙතත් ආචාර්ය රාජපක්ෂ පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රතිඵල යළි ජනනය කිරීම උදෙසා බීටා කැරොටීන් පෙති ලබාදී පර්යේෂණය නැවත සිදුකළද ප‍්‍රතිඵල සාර්ථක නොවූ බවය. වෙනත් සංයෝග රැසක් සමග බද්ධ වෙමින් ආහාරයක තිබෙන වර්ණක, වෙන්කර හුදකලා කළ විට එම සත්ක‍්‍රියාවට සහභාගි වීමට එයට නොහැකි වන බවක් මින් හැඟවෙන්නේය. කෘතිමව පිළියෙල කළ විටමින් පෙති වලට නොගොස් ස්වභාවික ලෙස ආහාරයේම පවතින විටමින් වර්ගවල සේවය ලබාගැනීමේ වැදගත්කම මෙවැනි සරල පර්යේෂණයන්ගෙන් පවා මේ අනුව සනාථ වෙමින් තිබේ. අපේ පැරැන්නන් සිදු කෙරුවේද ඒ ටිකමය. ආහාර පරිභෝජන රටාව අතරින් අප වට කීපයක් කැරකී මුල් තැනටම පැමිණෙමින් සිටීම නම් සතුටට කරුණකි. කෙසේ වෙතත් ආහාර පර්යේෂණ ඒකකය විසින් සිදුකළ පර්යේෂණයේ ප‍්‍රධාන අරමුණ වූයේ කෘතීම කහපාට වෙනුවට ස්වභාවික ප‍්‍රභවයකින් ලැබෙන කහපාටක් ආහාරයට එකතුකර ගැනීමයි. ඒ මතට යම්කිසි පෝෂණීය වටිනාකමක්ද තවරා ගන්නට හැකිදැයි සොයාබැලීමට තවදුරටත් පර්යේෂණ කෙරෙමින් පවතින බව අනෝමා මෙනෙවිය අවසන් වශයෙන් සඳහන් කර සිටියාය.

* සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment