කෑම කිලෝ ගණනින් කන චීන ජාතිකයෙක් බ්ලැක් ලිස්ට් වෙයි

960

ආහාර පාන සම්බන්ධ උත්සව අවස්ථාවන් සජීවී ලෙස අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන චීන ජාතිකයකුට එකවර කිලෝ ගණනින් ආහාර අනුභව කිරීමේ චෝදනාව මත සිය අවන්හල වෙත පැමිණීම තහනම් කිරීමට චීන අවන්හලක් විසින් පියවර ගෙන තිබේ. ‘කැන්ග්’ නමැති මෙම තැනැත්තා වරක් බුෆේ ක‍්‍රමයට ආහාර පිළිගන්වන චීනයේ චැන්ග්ෂා නගරයේ පිහිටි ‘හැන්ඩාඞී බී බී කිව්’ මුහුදු ආහාර අවන්හල වෙත ගොස් එකවර ඌරන්ගේ පාදයෙන් තනන ආහාරයකින් කිලෝ එකහමාරක් අනුභව කිරීමේ චෝදනාව මත එම අවන්හල ඔහුට මෙම තහනම පනවා තිබේ. මේ වන විට ‘කැන්ග්’ අදාළ අවන්හලේ අසාදු ලේඛනයටද (බ්ලැක්ලිස්ට්) ඇතුළත් කර තිබේ. මෙම පුවත චීනයේ ‘වයිබෝ’ සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ පසු මිලියන 250කට අධික පිරිසක් එය නරඹා ඇති බව වාර්තා වී තිබේ.

 ‘කෑන්ග්’ විසින් වරක් හැන්ඩාඩි අවන්හලට ගිය අවස්ථාවේදී ආහාර කිලෝ ගණනින් අනුභව කරන බවත් අනෙක් පාරිභෝගිකයන් අඬුවෙන් ඉස්සන් පිඟානට බෙදා ගන්නා විට ‘කැන්ග්’ ඉස්සන් තබා ඇති ටේ‍්‍ර එකම රැගෙන යන බව හෝටල් හිමියා චෝදනා මුඛයෙන් මාධ්‍යට පවසා තිබේ. කැන්ග් ප‍්‍රථම වරට එම අවන්හලට ගිය විට ඌරන්ගේ පාදයෙන් තනන ලද ආහාරයකින් කිලෝ එකහමාරක් හා ඉස්සන් කිලෝ ග‍්‍රැම් 3.5ත් 4ත් අතර ප‍්‍රමාණයක් අනුභව කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු නිසා තමන්ට වරකට යුවාන් (චීනයේ භාවිත කරන නිල මුදල් ඒකකය) සිය ගණනක පාඩුවක් සිදු වන බව හෝටල් හිමියා සඳහන් කර තිබේ. කෑන්ග් අදාළ අවන්හලට ගිය විට සෝයා කිරි බෝතල් 20-30 අතර සංඛ්‍යාවක් පානය කරන බවටද චෝදනා එල්ල වී ඇත. තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති කැන්ග් තමා වැනි ආහාර විශාල වශයෙන් අනුභව කළ හැකි අයට හැන්ඩාඞී අවන්හල ආසාධාරණ අයුරින් සලකන බව පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment